සියදිවි හානිකර ගැනීම රැල්ලක් ද?

සියදිවි හානිකර ගැනීම රැල්ලක් ද?

මානසික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මාලිකා වීරසිංහ

ප්‍රශ්න ගැන හිතල හිතලම ජීවිතේ එපා වෙලා තියෙනවා කියන සමහර අය ටික දවසක් යනකොට අනිත් කාටත් වැඩිය සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. එහෙම ඉන්න අය අතරේ ප්‍රශ්න වලට තමන්ට තිබෙන එකම විසදුම මරණය කියලා හිතලා ජීවිතේ නැතිකර ගන්න අයත් ඉන්නවා. සියදිවි හානි කර ගැනීම පිළිබඳව මෙවර මානසික රෝග පිළිබඳ ලිපිය යටතේ සාකච්ඡාවට ලක් කළේ පසුගිය දිනවල රැල්ලක් ලෙස තරුණ වයස් වල පසුවන අය තමන්ගේ ජීවිත විනාශ කරගත් නිසයි. එය දිගින් දිගටම නොවිය යුත්තක්. එම ප්‍රවෘත්ති වල පසුබිම් කතාව කුමක් වුවත් ඔවුන් එම තීරණයට එළඹෙන්නට ඇත්තේ කුමන හේතුවක් නිසා වෙන්නට ඇති ද? ඔවුන් මුහුණ දුන් මානසික තත්ත්වය කුමක් විය හැකිද? විශේෂයෙන් මෙවැනි තීරණවලට එළඹීම ආවේගශීලි බව මුසු නව යොවුන් වියත් සමඟ ඇතිවන සාමාන්‍ය තත්ත්වයක් ද? යන්න පිළිබඳ සමාජ කථිකාවක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවකි.

නව යොවුන් වියේ දරුවන් අතර දැකගත හැකි හැසිරීම්

නව යෞවන අවදියේදී විශාල වෙනස්කම් සිදු වේ. මේ වෙනස්කම් බොහෝදුරට කායික වෙනස්කම් එසේත් සහ මානසික වශයෙන් ඇතිවන ඒවා ලෙස වර්ග වේ. මෙවැනි වයස්වල පසුවන දරුවන් ප්‍රශ්නවලට මුහුණ දීමේදී ඉතාමත් ආවේගශීලීව කටයුතු කරනු ලබන අතර තමන්ගේ හැසිරීම් නිසා සිදුවන ප්‍රතිවිපාක පිළිබඳ කිසිදු තැකීමක් නොදක්වනු ලැබේ. වෛද්‍ය විද්‍යාත්මකව විමසා බැලීමේදී මේ සඳහා බලපාන හේතුව වන්නේ මොළයේ පිහිටා තිබෙන Prefrontal cortex  නමැති කොටස නිසි පරිදි වර්ධනය වී නොතිබීමයි. කෙසේවෙතත් මෙම හේතුව නිසා තම හැඟීම් ඉතාමත් ඉක්මනින් වගේම ආවේගශීලීව පිට කිරීම වගේම හැඟීම් පාලනයක් ද දක්නට නොලැබේ.

මෙම කායික මානසික වෙනස්කම් මත බාහිර සමාජයෙන් ද දරුවන්ට ඇති කරනු ලබන ආතතිමය තත්ත්ව මෙන්ම පීඩනයන් නිසා සියදිවි හානි කර ගැනීම වැනි තීරණයන්ට පවා ඔවුන් එළඹිය හැකියි. මේ වනවිට පවතින සංකීර්ණ, ගැටලුකාරී සමාජ වටපිටව නිසා විශේෂයෙන් පාසල, වැඩිහිටියන්, පවුලේ සාමාජිකයන්, යහළු යෙහෙළියන්ගෙන් ඇතිවිය හැකි ගැටලු වලදී වයසත් සමඟ සිදුවන කායික මානසික පෙරළියක් සමඟ ඉවසීමකින් තොරව කටයුතු කිරීම වර්තමානයේ මෙවැනි වයස්වල පසුවන දරුවන් අතර සියදිවි හානි කර ගැනීම් වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

මරණයද? ජීවිතයද?

නව යොවුන් වියේ පසුවන දරුවන් තමාට ඇතිවන ගැටලුවල ස්වභාවය අනුව තමාගේ ජීවිතය පිළිබඳ ගනු ලබන තීරණ කොටස් දෙකකට වර්ග කළ හැකියි. එකක් ජීවිතය මරණයෙන් කෙළවර කර ගැනීමටයි. අනෙක ජීවිතයට හානියක් (Deliberate selfharm) කර ගැනීමයි. මෙවැනි අය ඖෂධ අධි මාත්‍රාවෙන් ගැනීම, වස පානය කිරීම, ශරීර අවයව කපා ගැනීම ආදී දේ සිදු කර ගනු ලබන අතර ඉතා සුලබව රෝහල් ගත වී ප්‍රතිකාර ගන්නා අවස්ථා එදිනෙදා ජීවිතයේදී දැකගත හැකි වේ.

කෙසේ වෙතත් මෙවැනි හානි සිදු කර ගැනීමට හේතුව ලෙස සමාජයේ බොහෝදෙනෙක් හුවා දක්වන්නේ බොහෝදුරට මතුපිටින් දැකගත හැකි යම් හේතුවක් පමණයි. නමුත් ඊට යටිපෙළේ දිවෙන අදාළ තීරණයට බලපාන සැබෑම හේතුව ඉතා බරපතළ විය හැකියි. බොහෝදුරට මෙම සිදුවීම් වලට බලපාන හේතුව වශයෙන් සමාජයේ බොහෝදෙනා මතුපිටින් හුවා දක්වන්නේ විභාග අසමත් වීම, මාපියන්ගෙන් චෝදනාවට ලක් වීම, පෙම්වතා පෙම්වතිය තරහ වීම ආදියයි.

