මත්පැන් කටේවත් තියන්නේ නැහැ ඒත් සිරෝසීස් හැදිලා සිරෝසීස්

මත්පැන් කටේවත් තියන්නේ නැහැ ඒත් සිරෝසීස් හැදිලා සිරෝසීස්

සිරෝසිස් කියන්නේ වර්තමානයේ නම් ජීවිතයට කන කොකා හඬන රෝගයක් බවට පත් වෙලා. සිරෝසිස් රෝගීන්ගේ ජීවිතය දරාගන්නට බැරි කායික වේදනාවකින් බොහෝදුරට කෙළවර වෙන්නේ. බොහෝවිට සිරෝසිස් හැදෙන්නේ අධික ලෙස මධ්‍යසාරය පානය කිරිම නිසා වුණත් මත්පැන් කටේවත් නොතියන අයට අද සිරෝසිස් වැළඳෙනවා. එයට හේතුව කුමක්ද?

මද්‍යසාරයෙන් තොර සිරෝසිස් හෙවත් Non Alcoholic සිරෝසීසස් තත්ත්වයට බලපාන මූලිකම හේතුව අක්මාවේ මේදය අනවශ්‍ය ලෙස තැන්පත් වීමයි. එය හඳුන්වන්නේ Fatty Liver
 තත්ත්වය ලෙසයි. දැනට වසර 10 -20 කට පමණ කාලයක සිට අක්මාවේ තෙල් තැන්පත් වීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් වර්ධනනය වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ තත්ත්වය ක්‍රමයෙන් හිස එසවීම ඔබ අප සැමගේ ජිවිතවලට අනතුරු හැඟවීමේ පූර්ව ලක්ෂණයක් වන අතර ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් පවා නිරන්තරයෙන් උත්සාහයක් දරන්නේ මේ තත්ත්වය වළක්වා ගැනීමටය.

මද්‍යසාරයෙන් තොරව “සිරෝසීස්” ඇති වන ආකාරය

අක්මාවේ සිදු කෙරෙන කාර්යභාරයන් අතර පරිවෘත්තිය ක්‍රියාවලිය ප්‍රධාන තැනක් උසුලයි. අප ගන්නා ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට්, මේදය, සීනි මේ සියල්ල පරිවෘත්තිය ක්‍රියාවලියට භාජනය වීමෙන් පසු අතිරික්තය මේදය ලෙස තැන්පත් වේ. මේ මේදය සංචිත කර ගබඩා කර තබන්නේ අක්මාවේදීය. යම්කිසි කාර්යයක් සිදු කිරීමේදී ශක්තිය වැය කිරීමට මේදය අවශ්‍ය බැවින් අක්මාවේ තැන්පත් කරගන්නා වූ මේද අතිරික්තය සිරුරට අවශ්‍ය වූ විට ලබාදීම අක්මාවේදී සිදු කෙරෙන ක්‍රියාවලියි. මේ මේද අතිරික්තය නිසා දින 2 -3 පවා ආහාර නොගෙන හෝ අපගේ දෛනික කාර්යයන්හි යෙදෙමින් සිරුර වෙහෙසී වැඩ කිරීමට අපට හැකියාවක් ඇති අයුරින් මේ විස්මිත වූ මිනිස් සිරුර නිර්මාණය වී ඇත.

වසර දස දහස් ගණනක් ජිවත් වූ අපේ මුතුන් මිත්තන් ලබාගත් ආහාර ප්‍රමාණයට සමගාමීව, කය වෙහෙසා වැඩ කටයුතු කරමින්, අය සහ වැය, එක හා සමබරව පවත්වා ගෙන ජීවත් වූ හෙයින් වර්තමානයේ ඔබ අපට මුහුණ දීමට සිදුවන ටචබබර ඹ්ඪමඥප තත්ත්වයන්ට ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ නැත. ඔවුන්ගේ ජීවිත නිරෝගීව පවත්වා ගෙන යාමට ලබාදුන් අතිරික්ත මේදය, වර්තමාන පරපුරේ රතු එළිය හඟවන සංඥාවක් බවට පත් වී ඇත. ඇත්ත වශයෙන්ම මේ රතු එළි සංඥා අප වෙත එල්ල වන්නේ අපගේම වරදිනි. ව්‍යායාම් මදිකම, කය වෙහෙසීමෙන් තොර වූ ජීවන රටාව, ඉවක් බවක් නොමැතිව කැලරි අධික ආහාර ගැනීම නිසා මිනිස් සිරුරේ යාන්ත්‍රණය උඩු යටිකුරු කරන තත්ත්වයකට පත් වී ඇත. එබැවින් කාය ශක්තිය ලබාදීම සඳහා අක්මාවේ තැන්පත් කර තිබෙන මේද අතිරික්තය වර්තමානයේ අප රෝගීන් බවට පත් කරවන සාධකය වී ඇත. මේදය අධික ලෙස අක්මාවේ තැන්පත් වීම හඳුන්වන්නේ Fatty Liver
 ලෙසිනි. නමුත් අක්මාවේ මේදය තැන්පත් වීම රෝගයක් ලෙස නොසැලකෙන්නේ එය සිරුරේ ස්වභාවික යාන්ත්‍රණයේ කොටසක් වන බැවිනි.

