අලුත් මාළු හඳුනාගන්න

අලුත් මාළු හඳුනාගන්න

 ඇස් දීප්තිමත්

 නැවුම් ගතිය

 කරමල් රතුයි

 කපන විට රක්ත වර්ණ ලේ

ශ්‍රී ලංකා ආහාර හා

පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපති

එන්.එම්.එස්. හෙට්ටිගෙදර

අප ලබා ගන්නා සමබල ආහාරවේලේ අඩංගු විය යුතු පෝෂණ පදාර්ථවල ප්‍රධානතම සංඝටකයක් වන්නේ ප්‍රෝටීනයි. (ශක්තියේ ප්‍රමාණයෙන් සියයට 15 ත් 20 ත් අතර) එය අප ලබා ගත යුතු වන්නේ ශාකමය හෝ සත්ත්වමය ප්‍රෝටීන වශයෙනි. මෙහිදී සත්ත්වමය ප්‍රෝටීන ලැබෙන ප්‍රධාන ආහාර ද්‍රව්‍ය දෙකක් ලෙස මස් සහ මාළු හැදින්විය හැකිය.

ප්‍රෝටීන වූ කලී ඉතා මිල අධික ආහාරයකි. නමුත් මත්ස්‍ය සම්පතින් අනූනව මුහුද අප රට වටේටම ඇති නිසාම එය මුදල් පසුම්බියට ද පහසු ලෙස අත්‍යවශ්‍ය ප්‍රමාණයට මත්ස්‍ය සම්පත ඔස්සේ ප්‍රෝටීන ලබා ගැනීම අපට එතරම් දුෂ්කර නොවේ.

නිවැරදි ප්‍රමාණයෙන් අප ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීමේදී මාළු විශේෂ තැනක් ලබා ගන්නා ආහාරයකි. මුහුදු මාළු, වැව් මාළු ලෙස බහුලව අප ආහාරයට ගන්නා මෙම සත්ත්වමය ආහාරය ලොකු මාළු ලෙසටත් කුඩා මාළු ලෙසටත් මිලදී ගැනීමට හැකියාව ඇත.

තෝර, තලපත්, මෝර, පරා, කෙලවල්ලා ලෙස කැබැලි කැපූ ලොකු මාළු ද, සාලයා, හාල් මැස්සා, හුරුල්ලා, ලේනපරා, වැනි විවිධ කුඩා මාළු වර්ග ද දිනපතා පරිභෝජනය කරන්නට අපි පෙළැඹේ. ලොකු මාළු මිලෙන් තරමක් වැඩි වන අතර කුඩා මාළු තරමක් මිල අඩුය.

කෙසේ නමුත් මෙම දෙවර්ගයටම අයත් මාළුවල අඩංගුව ඇත්තේ ඉතා උසස් තත්ත්වයේ ප්‍රෝටීන් මෙන්ම ශරීරයට අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයි. එය අප ලබා ගන්නා සෞඛ්‍ය සම්පන්න ආහාරවේලට ඉතා වැදගත්ය.

මේ අනුව බලනවිට සමබල ආහාර වේලක් සඳහා මාළු ලබා ගැනීමෙන් හෘද රෝග වළක්වා ගැනීමේ හැකියාව මෙන්ම ළමුන්ගේ නිවැරදි වර්ධනය උදෙසා අවශ්‍ය පෝෂණ සංඝටක ලබා ගැනීමට ද පිටිවහලක් ලැබේ. මෙහිදී පෝෂණයෙන් අනූන මාළු වර්ග භාවිතයට ගැනීම ප්‍රවේශමෙන් මෙන්ම නිවැරදි සිහි බුද්ධියෙන් කළ යුතු වේ.

එයට හේතුව මාළු වැනි සත්ත්වමය ආහාර නිවැරදිව ගබඩා කර නොතිබූ විට මාළු වර්ගවල ඇති බැක්ටීරියා මෙන්ම වෙනත් විෂබීජ සමහර අවස්ථාවලදී ශරීරයට විෂවීමට තිබෙන අවස්ථාවන් බහුල වීමය.

ඒ නිසාම වෙළෙඳපොළේ ඇති මාළු වර්ග මිලදී ගැනීමේදී මෙන්ම එම මාළු වර්ග ඇසුරුම් කිරීමේදී සහ නිවැරදිව සැකසීමේදී එම මාළු වර්ගවලට අවශ්‍ය සුරක්ෂිතතාව රැකෙන පරිදි කටයුතු කළ යුතුයි. නැතිනම් මාළු වැනි සත්ත්වමය ආහාර විෂ වීමකට ලක්විය හැකියි.

මාළු වර්ග මිලදී ගැනීමේදී හැමවිටම නැවුම් බවින් පිරුණු මාළු මිලදී ගැනීමට උත්සාහ කරන්න. එහිදී අධි ශීතකරණයේ ගබඩා කරන ලද හෝ දිය නොවූ අයිස් උඩ (Ice bed) ගබඩා කළ මාළු මිලදී ගැනීම වඩා උචිතය. මෙම මාළු මිලදී ගැනීමේදී නැවුම් මාළු වලින් එතරම් සැර ගන්ධයක් වහනය නොවේ.

