ඇසට වගේම ඇස් කන්නාඩියටත් සැලකිල්ලක් දක්වන්න

ඇසට වගේම ඇස් කන්නාඩියටත් සැලකිල්ලක් දක්වන්න

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

ඕනෑම දෙයක වටිනාකම ආරක්ෂා වන්නේ එය භාවිතා කරන පිළිවෙල, පිරිසුදුකම අනුවයි. ඒ පමණක්ම නොවෙයි. එහි දිගුකල් පැවැත්ම ද එමඟින් තීරණය වනු ලබනවා. සිතා බලන්න ඔබ භාණ්ඩයක් මිලදී ගන්නවා කියා. එහි ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් අනිවාර්යෙන්ම යොමු නොකිරීම නිසා ඇතැම්විට ඒවා භාවිතයට ගත හැකිවන්නේ ඉතාමත් කෙටිකාලයක් සඳහා පමණක් විය හැකියි. මෙවැනි ගැටලුවලට බහුලවම මුහුණ දෙන, භාවිතා කරන්නාගේ නොසැලකිලිමත් බවට පත්වන එක් භාණ්ඩයක් අප සමීපයේම තිබෙනවා. ඒ අපගේ උපැස් එසේත් නැත්නම් ඇස් කණ්ණාඩි යුවළයි.

විශේෂයෙන්ම ඔබ, ඔබේ ඇස්වලට දක්වන සැලකිලිමත් බව හා සමානවම සැලකිල්ලක් උපැස් යුවළටත් දැක්වීම ඉතා වැදගත් ලක්ෂණයක්. මන්ද යත් ඇසේ පෙනීම දුර්වල වූ මොහොතේ එහි උපකාරීත්වය සඳහා භාවිතා කිරීමට සිදුවන්නේ උපැස් යුවළ නිසාවෙන්. උපැස් යුවළක් නිරන්තරයෙන් අක්ෂි පරීක්ෂාවක් යටතේ ලබා ගන්නවා වගේම ඉදිරියේදී ඇසේ ඇති වන වෙනස්කම්වලට සාපේක්ෂව උපැස් යුවළ වෙනස්කම්වලට ලක් කළ යුතුයි. නමුත් එය ඔබ සතුව පවතින තුරු හැකි තරම් ආරක්ෂාකාරීව භාවිතා කිරීමට වගබලා ගත යුතුයි. ඒ වගේම එහි පිරිසුදුකම පිළිබඳව ද හොඳ අවධානයක් යොමු කළ යුතුයි.

ඔබගේ උපැස් යුවළ තබන ස්ථානය පිළිබඳව නිරන්තර අවධානයකින් කටයුතු කළ යුතු වේ. යම් ලෙසකින් එය යම් රළු, මතුපිටක තැබුවහොත් එය සිරීමට හෝ කාචවලට යම් බලපෑමක් ඇති කරවිය හැකියි. මේ වනවිට එවැනි රළු මතුපිටකට වුවත් ඔරොත්තු දීමේ හැකියාවක් අති අමුද්‍රව්‍ය යොදා ගෙන ද ඇස් කණ්ණාඩි නිපදවා තිබුණත් හැකි සෑම විටෙකම උපැස් යුවළත් කාචය මත නොතබා එහි රාමුව ස්පර්ශ වන සේ තබා ගැනීමට වගබලා ගත යුතුයි.

කාචය මෙන්ම අපි එතරම් සැලකිල්ලක් නොදක්වන නමුත් තවත් වැදගත් එක් උපාංගයක් තිබේ. ඒවා නම් උපැස් යුවලක ඇති නෝස් පෑඩ්ස්ය. ඔබට හැකි සෑම විටෙකම නෝඩ් පෑඩ්ස් පිරිසුදුව තබා ගැනීමත් සෑම මාස තුනකට වරක් වත් ඒවා මාරු කිරීමත් ඉතාමත් වැදගත්ය.

උපැස් යුවලක විශේෂිත අංගය වන්නේ කාචයයයි. කාචයේ පිරිසුදු බව පිළිබඳව ඔබ ඉතා හොඳින් සැලකිලිමත් වෙනවා වගේම එය පිරිසුදු කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය පිළිබඳව ද ඊටත් වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. බොහෝදෙනෙක් කඩදාසි තුවා ද උපැස් යුවළේ කාචය පිරිසුදු කිරීම සඳහා යොදා ගත්ත ද එය එතරම් නුවණට හුරු ක්‍රියාවක් නම් නොවේ. රළු, වියළි, කඩදාසි හෝ පිරිසුදු කාරක යොදාගෙන කිසිවිටෙකත් උපැස් යුවළ පිරිසුදු නොකරන්න.

ඒ වගේම මඩ දූවිලි වලින් වන හානිය වළක්වා ගැනීමට අවම වශයෙන් දවසට දෙවරක් උපැස් යුවළ පිසදමන්න.