Fatty Liver තත්ත්වය ඇති වීමට හේතු

දිනකට පැය 7 -8 එක තැන වාඩි වී, ක්ෂණික ආහාර, junk food නැමැති අධි කැලරි ප්‍රමාණයකින් යුත් ආහාරවලින් බඩ පුරවා ගන්නා අයට Fatty Liver තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.

තරබාරු සිරුරේ පමණක් නොව වැරදි ජීවන රටාවකට හිමිකම් කියන සිහින් සිරුරක් හිමි අයට හිමිවන්නේ ද මේ ඉරණමය.

අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි වීම, දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සහ Fatty Liver තත්ත්වය මේ අයට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුවයි. මේ සියල්ල එකට නෑකම් කියන එක දම්වැලක පුරුක් මෙන් එකට සම්බන්ධ වී තිබෙන රෝගයන්ය.

මෙය හඳුන්වන්නේ මෙටබොලික් සින්ඩ්‍රෝම් යනුවෙනි. වර්තමාන ලෝකයේ ජනගහනයෙන් බොහෝදෙනෙකු මේ රෝග තත්ත්වයන්ට ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. බෝ නොවන රෝග ගණයට අයත් මේ රෝගවලින් කිසිවක් තනිවම වැළඳෙන්නේ නැති අතර මර්දනය කර ගැනීම අප සතු කාර්යයයි.

මෙයින් එක් රෝගයක් තිබේ නම් ඉතිරි රෝගවලින් එකක් හෝ වැළඳීමට අවදානමක් ඇත. Fatty Liver තත්ත්වයේ සිට සිරෝසිස් තත්ත්වය දක්වා අක්මාව අකර්මණ්‍ය වීම අදියර කිහිපයකින් යුක්තය. ප්‍රථමයෙන් ඇති වන්නේ අක්මාවේ ප්‍රමාණයට වැඩියෙන් මේදය තැන්පත් වීමයි. එය හඳුන්වන්නේ Fatty Liver නමිනි.

ප්‍රථමයෙන් අක්මාවේ සුළු වශයෙන් මේදය තැන්පත් වේ. (Simple Fatty Liver) මෙම අවස්ථාවේ අක්මාවට කිසිදු හානියක් නොවේ. දෙවැනි අදියරේ මේදය අඩු මට්ටමේ සිට වැඩි මට්ටමක් දක්වා තැන්පත් වී හෙපටයිටිස් තත්ත්වයක් (අක්මා ප්‍රදාහය) උදා. වේ. මෙම අවදිය Non Alcoholic Steato Hepatitis (NASH) තත්ත්වය ලෙස නම් කෙරේ.

පසුව සිරෝසිස් තත්ත්වයට පත් වීමට වැඩි කලක් ගතවන්නේ නැත. අවසානයේදී අක්මාවේ පිළිකාමය තත්ත්වයක් දක්වා ද රෝගය උත්සන්න වේ. සුළුවෙන් පටන් ගත් Fatty Liver මුලදීම වළක්වා නොගත් නිසා සිරෝසිස් තත්ත්වය දක්වා වැඩිදුරටත් වර්ධනය විය හැක.

සිරෝසිස් රෝගීන් බහුතරයකට අක්මාවේ පිළිකාමය තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇත. අවසානයේදී ජීවිතයට සමුදෙන්නට ඔවුන්ට සිදු වන්නේ සිරෝසිස් උග්‍ර තත්ත්වයට පත් වීමෙන් සහ පිළිකා තත්ත්වයක් උදාවීමෙනි.

රෝග ලක්ෂණ

කිසිදු රෝග ලක්ෂණයක් Fatty Liver  තත්ත්වයේදී පෙන්නුම් නොකිරීම මෙම රෝගයේ ඇති භයානක තත්ත්වයි. එබැවින් රෝගියා නොදැනුවත්වම අක්මාව අකර්මණ්‍ය වීමට ඉඩ ඇත.

වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකු මුණ ගැසුණු අවස්ථාවකදී හෝ උදරය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකට භාජනය කිරීමකදී Fatty Liver  තත්ත්වය හඳුනාගත හැකි අතර සහ අක්මා එන්සයිම පරීක්ෂාවට ලක් කරන SGOT/SGPT පරීක්ෂණයේදී අක්මා එන්සයිම ප්‍රමාණය වැඩි වීමෙන් ද මෙම රෝගය හඳුනාගත හැක. ඇතැම් රෝගීන්ට උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ (අක්මාව පිහිටි තැන) සුළු වේදනාවක් මෙන් උදරය අපහසුතාවකට ද බඩ පුරවා දැමීමක් ද සිදු වේ.