ඇමෝනියා වායුවේ එන ගඳ මෙන් ගදක් නොතිබිය යුතුය. මාළු කූරියා පිටින්ම ඔබ මිලදී ගන්නට සූදානම් වන්නේ නම් මාළුවා ගේ ඇස් පැහැදිලි දීප්තියෙන් යුතුවිය යුතු අතර ඇස් යටට ගිලා බැස නොතිබිය යුතුය. මාළුවාගේ සම්පූර්ණ ඇඟ පුරාවටම දීප්තිමත් නැවුම් ගතියක් යුතු දිස්නයක් (Shyni fresh) දක්නට ලැබිය යුතුය.

එලෙසම මාළුවාගේ කරමල් රතු පැහැයෙන් යුක්ත විය යුතු අතර මාළුවා කපනවිට රක්ත වර්ණයෙන් යුතු ලේ ද පිටවිය යුතුය. කිසිවිටකත් මාළුවාගේ සෙවෙළ ගතියක් නොතිබිය යුතුය.

මාළුවා ඇඟිලි තුඩුවලින් ඔබන විට ස්පී‍්‍රන් එකක් සේ එබී ආපසු ඉහළට ආ යුතුය. (Sprin back when test) මාළු කැබලිවල දුර්වර්ණයත් තද ගතියක් නොතිබිය යුතුය. මාළුවාගේ මතුපිට දිස්නය තිබිය යුතුය. ශීතකරණයක ගබඩා කළ මාළු මිලදී ගැනීමේදී නිවැරදි උෂ්ණත්වය යටතේ ගබඩා කළ මාළු බවට සැකහැර දැනගත යුතුය.

අධිශීතකරණවල දමා ඇති මාළු ඉවතට ගත් විට ඒවා ඉක්මනින් නරක් වීමට ඇති හැකියාව වැඩි නිසාම ඔබ සැලකිල්ලෙන් මාළු මිලදී ගත යුතුය. මාළු නිවෙසට රැගෙන යාමේදී අධික උෂ්ණත්වයට භාජනය නොකළ යුතුය. එසේම මිලදී ගැනීමේදී ඇසුරුම් විවෘතව නොතිබිය යුතුය.

ඇසුරුම වටා අයිස් හොඳින් බැදී තිබේදැයි නිරීක්ෂණය කරන්න. නිවෙසට ගෙන ආ විගසම පිසීමට පමා වේ නම් ශීතකරණයක ගබඩා කරන්න. මෙවැනි මාළු ශීතකරණයක ගබඩා කළ ද ඒවා උපරිම දින 2 ක් පමණ ගබඩා කර තැබිය හැකියි.

නිවෙසට ඔබ රැගෙන එන මාළු හොඳින් සෝදන්න. සාමාන්‍යයෙන් මාළුවල බැක්ටීරියා වර්ධනය මෙන්ම සෙවල ගතිය ඉතා ඉක්මනින් ඇති වේ. සයුරේ සිටින මාළුවාගේ හම සහ කොරල් සැකසී ඇත්තේ බැක්ටීරියා සහ වෙනත් අසාධනයනට ඔරොත්තු දෙන ලෙස වුවද මාළුවා මුහුදෙන් ගොඩට ගත් පසු ඒ පරිසරය හාත්පසින්ම වෙනස් වේ.

එවිට මාළුවා හොඳින් සෝදා හැරිය යුතුය. මාළුවාගේ බඩවැල් ඉවත් කළ යුතුය. පසුව පිරිසුදු වතුර භාජනයකට දමා හොඳින් සෝදා ජලය බේරා පොලිතින්වලින් ආවරණය කර මාළු වෙන වෙනම ගලවා ගැනීමට හැකිවන පරිදි ගබඩා කිරීම යෝග්‍යය වේ. එකිනෙක කැලි ඇලී එක පිට එක ගුලි ගැසෙන පරිදි ගබඩා නොකරන්න. මාළු හෝ කෑලි ඇසිරිය යුත්තේ එකිනෙකට නොගෑවෙන පරිදිය.

එවිට මාළු එළියට ගෙන පිසිනවිට ගලවා ගැනීමට පහසු වේ. තැලීමකට පොඩිවීමකට ලක් නොවේ. නැවුම් මාළු වර්ග හැමවිටම කුමන ආකාරයෙන් පිසුව ද ඔමේගා 3 මේද අම්ල සංයෝගය විනාශ නොවේ. හෘදයට සහ මොළයේ ක්‍රියාකාරීත්වයට ඔමේගා 3 ඉතා වැදගත් මේද අම්ලයකි. එලෙසම කැල්සියම් ද බහුලව පවතී. ඒ නිසා මාළු නිවැරදිව ගබඩා කර ආහාරයට ගැනීමෙන් අප ශරීරයට අවශ්‍ය පෝෂණය සමබලව ලබා ගැනීමට හැකියාව ලැබේ.