අත හිරිවැටිලා තේ කෝප්පය බිම වැටුණා

අත හිරිවැටිලා තේ කෝප්පය බිම වැටුණා

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය

බිම්සර සේනානායක

අතෙහි ඇති වූ හිරිවැටීමක් නිසා කිසියම් පුද්ගලයකුගේ අතෙහි තිබූ තේ කෝප්පය, වතුර වීදුරුව හෝ පෑන වැනි යමක් අතෙන් ගිලිහී බිම වැටුණු අවස්ථාවක් ඇතැම්විට ඔබ දැක ඇති.

ඇතැම්විට ඔබත් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් අයෙකු වෙන්නට පුළුවනි. ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝවිට මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ තරුණ විය ඉක්මවූ පුද්ගලයින්.

අතේ ඇතිවන හිරිවැටීම, බෙල්ලේ සිට අත දිගේ ඇතිවන හිරිවැටීම වැනි ලක්ෂණ මෙවැනි පුද්ගලයින් වෙතින් පෙන්නුම් කෙරෙන මූලික රෝග ලක්ෂණයන්.

මෙම රෝගී තත්ත්වය අද සමාජයේ බොහෝදෙනෙක් පීඩා විඳින, බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් කිරීමට සමත් වී තිබෙනවා.

අතේ හෝ අත දිගේ ඇතිවන මෙම හිරිවැටීමේ තත්ත්වයට ප්‍රධාන කරුණු 4 ක් හේතුවන බව පෙනී යනවා. ඉන් පළමුවැන්න Carpal tunnel syndrome නම් රෝගී තත්ත්වයයි.

මේ සඳහා හේතුවන්නේ අතෙහි මැණික් කටුව අසලින් ගමන් කරන median nerve නම් ස්නායුවට ඇතිවන බලපෑමයි. මෙම ස්නායුව අපගේ ශරීරයේ තිබෙන ප්‍රධානතම ස්නායු 3 න් එකක්.

මැණික් කටුව අසල තිබෙන කුඩා කුහරයක් වැනි ස්ථානයකින් මෙම ස්නායුව ගමන් කරනවා. එම නිසයි මෙම රෝගී තත්ත්වය carpal tunnel syndrome ලෙස හඳුන්වන්නේ. මෙම ස්නායුව තෙරපීම, අතෙහි ඇතිවන හිරිවැටීමට හේතු වෙනවා.

අතෙහි ඇතිවන හිරිවැටීමට බහුලවම බලපාන හේතුව මෙයයි. මෙම රෝගී තත්ත්වය කාන්තාවන් අතර බහුල බව පෙනී යනවා. මෙහිදී මාපට ඇඟිල්ල, දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල යන ඇඟිලි දෙක හිරිවැටීමකට ලක්වෙනවා.

මෙහිදී අදාළ ස්නායුව තෙරපීමට හේතුවන සාධක අතර ගර්භනී බව ප්‍රධාන තැනක් ගන්නවා. එසේම ස්ථුලභාවය,නිසාත් මෙම ස්නායුව තෙරපීමට ලක් වීමට ඉඩ තිබෙනවා. ඊට අමතරව දියවැඩියාව, ශරීරයේ තයිරොක්සින් ඌනතාවය, රුමටොයිඩ් ආතරයිටීස් රෝගය වැනි රෝගී අවස්ථාවලදී ද median nerve ස්නායුව තෙරපීමට ලක් වී අතෙහි හිරිවැටීමක් ඇති වෙනවා.

තමන්ගේ දෑත් වඩාත් වෙහෙසවන ආකාරයේ ක්‍රියාවල නිතර වන පුද්ගලයින්ගේ දෑත්වල carpal tunnel syndrome රෝගය ඇතිවීමේ හැකියාව බහුලබව ද පෙනී යනවා.

