ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

පුංචි මලිඳුට ජීවිතය අහිමි වුනේ අම්මාට AIDS නිසා

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

දෙදෙනෙක් විවාහ වෙලා එක වහලක් යටට එකතුවෙන්නේ මොනතරම් බලාපොරොත්තු කන්දරාවක් හිතේ පොදි බැඳගෙන ද? ඒ වගේ බලාපොරොත්තු අතර දරුවෙක් ලබනවා කියන්නේ තමන්ගේ ජීවිතය තවත් සම්පූර්ණ වුණා කියලා දැනෙන විදිහේ හැඟීමක්. ඒත් දෛවයේ සරදමකට වගේ ඒ වගේ බලාපොරොත්තු පොදි බැඳගෙන අපේ ජීවිතවලට එන දරුවො මේ ලෝකේ අත හැරලා යන්නම යන්නේ හිතාගන්නවත් බැරි විදිහට. ඒ විදිහට ඔවුන් මේ ජීවිතයට සමුදෙන්නේ බෙහෝවිට දුරදිග හිතන්නේ බලන්නේ නැතිව ජීවිතේ සැබෑ සතුට කියලා හිතලා අපි ගන්න සමහර තීරණ නිසා වෙන්නත් පුළුවන්. මේ කතාවේ අහිංසක මලිඳුටත් සිද්ධ වුණේ අන්න ඒ වගේ දෙයක්.

පවුලේ එකම දරුවා වුණු මලිඳු අම්මාගෙත් තාත්තාගෙත් හුරතලේ මැද බොහොම සතුටින් ජීවත් වුණු දරුවෙක්. ඒත් හදිසියේම හිතා ගන්නත් බැරි විදිහට මලිඳු අසනීප වෙනවා. උණ, හතිය, කැස්ස එයාට තිබුණු රෝග ලක්ෂණ. තත්ත්වය එන්න එන්නම දරුණු වෙන නිසා ළමා රෝහලේ පුංචි මලිඳුව නවත්වන්න සිද්ධ වුණා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු දරුවාගේ රෝගය ගැන පරීක්ෂා කරලා රෝගයට හේතුව නියුමෝනියාව කියලා තීරණය කළා. සතියක් තිස්සේ එන්නත් මඟින් මලිඳුට ප්‍රතිකාර කළත් කියන්න තරම් සුවයක් ලැබුණේ නැහැ. සාමාන්‍ය නිරෝගී දරුවෙකුට නියුමෝනියාව ඇති වුණොත් මේ ප්‍රතිකාරවලට සුවපත්භාවයට පත් වෙනවා වුණත් මලිඳුගේ තත්ත්වය තව තවත් බරපතළ වුණු නිසා වෛද්‍යවරු එයාගේ රෝගී තත්ත්වය පිළිබඳ සාමාන්‍ය රුධිර පරීක්ෂණ පවා සිදු කළේ රෝගයට හේතුව හරියටම හඳුනාගන්න. ඒත් ඒ කිසිවකින් රෝගය හඳුනා ගන්නට බැරිවුණු නිසා අවසානයේදී මලිඳුට ක්ෂය රෝගයට අදාළ පරීක්ෂණ සිදු කළා.

සාමාන්‍යයෙන් දරුවෙකුට ක්ෂය රෝගය වැළඳෙන්නට ඉතාමත් අඩු ඉඩකඩක් තිබෙන නිසාත් පවුලේ ක්ෂය රෝගයට අදාළ පරිසරයක් නොමැති නිසාත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු මීළඟට සැක කළේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරවන රෝග හේතූන් ගැනයි. එම රුධිර පරීක්ෂණයේදී HIV  වෛරසය මලිඳුගේ ශරීරගත වී තිබෙන බව හඳුනා ගන්නට පුළුවන් වුණා. මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගන්නට අදාළ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව මලිඳුට ප්‍රතිකාර කරන්නට ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් ළමා රෝහලට යොමු කළත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබපු අහිංසක දරුව සදහටම දෑස් පියා ගත්තේ කාගේත් දෑසට කඳුළක් ඉතිරි කරලා.

පුංචි මලිඳුගේ මරණයෙන් පස්සේ එයාගේ අම්මව ලිංගාශි‍්‍රත රෝග සායනයට ගෙන්න ගත්තේ දරුවාට HIV  වැළඳුනේ කොහොමද කියලා දැනගන්න. තමන්ගේ ජීවිතේ තිබුණු එකම සතුට තමන්ට අහිමි වෙලා හිටපු මලිඳුගේ අම්මටත් ඒ ගැන හරියටම දැනගන්න වුවමනා වුණා. පස්සේ එයාගේ රුධිර සාම්පලයක් අරගෙන පරීක්ෂා කරපු වෙලාවේ HIV  පොසිටිව් බව දැන ගත්තාම අසරණ මලිඳුගේ අම්මා තව තවත් දුකට පත් වුණා.

