ග්ලූකෝමා රෝගීන් ඇසට ඖෂධ දැමිය යුතු ආකාරය

ග්ලූකෝමා රෝගීන් ඇසට ඖෂධ දැමිය යුතු ආකාරය

අක්ෂි රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මංගලා ගමගේ

ග්ලූකෝමා ඔබේ දෑස් අන්ධ කරයි.

මෙවැනි පුවරු රෝහල්වල කොරිඩෝවේ, බාහිර ප්‍රතිකාර අංශවල, වාට්ටුවල එල්ලා තිබෙනු ඔබ කොතෙකුත් දැක ඇතුවාට සැකයක් නැත.

ඇතැමෙක් මේ පිළිබඳ එතරම් තැකීමක් නොකළද ග්ලූකෝමා යනු අප සිතන තරම් ලෙහෙසි පහසු රෝගයක් නොවන අතර යම් හෙයකින් අන්ධ භාවය ලද හොත් නැවත පෙනීම ලබාගත නොහැකි තත්ත්වයක පවතින්නාවූ සදාකල් අඳුර ජීවිතයට උරුම කර දෙන රෝගී තත්ත්වයකි.

ග්ලූකෝමාව පිළිබඳ ඇතැමෙකුට එතරම් අවබෝධයක් නොමැති වුවද ඇසේ ප්‍රෙෂර් පිළිබඳව නම් බොහෝදෙනෙකුට වැටහීමක් ඇත.

ඇසේ ප්‍රෙෂර් හෙවත් ඇසේ පීඩනය හේතුකොට අපගේ ඇසේ තිබෙන දෘෂ්ඨි ස්නායුවට ක්‍රමයෙන් හානි සිදු වේ. දෘෂ්ඨි ස්නායුවෙන් ඇසට නාභි ගතවන ප්‍රතිබිම්භ මොළය දක්වා රැගෙන යාම සිදු වන බැවින් ඇසේ පීඩනය වැඩි වීමෙන් මේ ක්‍රියාවලිය අඩපණ වීමක් සිදු වේ. අවසානයේදී අන්ධ භාවයට යනතෙක් රෝගියා නොදනී.

මෙම ග්ලූකෝමා රෝගයේ තිබෙන භයානක තත්ත්වය වන්නේ මුල් අවස්ථාවේදීම රෝග ලක්ෂණ පහළ නොවීමයි. එසේම “ග්ලූකෝමා” නිසා ඇතිවන අන්ධ භාවය ශල්‍යකර්මයකින් හෝ යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වීම ද බරපතල ගැටලුවකි.

නමුත් “ග්ලූකෝමා” රෝග ලක්ෂණ පහළ වූ සැනින් අක්ෂි වෛද්‍යවරයකු වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් එය පාලනය කිරීමට හැකියාව පවතී.

රෝගය හඳුනාගත හැකි ආකාරය

වයස අවුරුදු 40 වනවිට බොහෝවිට පෙනීමේ ගැටලු ඇතිවිය හැක. එවිට බොහෝ අය සිදු කරන්නේ අක්ෂි වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කණ්ණාඩි භාවිතා කිරීමය. එම ක්‍රමය කිසිසේත් නිවැරදි නොවේ. අක්ෂි රෝග ආබාධ, දුර ළඟ පෙනීමේ දුර්වලතා, පිළිබඳ නිසි අවබෝධය ඇත්තේ අක්ෂි වෛද්‍යවරයෙකුට පමණි. එබැවින් තමාගේ අක්ෂි දුර්වලතාවයට යා යුත්තේ රජයේ හෝ ඕනෑම රෝහලක අක්ෂි සායනයකට හෝ අක්ෂි වෛද්‍යවරයකු වෙතය. එවිට අක්ෂි වෛද්‍යවරයා විසින් ඇසේ පීඩනය (ප්‍රෙෂර්) මැන අක්ෂි දෝෂ පිළිබඳ නිසි වාර්තාවක් ලබා දේ. ඒ අනුව ප්‍රතිකාර වෙත යොමු විය යුතු වේ.

