වරැදි ඉරියව්වකින් බර එසෙව්වොත් කොන්දේ අමාරුව ඇතිවන එක අහන්නත් දෙයක්ද?

වරැදි ඉරියව්වකින් බර එසෙව්වොත් කොන්දේ අමාරුව ඇතිවන එක අහන්නත් දෙයක්ද?

රිජ්වේ ළමා රෝහලේ ප්‍රධාන භෞතූචිකිත්සක

ආචාර්ය ජාලිය උඩුවැල්ල

කොන්දේ අමාරුවලට හේතු රාශියක් ඇත. ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ බරක් එසවීමේදී අන්තර් කශේරුක මඬලවලට සිදුවන අනතුරුයි.

අන්තර්කශේරුක මඬල සෑදී තිබෙන්නේ ජෙලටින් වැනි ද්‍රව්‍යයකින්ය. වැරදි ඉරියව්වක සිට බර එසවීමේිදී එම මඬල වලට පීඩනය ඔරොත්තු නොදී එම ජෙලටින් පිටතට පැමිණේ. එවිට අන්තර් කශේරුක මඬලවල කම්පන උරා ගැනීමේ කාර්යය කළ නොහැකි වේ. කශේරුකා එකිනෙක ළංවී සුසුම්නා ස්නායු තෙරපීමට ලක් විය හැක. එවිට කොන්දේ වේදනාව සමඟ කකුල දෙසට දිව යන වේදනාව ද ඇතිවිය හැක.

එමෙන්ම අන්තර් කශේරුක සන්ධි විසන්ධි වීම සහ ඒ අවට මෘදු පටකවලට සිදුවන අනතුරු නිසාද කොන්දේ වේදනාව ඇති වේ.

දෙපාවල දිග අසමාන වීම, වැරදි ඉරියව්වල සිට කාර්යයන්හි යෙදීම, මාංශ පේශීවල සමතුලිතතාවය නැතිව යාම, කොන්දේ වේදනාවට හේතු ලෙස දැක්විය හැක.

කොඳුඇට පෙලේ ඇතිවන අසමාන්‍ය වක්‍ර වන ස්කොලියෝසිස්, ලෝඩෝසිස් නිසාද කොන්දේ වේදනාව ඇතිවිය හැක. වයසට යාමත් සමඟ අස්ථි දිරාපත් වීම නිසාද මේ වේදනා හටගනී.

ක්ෂය රෝග විසබීජ වැනි විසබීජ සුසුම්නාවට යෑමෙන් ද සුසුම්නාවේ හට ගන්නා අර්බුද නිසාද මේ තත්ත්වය ඇතිවිය හැක.

ගර්භනී කාලයේදී ඇතිවන කොන්දේ අමාරුව දරු ප්‍රසූතියෙන් පසු ටික කලකදී නැති වී යයි.

එමෙන්ම වකුගඩු සහ ගර්භාෂයේ ඇතිවන ආසාදන නිසා ඇතිවන කැක්කුම කොන්ද දෙසට පැතිරී යා හැක. තවත් වැදගත් හේතුවක් වන්නේ මානසික හේතු ද කොන්දේ අමාරුව ඇති කිරීමයි.

මෙම තත්ත්වය සුව කිරීමට භෞත චිකිත්සක ප්‍රතිකාර ද අවශ්‍යය. කොන්දේ අමාරුව හටගත් මුල් දින කීපයේදී විවේකය හා තාප ප්‍රතිකාරකය හෝ අයිස් ප්‍රතිකාර වැදගත් වේ. මුල් දිනවල ව්‍යායාම සුදුසු නැත. වේදනාවට හේතු අනුව ප්‍රතිකාර විවිධ වේ.

භෞතචිකිත්සාවේදී තාප ප්‍රතිකාර ලෙස අධෝරක්ත කිරණ කෙටි තරංග ලබා දේ. එම ප්‍රතිකාරවලින් පසුව වේදනාව හා ඒ අවට මාශංපේශීවල තද ගතිය නැතිවේ. ඉන් අනතුරුව පේශී ඉහිල් කරන ව්‍යායාම සහ ස්ථිති ව්‍යායාම කල යුතුය. වේදනාවට හේතුව අන්තර් කශේරුක මඬල තෙරපීම නම් කොඳුඅට පෙළ ඇදීමට ලක් කරන ප්‍රතිකාර ලබාදිය යුතුය. අවසානයේදී කොඳුඇට පෙළ අවට මාංශ පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම කළ යුතුය.

මෙම වේදනාව ඇති අයට දෙන අවවාද ලෙස රළු පෘෂ්ඨයක නිදාගැනීම සහ බර එසවවීමේදී කොන්ද නොමනා දණහිස් නවා පහත් වී බර එසවීම ආදිය පෙන්වා දිය හැක.