මෙච්චර කාලයකට කාටවත් නොකීවත් මලිඳුගේ අම්මාගේ අතීත ජීවිතයේ මේ රෝගයට සම්බන්ධකමක් තිබුණා. වෛද්‍යවරු ඒ ගැන අහනකොට තමන්ගේ අතීතය ගැන මතක් කළා.

“ඩොක්ටර්, බඳින්න කලින් මම වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. හස්බන්ඩ් මේ ගැන මොනවත් දන්නේ නැහැ. මම එයත් එක්ක ලිංගිකවත් සම්බන්ධකම් පවත්වලා තියෙනවා.”

මලිඳුගේ අම්මා බඳින්න කලින් ගාමන්ට් එකක රස්සාවක් කරපු කෙනෙක්. මලිඳුගේ තාත්තත් ඒ ෆැක්ට්‍රියේම සුපවයිසර් කෙනෙක්. බැන්දට පස්සේ රස්සාවෙන් අයින් වෙලා දරුවාත් හදාගෙන ගෙදරට වෙලා හිටපු මලිඳුගේ අම්මා ඊට පස්සේ හොඳ ජීවිතයක් ගත කළා. මේ සිද්ධියෙන් පස්සේ මලිඳුගේ අම්මා HIV  ආසාදිත බව තහවුරු කරගැනීම විතරක් ප්‍රමාණවත් නැති නිසා මලිඳුගේ තාත්තාවත් ලිංගාශි‍්‍රත රෝග සායනයට ගෙන්වාගෙන රුධිර පරීක්ෂණයක් සිදු කළා. ඒත් මලිඳුගේ පියාට වෛරසය ශරීර ගත වෙලා තිබුණේ නැහැ.

කොහොම හරි මේ පරීක්ෂණවලින් පස්සේ අහිංසක මලිඳුට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිද්ධ වුණේ තමන්ගේ අම්මාට HIV  ආසාදනය වෙලා තිබුණු නිසා බව තහවුරු වුණා. ඒත් කිසිම විදිහකින් තමන්ගේ ස්වාමියා තමන් HIV  ආසාදිත බව දැන ගන්නවාට මලිඳුගේ අම්මා කැමති වුණේ නැහැ. ඒත් කාලයක් ඉදිරියේත් මේ දෙදෙනා අඹුසැමියන් විදිහට ජිවත් වෙන නිසා සැමියා HIV  ආසාදිත අයෙක් නොවුණු නිසා මලිඳුගේ අම්මට ප්‍රතිකාර කරන ගමන් සැමියාට මේ පිළිබඳ ටිකෙන් ටික තේරුම් කරන්නට වෛද්‍යවරුන්ට පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙමෙයි. මලිඳුගේ අම්මාට වෛද්‍යවරුන් HIV  වෛරසයට කළ ප්‍රතිකාරවලින් ශරීරයේ වෛරස් ප්‍රතිශතය අවම කරගන්නට පුළුවන්කමත් ලැබුණා.

සාමාන්‍යයෙන් HIV  ආසාදිත කාන්තාවකගෙන් දරුවෙක් බිහි වුණොත් ඒ දරුවාට වෛරසය ශරීර ගත වීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ විදිහට ශරීරගත වෙන්නට පුළුවන් ක්‍රම ප්‍රධාන වශයෙන් තුනක් හඳුනාගෙන තිබෙනවා. එකක් වැදෑමහ හරහා, ඒ වගේම ප්‍රසූතිය අවස්ථාවේදී වගේම ඉතාමත් කලාතුරකින් මව්කිරි හරහා ද HIV  වෛරසය දරුවාට ශරීරගත වෙන්න පුළුවන්. නොදැනුවත්ව මලිඳුගේ ශරීරයටත් HIV  ශරීරගත වුණේ මේ කුමන හෝ විදිහකට වුණත් ජීවිතේ ගැන තවත් කලකිරීමක් ඉතිරි කරලා විතරක් නෙවෙයි දුරදිග හිතන්නේ බලන්නේ නැතිව තමන්ගේ ජීවිතේට ළං කර ගන්න සමහර පුද්ගලයන් ගැන හොඳ පාඩමක් අපි කාටත් කියලා දීලා තමයි මලිඳු මේ ලෝකෙන් යන්නම ගියේ.