මාධ්‍ය හරහා ඇතිවන බලපෑම

බොහෝ කාලවලදී සියදිවි හානිකර ගැනීම එක්තරා රැල්ලක් ආකාරයෙන් දක්නට ලැබේ. මේවා විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වන ආකාරය එනම් පින්තූර, සිදුවීම් පිළිබඳ වැඩිදුර විස්තර කිරීම, අදාළ සිදුවීමට ප්‍රමුඛත්වයක් ලබාදීම, සියදිවි හානිකර ගන්නා ක්‍රම පිළිබඳ විග්‍රහ කිරීම නිසා එය සමාජයේ සිටින අනෙකුත් පිරිස් ඊට පොළඹවා ගැනීමට හේතුවක් ලෙසින් පැහැදිලි කළ හැකියි. උදාහරණයක් ආශ්‍රයෙන් මේ බව තවදුරටත් පැහැදිලි කළහොත් කුමන හෝ ගැටලුකාරී තත්ත්වයක් මත තමාගේ ජීවිතය පිළිබඳ එපා වූ අයෙක් මෙසේ මාධ්‍ය හරහා ප්‍රචාරය වන දේ මඟින් තමාට ඇති එකම විසදුම මරණය බව සිතා ඊට පෙළඹිය හැකියි.

තවද නාට්‍ය වැනි දේ හරහා මෙවැනි සිදුවීම් සඳහා වීරත්වයක් ඇති කරන බැවින් ඒ ඔස්සේ සමාජ ගතවන ආදර්ශ නිසාද විවිධ මානසික පීඩාවල තීරණවල අවසානය මරණය වීමට වැඩි ඉඩකඩක් තිබේ.

විෂාදය

විෂාදය යනු කෙනෙකුට සියදිවි හානි කර ගැනීමට පෙළඹවීමක් ඇති කරගත හැකි ප්‍රබල හේතුවක්. මෙහිදී දැකගත හැකි රෝග ලක්ෂණ වන්නේ හැමදේම එපා වීම, නිතර දුකින් කණගාටුවෙන් සිටීම, කිසිම දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් ආසාවක් නොමැතිකම, තමාට තිබෙන එකම විකල්පය මරණය බව සිතීම ආදියයි.

අන්තර්ජාලය හා තාක්ෂණයේ ඇති බලපෑම

මේ වනවිට අන්තර්ජාලය හරහා විවිධ සමාජ ජාල වෙබ් අඩවි නිර්මාණය වී ඇති අතර මේවායේ වැඩි වශයෙන් ක්‍රියාකාරී වන්නේ නව යෞවන වියේ පසුවන දුවා දරුවන්ය. පෙර පැහැදිලි කළ පරිදි ආවේගශීලිව කටයුතු කරන මෙවන් වයස්වල පසුවන දුවා දරුවන් අතර කෙටි පණිවිඩ, පින්තූර ආදී තොරතුරු හුවමාරු වනවා පමණක් නොව ඒවා යොදාගෙන සිදුවන තර්ජන (cyber bulling) නිසාද මෙවැනි පෙළඹවීම් සිදුවිය හැකියි.

මීට අමතරව ඇතැම් පරිගණක ක්‍රීඩා ද සියදිවි හැනි කර ගැනීම් ආශ්‍රයෙන් ගොඩනැඟී තිබේ.

පෞරුෂ දුර්වලතා

Borderline personality disorder  වැනි පෞරුෂ වර්ධනය ආශි‍්‍රත ගැටලු තිබෙන අය නැවත නැවත ඉහත සඳහන් කළ ආකාරයේ අනතුරු තමාට සිදු කරගනු දක්නට ලැබේ. මීට හේතුව තමාට ඇතිවන ආවේග පාලනය කිරීමට අපහසුවන නිසා හිත තුළ තිබෙන පීඩනය තමාටම හානිකර ගැනීම හරහා පිටතට පෙන්නුම් කරනු ලැබේ.

අසරණ වුණු වෙලාවට මොකද කරන්නේ?

මෙවැනි සිදුවීම් පිළිබඳ විමසා බලන විට මවුපියන් තමාගේ දුවා දරුවන් පිළිබඳ හොඳ අවධානයකින් කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ වගේම මෙම දරුවන්ට යම් ගැටලුවක්, ආතතියක්, පීඩනයක් ඇති වූ අවස්ථාවකදී ඇතැම් විට මාපියන්ට පවතින බිය නිසා සිතේ සිර කරගෙන පීඩා විඳිනු ලැබේ. නමුත් එසේ නොසිට තමාට විශ්වාසවන්ත අයෙකුට පැවසීම එසේ පවසන්නට නොහැකි නම් වෘත්තීය මට්ටමේ මනෝ වෛද්‍යමය උපදෙස් ප්‍රතිකාර කරා යොමුවිය හැකියි. මේ සඳහා දිවයින පුරා තිබෙන රෝහල් ආශි‍්‍රතව නිසි පුහුණුව ලත් මනෝ වෛද්‍යමය කණ්ඩායම් සිටින අතර ඔබට තිබෙන ගැටලුව කුමක් වුවත් ඊට පිළියම් සොයාගත හැකියි.