තවද කිසිසේත් තමන්ට එසවීමට අපහසු බර එසවීමට උත්සාහ නොකළ යුතුය. තවත් අයෙකුගේ උදව් ලබාගත යුතුය.

බෙහෝදෙනෙකුට කොන්දේ අමාරුව ඇති වන්නේ වැරදි ඉරියව් නිසාවෙනි. එබැවින් එදිනෙදා කාර්යයන්හි යෙදෙන විට තමන්ගේ ඉරියව් ගැන සැලකිලිමත් වන්න.


ඇඟ බර වැඩිද එහෙනම් ආතරයිටිස් ෂුවර් තමයි.

ශරීරයේ බර වැඩිවීම බොහෝ ලෙස රෝගවලට හේතු වේ. ශරීරයේ බර උසුලා සිටින සන්ධි මේ නිසා ඉතා ඉක්මනට රෝගි විය හැකියි. ශරීරයේ බර උසුලා සිටින සන්ධි හා නිතර ගෙවීම්වලට ලක්වන සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් රෝගය ඇති වේ.

එනම් මෙම රෝගය දණහිස් සන්ධිවල බහුලව ඇතිවේ. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ සන්ධිවල දැනෙන වේදනාවයි. වේදනාව සමඟ සන්ධිවල ඉදිමුම ඇති වේ. එසේම මේ රෝගය ඇති අය ඇවිදිමේදී, සිටගෙන සිටීමේදී, පඩිපෙලක් නැග යන විටදී වේදනාව වැඩි වේ. රාත්‍රියට සන්ධිවල වේදනාව වැඩි වේ. තවද බිම හිඳගෙන සිට නැගීටීමට අපහසු වේ. සන්ධිවල හටගන්නා වේදානව නිසාම ක්‍රම ක්‍රමයෙන් සන්ධිවල චලනය සීමා වේ. ඉන් පසු සන්ධි අවට මාංශපේෂීන් දුර්වල වී මාංශපේෂීන් සිහින් වී යා හැක.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හෝමෝන කි‍්‍රයාකාරීත්වයේ ඇතිවන වෙනස්කම් නිසා අවුරුදු 45ට වඩා වැඩි කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ. එමෙන්ම අධික බරකින් යුක්ත අයට මෙම රෝග තත්ත්වය වඩාත් වැඩිය. දෙපාවල දිගෙහි වෙනස්කම් ඇති අයට ද්විතියිකව මෙම තත්ත්වය වර්ධනය විය හැක. එසේම තරුණ වියේදී මෙම රෝගය වැළදෙන්නේ සන්ධි අනතුරට පත්වීමෙන් පසුය. ස්නායු අනතුරට පත් වීමෙන් පසුව සන්ධිවල සංවේදන අඩු වී ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය වර්ධනය විය හැක. මෙම රෝගයේදී වන්නේ සන්ධිය තුළ ඇති ආටිකියුලර් කාටිලේජ ඛාදනයට ලක් වීමයි.

මේ සඳහා භෞතචික්ත්සක ප්‍රතිකාර ලෙස කෙටි තරංග ප්‍රතිකාරයත් සන්ධි අවට මාංශපේශී ශක්තිමත් කරන ව්‍යායාම ද ඉතා අවශ්‍ය වේ. මෙම ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගියාගේ වේදනාව, ඉදිමුම පහ වී ගොස් සන්ධිය චලනය කිරීමට පහසු වේ.

මෙම රෝගයට ප්‍රතිකාර නොකර සිටීමෙන් සන්ධිවල නොයෙකුත් විකෘතිතා ඇති වේ. උදාහරණ වශයෙන් “හර්බන් නෝඩ්ස්” සහ “බුවාඩ්ස්” නම් වන ගැට ඇඟිලි පුරුක් සන්ධිවල ඇති වේ.

මෙම රෝගයෙන් පෙලෙන අයට දෙන අවවාද නම් ඔබගේ බර වැඩි නම් එය අඩු කර ගැනීමට සිතිය යුතුය. එසේම පඩිපෙල නැගීම බිම ඉඳගෙන නැගිටීම වැනි දෑ හැකි තරම් අඩු කළ යුතුය. කිසිම විටක යම් උඩක සිට බිමට පැනීම නොකල යුතුය.

දණහිස් සන්ධියේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය සඳහා සුදුසු ව්‍යායාමයක් සඳහන් කළොත් එනම් උඩුබැලි අතට දිගා වී දණහිස් සන්ධිය නොනැමෙන සේ පාදය අංශක 45ක් පමණ ඔසවන්න. නැවත ඉතා සෙමින් පාදය පහත දමන්න.