මෙහිදී නිතර ලිවීමේ කටයුතුවල යෙදෙන ලේඛකයින්, රෙදි සෝදන කාන්තාවන්, ඇදුම් මැසීමේ යෙදී සිටින්නන් දිගින් දිගටම ඉඳිආප්ප හැදීම පොල් මිරිකීම වැනි කෑම පිසින වැඩ කටයුතුවල යෙදී සිටින කාන්තාවන් අතරත්, මේසන්වැඩ වැනි කර්මාන්තවල කාලයක් තිස්සේ යෙදී සිටින පුද්ගලයින් අතරත් මෙම රෝගය බහුලයි.

මෙම රෝගී තත්ත්වය මුලින්ම ඇති වන්නේ වඩාත් වෙහෙසවන නිතර පිවිච්චි වන හුරු අතේ. දකුණු අත හුරු අය සමාජයේ බහුල නිසා මෙම රෝගය පළමුවෙන් ඇතිවන්නේ දකුණු අතේ බව පෙනී යනවා.

ත්‍රිරෝද රථ රියදුරන් අතර මෙම රෝගය පළමුව ඇතිවන්නේ වම් අතේ බව පෙනීයනවා. එයට හේතුව වන්නේ ත්‍රී රෝද රථය පනගන්වන හැඩලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ වම් අතෙන් වීම නිසයි.

පේෂි දියවෙනවා

මෙම රෝගයේ මූලික රෝග ලක්ෂණ මතු වන්නේ එසේ නැතිනම් අතේ හිරියක් මුලින්ම ඇතිවන්නේ උදේ පාන්දර සහ රාත්‍රියේදී. හිරියත් සමඟම මෙහිදී කැක්කුමක් ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව බසයක ගමන් කිරීමේදී දුරකනයකින් කතා කිරීමේදී අත ඉහළට එසවී තිබෙන විට මෙම රෝග ලක්ෂණ වැඩිවීමට ඉඩ තිබෙනවා. මෙම රෝග ලක්ෂණ ගණන් නොගෙන ප්‍රතිකාර නොකොට කාලයක් ගත වනවිට අතේ මාංශ පේෂි දියවී යාමක් වුවද සිදු විය හැකියි.

මෙම රෝගය මූලික අවස්ථාවේම හඳුනාගෙන ප්‍රතිකාර ගැනීමෙන් පහසුවෙන් සුව කරගත හැකියි. nerve conduction testනම් පරීක්ෂණය මඟින් මෙම රෝගය හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. මෙය ඉතා සුළු ස්නායු පරීක්ෂණයක්. එම හඳුනා ගැනීමෙන් පසුව රෝගයට හේතුවන අත වැඩිපුර පාවිච්චි වන ක්‍රියාකාරකම්වල යෙදීම අවම කරන ලෙස රෝගියාට උපදෙස් ලබා දෙනවා. අනෙකුත් රෝග ලක්ෂණ අවම කිරීම සඳහා ඖෂධ ලබා දෙනවා.

එම ප්‍රතිකාර වලින් රෝගය සුව වන්නේ නැතිනම් සරල ශල්‍යකර්මයක් මඟින් එම ස්නායු තෙරපීම නැති කර දැමිය හැකියි. එම ශල්‍යකර්මය හඳුන්වනු ලබන්නේ Carpal tunnel decompression ලෙසයි. ශල්‍යකර්මයකට යන්නේ නැතිව මැණික් කටුව ප්‍රදේශයට දෙනු ලබන එන්නත් මාර්ගයෙන් ප්‍රතිකාර කළ ද එය සම්පූර්ණ සුවයක් ලබාදෙන ප්‍රතිකර්මයක් ලෙස සඳහන් කළ නොහැකියි. ඒ; එහිදී නැවත රෝගය ඉස්මතු වීමට ඉඩ තිබෙන නිසයි. ශල්‍යකර්මයකට යොමුවිය යුත්තේ ඖෂධීය ප්‍රතිකාරවලින් සුව නොවුනහොත් පමණයි. මෙහිදී අතේ හිරිවැටීමට හේතුවන Carpal tunnel syndrome රෝගයට හේතුව දියවැඩියාව, තයිරොක්සීන් ඌනතාවය වැනි සාධක නම් එම සාධක ඉවත් කිරීම සඳහා ප්‍රතිකාර ලබාදිය යුතුයි.

