ගැබ්ගෙල පිළිකාවෙන් ආරක්ෂාවීමට HPV එන්නත

ගැබ්ගෙල පිළිකාවෙන් ආරක්ෂාවීමට HPV එන්නත

මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට හඳුන්වා දුන් නවතම එන්නත ලෙස HPV එන්නත හඳුන්වාදිය හැකිය. ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා භාවිතා කරන හියුමන් පැපිලෝමා වෛරස එන්නත HPV එන්නත ලෙස හඳුන්වයි. හියුමන් පැපිලෝමා වෛරසය නිසා කාන්තාවන් ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වේ.

ගැබ්ගෙල පිළිකාවව වැළඳුණු කාන්තාවන් 1000 කට වැඩි සංඛ්‍යාවක් වාර්ෂිකව අලුතෙන් වාර්තා වේ. වයස අවුරුදු 30 ත් 55 ත් අතර කාන්තාවන් මේ රෝගයට බහුලව ගොදුරු වන අතර එය සමාජයීය ගැටලුවක් බවට ද පත් වන්නකි. මේ වයසේ පසුවන මවක් රෝගයට ගොදුරුව මරණයට පත්වුවහොත් දරුවන්ගේ අනාගතය ගැටලුකාරී වේ. එවැනි සමාජයීය හා ආර්ථික ගැටලුවලට මූලික විසඳුමක් ලෙස මේ එන්නත හඳුන්වා දීම මිල කළ නොහැකි වටිනා කාර්යකි.

පිළිකා රෝග අතරින් දෙවැනියට වැඩියෙන්ම වාර්තා වන පිළිකාව ලෙස ගැබ්ගෙල පිළිකාව හඳුනාගෙන තිබේ. හියුමන් පැපිලෝමා වෛරසය දිගුකාලීනව සිරුර තුළ තිබීම හේතුවෙන් පසුකාලීනව ගැබ්ගෙල පිළිකාව හට ගනියි.

HPV එන්නත කුඩා වයසේදීම ගැහැනු දරුවකුට ලබාදීම මඟින් ගැබ්ගෙල පිළිකාවව හට ගැනීම නවතාලිය හැකිය. මේ එන්නත ලබාදීම මිල අධික වුවත් එහි ආරම්භයක් ලෙස 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දියණියන්ට එන්නත ලබා දීමට රජය තීරණය කර තිබේ. මාස හයක් තුළ එන්නත් මාත්‍රාවන් දෙකක් ලබා දීමෙන් ගැබ්ගෙල පිළිකාව වැළඳෙන වෛරසයට තිත තැබිය හැකිය. මෙම වෛරසයෙන් පූර්ණ ආරක්ෂාව සැලකෙන පරිදි එන්නත් මාත්‍රා දෙක එක් දියණියකට ලබා දීමට රුපියල් 1500 ක මුදලක් රජය වැය කරන අතර වාර්ෂිකව මේ එන්නත සඳහා රුපියල් මිලියන 450 ක මුදලක් වෙන් කිරීමට නියමිතය.

රෝග කාරක ජීවීන් මඟින් මිනිසාට ඇති වන කෙටිකාලීන බෝ වන රෝග වැළැක්වීමට එන්නත් යොදා ගැනීම සිදු කළ ද, වෛරස මඟින් දිගුකාලීනව ඇති වන බෝ නොවන රෝග වැළැක්වීමට ද එන්නත් භාවිතා කිරීම සිදු කරයි.

උදාහරණ ලෙස 2006 වසරේ සිට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට එක් කළ හෙපටයිටීස් (B) එන්නත මඟින් දිගුකාලීනව හෙපටයිටීස් (B) නිසා ඇතිවන අක්මාවේ පිළිකා රෝග තත්ත්වය සුවපත් කරයි. හියුමන් පැපිලෝමා වෛරසය (HPV) එන්නත, පිළිකාවක් වැළැක්වීමේ අරමුණෙන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට එක් කළ අරමුණෙන් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට එක් කළ දෙවැනි එන්නත ලෙස හඳුන්වාදිය හැකිය.