වෛද්‍යවරයකු විසින් අක්මාව පිහිටා ඇති ස්ථානය තද කිරීමෙන් රෝගියාට වේදනාවක් දැනෙන අතර අක්මාව ඉදිමී ඇති බව වෛද්‍යවරයාගේ අතට හසු වේ. එවිට වෛද්‍යවරුන් රෝගියාගේ ලිවර් එන්සයිම පරීක්ෂාවට ලක් කර SGOT/SGPT පරීක්ෂණය සිදු කරයි. එහිදී ලිවර් එන්සයිම වැඩි වීම නිසා Fatty Liver තත්ත්වයෙන් පෙළෙන බව තවදුරටත් තහවුරු වේ.

ප්‍රතිකාර

Fatty Liver රෝගයක් නොවන බැවින් එයට ප්‍රතිකාර නොමැත. නමුත් Fatty Liver තත්ත්වය අවම නොකිරීමෙන් සිරෝසිස් තත්ත්වයද අවසානයේදී අක්මාවේ පිළිකාවක් දක්වා ද රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ප්‍රතිකාර වශයෙන් රෝගීන්ගේ ජීවන රටාවේ සහ ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය කරනු ලැබේ.

අක්මාවේ තැන්පත් වූ මේදය දහනය කිරීමට ව්‍යායාම් කළ යුතු අතර බර අඩු කරගැනීම අත්‍යවශ්‍ය සාධකයකි. අතිරික්ත කැලරි දහනය කර ගැනීම සඳහා කය වෙහෙසා වැඩ කටයුතු කිරීම හා දිනපතා ව්‍යායාම් කිරීම කළ යුතුය.

අධි කැලරි ප්‍රමාණයකින් යුත් ක්ෂණික ආහාර සම්පූර්ණයෙන්මම නවතා දැමිය යුතුය. වැඩිපුර ආහාර (සීනි, පිටි, තෙල්) ගැනීම නවතා දැමිය යුතුය. හැකිතාක් තන්තුමය ආහාර වන එළවළු වර්ග පලතුරු වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුය. ව්‍යායාම් සමඟ ආහාර පාලනයෙන් Fatty Liver මූලික අදියරේදී මඟහරවා ගත හැක.

නොකඩවා මෙය කළ යුතුය. එහෙත් Non Alcoholic Steato Hepatitis (NASH) තත්ත්වයට පත් වී හෝ සිරෝසීස් තත්ත්වයට පත් වී ඇත්නම් තත්ත්වය බරපතළය. ඒ තත්ත්වය ව්‍යායාම්වලින් ආහාර පාලනය මඟින් පමණක් වළක්වා ගත නොහැක. සිරෝසිස් තත්ත්වයේදී අක්මාවේ සෛල මිය ගොස් ඒවා තන්තුමය තත්ත්වයට සහ ගැටිති Nodule  තත්ත්වයට පත් වේ.

එවිට අක්මාවේ ව්‍යුහය විකෘති වී ක්‍රියාකාරීත්වය අඩපණ වීමට පටන් ගනී. යාකෘතිකව ප්‍රතිකාර ශිරාවේ පීඩනය වෙනස් වේ. එවිට අක්මාවේදී සිදු වන කාර්යයන් කිසිවක් සිදු වන්නේ නැත. එවිට රුධිර නාල ඉදිමීමකට ලක් වේ. අනතුරුව පුපුරා රුධිරය පිටවීමට පටන් ගනී. එවිට වමනය මඟින් හා මලපහ මඟින් රුධිරය පිට වේ. උදරයට සහ පාදවල දියර පිරීම සිදු වේ. ඇතැම්විට මෙම දියරවලට බැක්ටීරියා ඇතුල් වී බැක්ටීරියා ආසාදන සිදු විය හැක. එවිට සංකූලතා මතු වී රෝගීන් මිය යා හැක.

අක්මාව අක්‍රීය වීමේදී විෂහරණ ක්‍රියාවලිය අඩාල වී එයින් ඇති වන ඇමෝනියා නිසා ස්නායු පද්ධතියට සහ මොළයට බලපෑම් ඇති කරන එන්කෙපලෝපති තත්ත්වය ඇති වී සිහිමද ගතියකටත් කෝමා තත්ත්වයක් ඇති විය හැක. එසේම වකුගඩු අක්‍රීය වීමට තිබෙන ඉඩකඩ බොහෝය.

සිරෝසිස් රෝගීන්ගේ අක්මාව අකර්මණ්‍ය වී තිබෙන ප්‍රමාණය අනුව ඔවුන්ගේ ජීවිත අවදානම ද වැඩි වේ.

එබැවින් වැරදි ජීවන රටාවෙන් හා වැරදි ආහාර රටාවෙන් මිදී දිනපතා ව්‍යායාම් කරමින් අධි කැලරි ප්‍රමාණයක් එකවර ගිජු ලෙස අනුභව නොකර ප්‍රමාණවත්ව ආහාර පරිභෝජනය කරමින් ජීවත් වීමෙන් Non Alcoholic Fatty Liver මඟහරවා ගත හැක. එවිට සිරෝසිස් තත්ත්වයක් ද ඔබට උදා නොවනු ඇත.