ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

ලිංගාශි‍්‍රත සායනයකින් ඇසුණු සත්‍ය කතාවක්

කොළඹ රස්සාවකට ගිහින් AIDS  වැළඳගත් සමනලී

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

අපේ ජීවිතවල මොනතරම් හීන තිබුණත් ඒ හැම එකක්ම සැබෑ කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒත් ඒ ජීවිත ජීවත් කරවන්න ඒ හීනවලට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. ඒ වුණත් අවාසනාවට හීන නිසා අමාරුවේ වැටෙන අයත් නැත්තෙම නැහැ. ඒ අවාසනාව තමන්ගේ උත්සාහයෙන් වාසනාවට හරවගන්න සමහර අයට පුළුවන් වුණාට හැමෝටම ඒ දේ කරන්නට ධෛර්යක් ආත්ම විශ්වාසයක් ඇත්තේ නැහැ.

සමනලී කියන්නේ වාසනාව උපතින්ම උරුම වුණු කෙනෙක් නෙවෙයි. ඒත් දුප්පත් වුණත් අම්මා තාත්තා නංගිලා තුන්දෙනෙක් ඉන්න පවුලේ නොඅඩුව ලැබුණු ආදරය නිසා එයා නිතරම හිතුවේ, මේ ලෝකේ වාසනාවන්තම ගැහැණු ළමයා එයා කියලයි. ඒ තරම් පුදුම විදිහේ ආදරයක් සමනලීගේ අහිංසක කැදැල්ලේ පිරිලා ඉතිරිලා තිබුණා. ඉගෙන ගන්න පුදුම දක්ෂයෙක් වුණත් ගෙදර තිබුණු අඟ හිඟකම් එක්ක වැඩිදුර අධ්‍යාපනය ලබන්නට සමනලී වාසනාවන්ත වුණේ නැහැ. තමන් පණවගේ ආරක්ෂා කරපු නංගිලා තුන්දෙනාට හොඳට උගන්වන්න හොඳ තැනකට ගේන්න සමනලී දහසක් සිහින දැක්කා. දෛවය මොනතරම් මේ අසරණයන්ට හරස් වුණාද කියනවා නම් සමනලීගේ තාත්තා හදිසියේ ඇති වුණු හෘදයාබාධයකින් මිය ගියා. මේ වෙනකොට සමනලී රස්සාවක් කළත් ඒ මුදල් ගෙදර වියදම් පිරිමහ ගන්න ප්‍රමාණවත් වුණේ නැහැ. තාත්තා මැරුණට පස්සේ පවුලේ සම්පූර්ණ බර පවුලේ වැඩිමලා වුණු සමනලීගේ කරමත වැටුණා.

ගමේ ඉදලා හම්බ කරන දේවලින් ලැබුන සල්ලි මදි හින්දා සමනලීට කොළඹ හොඳ තැනකින් රස්සාවක් හොයා දෙන්න එයා වැඩ කරන තැන හිටපු කෙනෙක් පොරොන්දු වුණා. හොඳ පඩියක් ලැබෙන තැනකින් හොඳ රස්සාවක් මිස ඒ ගැන හරි තොරතුරක් ගැන අහිංසක සමනලීට තේරුමක් තිබුණේ නැහැ. තමන්ට ලැබුණු තොරතුරුත් එක්ක සමනලීට රස්සාවක් අරගෙන දෙන පොරොන්දුව පිට එයාව කොළඹ එක්කගෙන ආව මනුස්සයා අහිංසක සමනලීට දසවද දුන්නා. කාත් කවුරුත් අදුනන්නේ නැති විශාල නගරයක පුංචි කාමරේක තනිවුණු සමනලී කිහිපදෙනෙක් අතින් අතට මාරු වුණා.