හියුමන් පැපිලෝමා වෛරසය එකිනෙකට සමානකම් දක්වන වෛරස් වර්ග 100 කින් පමණ සැදුම්ලත් වෛරස කාණ්ඩයකි. මෙම කාණ්ඩයේ එක් එක් වෛරසය එයටම ආවේණික වූ කිසියම් අංකයකින් හඳුන්වන අතර එය එම වෛරසයේ ජාන ප්‍රභේදයක් ලෙස හැඳින්වේ. හියුමන් පැපිලෝමා වෛරස කාණ්ඩයේ වෛරසවලට ශ්ලේෂ්මල පටල සහ සම (මුඛ කුහරයේ, ප්‍රජනක පද්ධතියේ) මත ජීවත්වීමේ හැකියාව පවතියි.

මේ වෛරසය එසේ ශරීරගතව පැවතිය ද කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර විවිධ සාධකවල බලපෑම මත සිරුරින් ඉවත්ව යාමද සිදු වේ. මෙම වෛරසයේ පවත්නා පිළිකා කාරක ප්‍රභේද ශරීරගතව පැවතියද, එය පිළිකාවේ වඩාත් පැතිරුණු දරුණු අවධියට පත්වීමට සාමාන්‍යයෙන් වසර දහසක් පමණ ගත වේ.

හියුමන් පැපිලෝම වෛරසයේ පිළිකා කාරක ප්‍රභේද 16 හා 18 වඩාත්ම බහුල පිළිකා කාරක ලෙස හඳුනාගෙන තිබේ. ගැබ්ගෙල පිළිකාවලින් සීයයට 99.7 ක්ම කුමන හෝ හියුමන් පැපිලෝමා වෛරස ප්‍රභේදයකින් ඇති වන අතර සියයට 70 ක්ම ඇති වන්නේ ප්‍රභේද 16 හා 18 මඟිනි. HPV එන්නත ලබාදීම මඟින් ප්‍රධාන වශයෙන්ම මෙම ප්‍රභේද 16 සහ 18 මඟින් ඇති වන ගැබ්ගෙල පිළිකාවට ආරක්ෂාව ලැබේ.

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගත හැකි රෝගයකි. කාන්තාවන්ගේ මරණ සඳහා ප්‍රධානම හේතුවක් වන මේ පිළිකාව මූලිකව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සුවපත් කරගත හැකිය. ලෝකයේ කාන්තාවන්ට ඇතිවන පිළිකා අතරින් සියයට 12 ක්ම ගැබ්ගෙල පිළිකා වන අතර මේ හේතුවෙන් වසරකට කාන්තාවන් 266,000 ක් මරණයට පත් වේ. ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග නොගතහොත් තවත් වසර 10 ක් පමණ ගත වූ විට පිළිකා මඟින් සිදු වන මරණවලින් සියයට 25 ක් ගැබ්ගෙල පිළිකා නිසා සිදු වනු ඇත. මෙරට කාන්තාවන් ලක්ෂ 70 කට පමණ ගැබ්ගෙල පිළිකා ඇති වීමේ අවදානම ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.

ගැබ්ගෙල ආශි‍්‍රතව සෛලවල හියුමන් පැපිලෝමා වෛරසය මඟින් ඇති කරන වෙනස්කම්, වීදුරු කදාවක් මතට ගන්නා සෛල අණ්වීක්ෂයක් මඟින් පරීක්ෂා කර හඳුනාගත හැකිය. එය පැප් පරීක්ෂණය (Papanicolan (pap) test) ලෙස හැඳින්වේ. සෞඛ්‍ය යටිතල පහසුකම් අඩු රටවල ඇසිටික් අම්ලය හෝ ලූගෝස් අයඩීන් යොදා ගැබ්ගෙල පියවි ඇසින් පරීක්ෂා කර රෝගය හඳුනා ගනියි.