අතේ හිරිවැටීමට හේතුවන අනෙක් සාධකය වන්නේ Spondylosis නම් රෝගී තත්ත්වයයි. බෙල්ලේ ස්නායු තෙරපීමක් නිසයි මෙහිදී අත දිගේ ඇතිවන හිරිවැටීම සිදුවන්නේ. සුසුම්නාව දිගේ පැමිණ බෙල්ලෙන් එළියට එන ස්නායු, තෙරපීම නිසා අත දිගේ ගමන් කරන කැක්කුමක් සහ හිරිවැටීමක් ඇතිවිය හැකියි.

බෙල්ලට යොදන කොළරය

අපගේ කශේරුකාවේ අස්ථි දෙකක් අතර අන්තර් කශේරුක මඬල නමින් කොටසක් තිබෙනවා. “ඩිස්ක්” එක ලෙස හඳුන්වන්නේ එම කොටසයි. බර එසවීම, වැටීම වැනි ක්‍රියාවකදී අධික පීඩනයක් ඇති වී එම “ඩිස්ක්” එක පිටුපසට තෙරපීමක් සිදු වුනොත් එය අසල තිබෙන සුසුම්නාවෙන් එළියට පැමිණෙන ස්නායු තෙරපීමකට ලක් වෙනවා. එහි ප්‍රතිඵලය බෙල්ලේ සිට අත දිගේ යන හිරිවැටීමක් මෙන්ම වේදනාවක් ඇති වීමයි. මෙහිදී හිරි වැටෙන්නේ සුලඟිල්ල සහ මුදු ඇඟිල්ල යන ඇඟිලි දෙකයි.

මෙම Spondylosis රෝගය නිවැරදිවම හඳුනා ගැනීම සඳහා බෙල්ලේ MRI ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. මෙහිදී රෝගය නිශ්චිත ලෙස හඳුනාගත් පසුව ඖෂධ මඟින් ද බෙල්ලට යොදන කොලරයක් මඟින් ද, බෙල්ලට ලබාදෙන එන්නතක් මඟින් ද ප්‍රතිකාර කෙරෙනවා. එයින් ප්‍රතිඵලයක් ලැබුණේත් නැතිනම් හිරිවැටීම වේදනාව ඉතාම දරුණු නම්, ශල්‍යකර්මයක් මඟින් ප්‍රතිකාර සිදු කළ යුතුයි.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ, බෙල්ලට දමන කොළරය දිගින් දිගට පාවිච්චි කිරීම සුදුසු නොවන බවයි. එයට හේතුව කෙළරය දිගින් දිගටම පාවිච්චි කිරීම නිසා බෙල්ලේ මාංශපේශි දියවීමට ඉඩ තිබෙන නිසයි.

කොළරය නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකට පත්වන නිසයි. ඒ නිසා කොළරය දැමීම වඩාත් සුදුසු වන්නේ රාත්‍රී නින්දට යනවිට, මෙන්ම වාහනයකින් දුර ගමන් යාම වැනි අවස්ථා වළදී. රාත්‍රී නින්දේදී බෙල්ල වැරදි ඉරියව්වක බොහෝ වේලාවක් තැබීමෙන් වළක්වා ගැනීම, වාහනයකින් ගැස්සෙමින් දුර ගමනක් යනවිට බෙල්ලේ ස්නායුවලට සිදුවන බලපෑම අවම කිරීම මෙම අවස්ථා දෙකේදී කොළරයෙන් සිදුවන සේවයයි.