මේ සිදුවීමෙන් පස්සේ සමනලී අවාසනාවන්ත විදිහට තමන්ගේ රස්සාව හැටියට තෝරා ගන්තේ තමන්ගේ ශරීරය විකුණන එක. ගෙදර වියදමට මුදල් යවන්න ඕන තරම් සල්ලි හොයන්න පුළුවන් නිසා එයාට තමන්ගේ ජීවිතේ ගැන තැකීමක් තිබුණේ නැහැ. කොළඹ ඇවිත් අවුරුදු ගණනක් මේ වෘත්තියේ යෙදුනත් ඒ තරම් ප්‍රශ්න ඇති නොවුණත් අසනීප වෙලා බෙහෙත් ගන්න ගිය වෙලාවක වෛද්‍යවරුන්ට ඇතිවුණු සැකයක් නිසා සිද්ධ කළ රුධිර පරීක්ෂණයකින් සමනලී HIV  ආසාදිත බව සොයා ගත්තා. තමන්ට HIV  තිබෙන බව දැන ගත්ත වෙලාවේ සමනලීට දරාගන්න බැරි දුකක් ඇති වුණත් කරන්න දෙයක් කියන්න කෙනෙක් නැති තැන ඒ අනතුරු ඇඟවීම ගණනකට නැති දෙයක් වුණා. ප්‍රතිකාර ගන්න වෛද්‍ය සායනවලට එන්න කීවත් සමනලී කිසිම වෙලාවක වෛද්‍ය සායනවලට ගියේ නැහැ. ලිංගිකව එක් වෙනකොට ආරක්ෂිත ක්‍රම යොදා ගන්න උපදෙස් ලැබුණත් ඒ ගැන තැකීමක් කරන්න වුවමනා වුණේ නැහැ.

මේ විදිහට කාලයක් ගත වෙනකොට දන්නෙම නැතිව සමනලී ගැබිණියක් වෙලා. ජීවිතේ තමන්ගේ කියලා කිසිම දෙයක් නැති සමනලීට අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය පුදුමාකාර කේන්තියක් වුණා. ඒත් වෛද්‍යවරුන්ට වුවමනා වුණේ දරුවාට HIV  නොසෑදී බේරගන්න. තමන් ගැබිණියක් කියලා දැන ගත්තට පස්සෙත් තමන්ගේ පවුකාර ජීවිතේ අත හැරලා යන්න තරම් ශක්තියක් සමනලීට තිබුණේ නැත්තේ තමන් එවන සල්ලි වලින් ගෙදර ඉන්න අහිංසකයෝ ජීවත් වෙනවා කියලා මතක් වුණු හින්දා. සමනලී මොනතරම් පිරිසක් ආශ්‍රය කරලා තියෙනවද කියනවා නම් ලැබෙන්න යන දරුවාගේ තාත්තා කවුද කියලාවත් එයා හරියට දන්නේ නැහැ.

දරුවා බිහිවෙන කාලෙට ළං වෙනකොට බලෙන්ම වගේ සමනලී රෝහලේ නවත්ව ගන්න වෛද්‍යවරු කටයුතු කළා. දරුවා ප්‍රසූත කරන වෙලාවේ HIV  ශරීරගත වෙන්න යම් අවදානමක් තිබෙන හින්දා දරුවා සිසේරියන් සැත්කමක් හරහා බිහි කරන්න වෛද්‍යවරු කරයුතු කළා. බිහිවුණු මුල් අවස්ථාවේදීම සිදු කළ පරීක්ෂණයේදී සමනලී උපත දුන් දරුවාට HIV  ශරීරගත වී නොතිබුණ එක ගැන වෛද්‍යවරු සතුටු වුණාත් දරුවාගේ මූණ බලන්න තරම් ශක්තියක් සමනලීට තිබුණේ නැහැ. තමන්ගේ කුසින් බිහි වුණත් සමනලී දරුවා හදා වඩා ගන්න කැමති වුණේ නැහැ.

ලස්සනම ලස්සන පුංචි රෝස මලක් වගේ දියණියක් වුණත් සමනලී තමන්ගේ දරුවාට සෙනෙහස දැක්වූවේ නැහැ. මාස කිහිපයක් ගත වෙලා නැවත වරක් වෛද්‍යවරු සිදු කළ රුධිර පරීක්ෂණයකින් ස්ථීරවම දරුවා HIV  ආසාදිත නොවන බව තහවුරු කරගත්තා. රෝහලේ මැදිහත් වීමෙන් දරුවාගේ අයිතිය වෙනත් යුවළකට ලබා දෙන්න සමනලීට පුළුවන් වුණා.

ඇසට කඳුලක් මතු කරනවා වුණත් අඬන්න තරම් ධෛර්යක් දෙන්නවත් කුරිරු වුණු සමනලීගේ දෛවය මොනතරම් තක්සේරු කරන්නට හැදුවත් ඒ තක්සේරුව කිසිදු අවස්ථාවක සාධාරණ දැයි දෙවරක් සිතා බලන්නට සමනලීගේ කතාව අපට මඟ කියා දෙවා.