ඇතැම් විට මෙවැනි අවස්ථාවකදී ඇසේ ප්‍රෙෂර් තිබේ නම් එය පාලනය කිරීමට ඖෂධ ලබා දෙන අතර යම්කිසි දෘෂ්ඨි දෝෂ තිබේ නම් ඒ සඳහා කණ්ණාඩි ලබා ගැනීම සඳහා රෝගියා යොමු කරවනු ලැබේ. ඇතැම් විට ඔබගේ පවුලේ යම් කෙනෙකු ග්ලූකෝමා තත්ත්වයෙන් පෙළෙන්නේ නම් ජානමය තත්ත්වය මත දරුවන්ට ද මෙම රෝගය ඇතිවිය හැක. එවැනි අවදානමක් ඇති පවුල්වල අය වයස 40 වනවිට ඇස් පරීක්ෂා කරගත යුතු වේ.

ග්ලූකෝමා තත්ත්වයේදී සිදුවන්නේ අක්ෂිය වටා පෙනීම ක්‍රමයෙන් නැති වී ගොස් අවසානයේදී සම්පූර්ණයෙන්ම නොපෙනී යාමයි.

විශේෂයෙන් ග්ලූකෝමා සමඟ දියවැඩියාව ඇත්නම් අනිවාර්යෙන්ම ඇස් පරීක්ෂාවට ලක් කළ යුතු අතර දියවැඩියාව පාලනය කිරීම අතිශය වැදගත් වේ. එසේ නොවුණොත් ග්ලූකෝමා අවදානම බොහෝ සෙයින් වැඩිවීමට ඉඩ ඇත. ඔබ හෝ ඔබගේ මව්පියන් දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් අක්ෂි වෛද්‍යවරයෙකු වෙත ගොස් අක්ෂි පරීක්ෂා කරගත යුතුª අතර සෑම වසරකටම දෙවතාවක් මෙය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

එසේම ග්ලූකෝමා මුල් අවස්ථාවේදී හඳුනාගෙන අදාල ප්‍රතිකාර වෙත යොමු වීමෙන් පාලනය කළ හැකි වීම මෙම රෝගයේ තිබෙන එකම විසඳුමයි.

විශේෂයෙන් මෙයට ප්‍රතිකාර වශයෙන් ඖෂධ බිංදු ලබාදෙන අතර මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශය පරිදි මසකට වැඩි කාලයක් භාවිතා කිරීමෙන් ඵලක් නොවේ. ඒ සමඟම ඖෂධ තැබිය යුතු නිසි උෂ්ණත්වය ද වෛද්‍යවරයාගෙන් අසා දැනගත යුතුය.

ඇසට ඖෂධ යෙදීමේදී දෑතේ පිරිසිදුකම ඉතා වැදගත් වේ. ඇසේ පහත පිල්ලම ඇඟිල්ලෙන් පහළට කර ඇසේ කොනට බිංදු දැමිය යුතුය. ඇසට දමන ඖෂධ බෝතලයේ මූඩිය වටා විෂබීජ නොයන ආකාරයට තැබිය යුතු වන්නේ බෝතලයට විෂබීජ යාමට ඉඩ ඇති නිසාය. එවිට ඇසට ද විෂබීජ යෑම වැළැක්විය නොහැක.

ඇසට ඖෂධ දමන ක්‍රමය

ඇසට බෙහෙත් දැමීමේදී වෛද්‍යවරයා නියම කළ වේලාව තුළදීම බෙහෙත් දැමීම සිදු කළ යුතුය. ඇසේ පිහාටුවල ඖෂධ බෝතලයේ කෙළවර ගෑවීමට සැලැස්වීමෙන් වළකින්න. බෙහෙත් දැමීමෙන් අනතුරුව ඇස වසා ස්වල්ප වේලාවක් සිටින්න. නැත්නම් කඳුළු සමඟ ඖෂධ ඉවත් වීමට ඉඩ ඇත. මෙම ඖෂධවලට අතුරු ආබාධ නොමැත. නමුත් කැසීම කඳුළු ඒම වැනි යම්කිසි අසාත්මිකතා වෙතොත් නැවත වෛද්‍යවරයා මුණ ගැසීමේන් අසාත්මික නොවන ඖෂධ වර්ගයක් ඔබට ලබාදෙනු ඇත.

කිසිම විටක අසාත්මික වූවා යැයි සිතා ඇසට ඖෂධ දැමීම වැළකීම නොකළ යුතු වේ. එයින් සිදුවන්නේ අන්ධභාවයට තවත් ලංවීම පමණි.