පැප් පරීක්ෂාව පූර්ව පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට භාවිතා කරන අතර අවුරුදු 21 ත් 65 ත් අතර වයසේ පසුවන කාන්තාවන් සෑම වසර තුනකට හෝ පහකට වරක්ම පැප් පරීක්ෂාව සිදු කර ගැනීම වැදගත්ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් ක්‍රියාත්මක වන සුවනාරි සායන මඟින් පසුගිය වසර 20 ක පමණ සිට, වයස අවුරුදු 35 කාණ්ඩයේ හා ඊට වඩා වැඩි කාන්තාවන්ට පැප් පරීක්ෂාව සිදු කරයි.

ගැබ්ගෙල පිළිකාව ශරීරය පුරා පැතිරීමෙන් පසුව රෝහල්ගත වන රෝගීන්ගෙන් අඩුවක් නොමැත. ගැබ්ගෙල පිළිකාවෙන් ඇති වන බාහිර රෝග ලක්ෂණ මතු වනුයේ පිළිකාවේ උග්‍ර අවස්ථාවට පත් වීමෙන් පසුව වීම ඊට හේතුව වේ. ගැබ්ගෙල පිළිකාව ද ඇතුළුව හියුමන් පැපිලෝමා වෛරසය මඟින් ඇති කරන රෝග වළක්වා ලීමට HPV ප්‍රභේද 2 ක් හා HPV ප්‍රභේද 4 ක් ඇති එන්නත් ලෙස ලෝකයේ දැනට එන්නත් වර්ග දෙකක් භාවිතා කරයි. මෙම එන්නත් දෙකෙහිම පිළිකා කාරක හියුමන් පැපිලෝමා වෛරස 16 සහ 18 ජාන ප්‍රභේද අඩංගු වන අතර එන්නත් ප්‍රභේද 4 ක් ඇති එන්නතෙහි ඊට අමතරව HPV
6 සහ 11 යන ප්‍රභේද ද අඩංගුය.

ලෝකයේ රටවල් 58 ක් 2014 වසර වනවිට ඔවුන්ගේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හරහා ගැහැනු දරුවන්ට HPV එන්නත ලබා දීම ආරම්භ කර තිබේ. දකුණු ආසියාතික රටවල් අතරින් ශ්‍රී ලංකාව ද මේ වෛරසය ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළට ඇතුළත් කිරීමට කටයුතු කිරීම මෙරට ජනතාව ලැබූ සෞඛ්‍ය ජයග්‍රහණයකි. 2010 වසරේ සිට ප්‍රභේද 2 ක් අඩංගු HPV එන්නත ද, 2012 වසරේ සිට ප්‍රභේද 4 ක් අඩංගු HPV එන්නත ද මෙරට පෞද්ගලික අංශයෙන් ලබාගත හැකිව තිබිණි.

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මේ වර්ෂයේ ජූලි මාසයේ සිට ප්‍රභේද 4 ක් අඩංගු HPV එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කර වයස අවුරුදු 10 සම්පුර්ණ වූ ගැහැනු දරුවන්ට නොමිලේ එන්නත් කිරීම ආරම්භ කර ඇත. වයස අවුරුදු 10 සම්පුර්ණ වූ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දියණියන්ට පාසලේදී මේ එන්නත ලබා ගැනීමට නොහැකි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබාගත හැකිය.

HPV එන්නත ආරක්ෂාකාරී වේ. අනෙකුත් එන්නත්කරණ ක්‍රියවලියේදී මෙන්ම වේදනාව, රතු වීම සුළු අතුරු ආබාධ ඇති විය හැකි නමුත් දරුණු අතුරු ආබාධ අවම වේ. අතුරු ආබාධයක් ඇති වුවහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අවශ්‍ය පියවර ගනු ලබයි. පාසලෙහි 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට HPV එන්නත ලබාදීම සහ වයස 35 දී පැප් පරීක්ෂාවට ලක්වීමෙන් කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාවෙන් උපරීම ආරක්ෂාව ලබගත හැකිය.

සෞඛ්‍ය අමාතා්‍යංශයේ දේශනයක් ඇසුරිණි