අතේ හිරියක් ඇති වීමට හේතුවන තුන්වැනි සාධකය වන්නේ අපගේ ඉළ ඇට සම්බන්ධ කරුණක්. අපගේ ඉළ ඇට කූඩුවේ සාමාන්‍යයෙන් ඉළ ඇට 12 ක් පිහිටා තිබෙනවා. ඇතැමුන්ගේ මෙම ඉළ ඇට 12 ට අමතරව ගෙල ප්‍රදේශයෙන් තවත් ඉළ ඇටයක් පිහිටනවා. එය 13 වැනි ඉළ ඇටයයි. මෙය cerrical rib ලෙස හඳුන්වනවා.

මෙම අමතර ඉළ ඇටය නිසා බෙල්ලේ ස්නායු තෙරපීමකට ලක්වෙනවා. මෙය බොහෝවිට ඇති වන්නේ වයස අවුරුදු 15 -25 අතර තරුණ කාන්තාවන් අතරයි. මෙහිදී ස්නායු තෙරපීමේ ප්‍රතිඵලයක් ලෙස බෙල්ලේ සිට අත දිගේ ගමන් කරන හිරිවැටීමක් ඇතිවෙනවා.  CT  ස්කෑන් පරීක්ෂණයක් මඟින් මෙම තත්ත්වය වඩාත් පැහැදිලිව හඳුනාගත හැකි වෙනවා. එහිදී මෙම අමතර ඉළ ඇටය බෙල්ලේ ස්නායු වලට විශාල බලපෑමක් කරන බව හෙළි වුණොත් එම අමතර ඉළ ඇටය ශල්‍යකර්මයක් මඟින් ඉවත් කළ යුතුයි.

අතේ හිරිවැටීමක් පැතිවීමට හේතුවන හතරවෙනි කාරණය වන්නේ අතේ පිහිටා තිබෙන ulnar ස්නායුව නිතර නිතර තෙරපීමට ලක්වීමයි. මෙම ස්නායුව අත දිගේ පහළින් පිහිටා තිබෙනවා. ඇතැමුන්ගේ මෙම උතදචප ස්නායුව අතේ වැළමිට ප්‍රදේශයෙන් පිටතට නෙරා ඇති ආකරයෙන්, එල්ලී වැටෙන ආකාරයෙන් පිහිටා තිබෙනවා. නිතර මේසයක වාඩි වී ලියන වැඩවල යෙදෙන අයෙක් නම්, පරිගණයක නිතර වැඩ කරන අයෙක් නම් එම ස්නායුව නිතර මේසයේ ගැටී තෙරපීමකට ලක්වීමට ඉඩ තිබෙනවා.

අතේ හිරිවැටීම ඇතිවීමට මෙයත් ප්‍රධාන කරුණක්. nerve Condution test පරීක්ෂණය මඟින් මෙම තත්ත්වය වඩාත් පැහැදිලි කරගත හැකියි. මෙහිදී ulnarස්නායුව පිටතට නෙරා ඇති අත මේසය මත ගැටීම වැළැක්වීමට කුඩා කොට්ටයක් වැනි යමක් හෝ කිසියම් සිනිඳු යමක් අත මේසය සමඟ ගැටෙන කොටසේ තබා ගැනීමට උපදෙස් ලබාදෙනවා. එවැනි ප්‍රතිකර්මවලින් සුවයක් ලැබෙන්නේ නැතිනම්, ulnarස්නායුව ඇතුලට දැමීම සඳහා සුළු ශල්‍යකර්මයක් සිදුකළ යුතුයි.

ප්‍රධාන වශයෙන්ම අත හිරි වැටීමට බලපාන්නේ ඉහතින් සඳහන් කළ හේතු හතරයි. වර්තමානයේ ඇති නවීනතම ප්‍රතිකාර මඟින් මෙවැනි හිරි වැටීම් වලින් මිදී සුව පහසු ජිවිතයක් ගත කළ හැකියි.