ඇයි මෙතරම් පිරිමින්ට බය

ඇයි මෙතරම් පිරිමින්ට බය

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

මලක් මෙන් පියකරු ඇය හරිම ලස්සනයි. ගැහැනියක් නිතිපතා පතන ලස්සන සිරුරක් උරුම වී තිබුණ ඇය විවාහකයි. ඇගේ ස්වාමිපුරුෂයා ඔහුත් ඇයට නොදෙවෙනි කඩවසම් පුද්ගලයෙක්. මේ යුවළට නිතර නිතර මා හමුවීමට පැමිණීම ඉතා සුලබ අත්දැකීමක් වුණා. ඒ ඒ හැම වාරයකදීම විවිධ වූ ශාරීරික ගැටලු හා රෝග ලක්ෂණ ඈ විසින් රැගෙන ආවා. දින කිහිපයකදී මා හට වැටහුනේ ඈ සතු රෝග ලක්ෂණ කායික රෝගයකට වඩා කිසියම් “මානසික” තත්ත්වයක ඇති ගැටලුවලට සමීප බවක් දක්වන අයුරුයි.

විටෙක හිස කැක්කුමට ප්‍රතිකාර ගන්නා ඇය, විටෙක පිටේ වේදනාවකටත්, තවත් වරෙක පාදයේ ආබාධයකටත්, බඩේ වේදනාවකටත් ආදී ලෙස රෝගී පරීක්ෂාවේදී හෝ රුධිර මුත්‍රා පරීක්ෂාවේදී හසු නොවෙනා විවිධ පැමිණිලි ඇය විසින් රැගෙන එනු ලැබුවා. අවසානයේදී ඔවුන් හා උපදේශන සැසියක් සූදානම් කරනු ලැබුවා.

මෙම යුවළ විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වූවා. දරුවකු පිළිසිඳ නොගැනීමත්, සෑදෙන විවිධ රෝගත්, ඔවුන්ගේ සහ සම්බන්ධ වූ පවුල්වල අයටද තරමක ප්‍රශ්නයක් ප්‍රේහේළිකාවක් ගෙන දුන්නා. මේ නිසාම නෑදෑයන්ට මුහුණ දීමට ද, ඔවුනට පිළිතුරු දීමට ද සිදුවීම අප ජීවත්වන සංස්කෘතික රාමුව තුළ නොවැළැක්විය හැක්කක් නිසා ඒවා ද ඔවුනට කරදරයක් වී තිබුණා. කුමන රෝග තත්ත්වයක් හා රෝග ලක්ෂණයක් තිබුණත්, සැමියා තුළ ඇය කෙරෙහි ඇති ඉමහත් ආදරය ඔවුන්ගේ පවුල් ජීවිතය අඩ දබරයන්ගෙන් තොර “සාමය” රජයන එක්ක විමට උපකාරී වී තිබුණා.

වැඩිපුර සාකච්ඡා කිරීමේදී පැහැදිලි වූයේ පවුල් ජීවිතය හා අතිශය පෞද්ගලික ජිවිතය තුළ සැමියාට තිබූ “බිය”යි. ඔවුන් කොයිතරම් ආදරයෙන් බැඳී එකට ජිවත් වුවත් පවුල් ජිවිතය ගත කිරීමේදීත්, දරුවන් සෑදීමට යෑමේදීත් සැමියා කෙරෙහි වූ “බිය” ඉස්මතු වූවා. මේ නිසාම පවුල් ජිවිතය තුළ තිබුණේ ඉතා අසහනකාරී තත්ත්වයක්. සැමියා ඉතා විශිෂ්ඨ ලෙස මේ තත්ත්වය ඉවසා ගනිමින් ආදරයෙන් ඇයට සැලකුවා.

ඇය මතුපිට සිතෙන් ඔහු සමඟ සිටියත් යටි සිතෙන් ඔහුට බිය වූවා. පසුව තේරුම් ගියේ මෙය ඔහුට ඇති බියකට වඩා “පිරිමින්ට” ඇති බියක් බවයි. ඇගේ යටි සිත පිරිමින්ට බිය වූයේ ඇයි? මෙයට ඇය සතුව සංකීර්ණ වූ පිළිතුරක් තිබුණා.

කලින් සඳහන් වු පරිදි “ඇය ඉතා ලස්සන යුවතියක්. ඇයට උපතින්ම ලස්සන සිරුරක් හිමි වී තිබුණා. තරමක් වයසින් මුහුකුරා යද්දී පාරේ තොටේ ගමන් කරනා විටදී අන් අයගේත් විශේෂයෙන් තරුණයන්ගේත් අවධානයට හා ආදරයට පත්වීම සම වයසේ වෙනත් රුණියකට වඩා අඩු වයසකදීම මෙවැනි දේට මුහුණ දීමට සිදුවීම ඇයටත් වඩා ඇයගේ අම්මාට තාත්තාට හා සොහොයුරන්ට ප්‍රශ්නයක් වූවා. ප්‍රතිඵලය වූයේ පාසැල් යාම ඊට ඇරුණු කොට දවසේ වැඩි කාලයක් නිවස තුළ, කාමරයක් තුළ සිර ජීවිතයක් ගත කිරීමට සිදු විමයි.

සාමාන්‍යයෙන් තරුණියකට මෙවැනි ජිවිතයක් උරුම වීම අප ජීවත්වන සමාජය තුළ කිසියම් විශේෂත්වයක් නොගත්තත්, පවුලේ අයගේ බලපෑම මත අනිකුත් “පිරිමි” අය නිසා එසේ ජීවත් වීමට සිදුවීම කුඩා ඇය දියණියන්ට මානසික වදයක් වූවා. සම වයසේ යහලුවන් නිවසින් පිටතට යන අවස්ථා එක්ක හෝ ඇයට හිමිවූයේ නැහැ.

වයස මුහුකුරායත්ම ඇයගේ පියකරු බව ක්‍රම ක්‍රමයෙන් වැඩි වීම මේ ප්‍රශ්නය තවත් උග්‍ර වුණා. කිව්වොත් නිවැරදියි. ඒ වාගේම මේ ආකාරයට ප්‍රශ්නය උග්‍ර කිරීමට ඇයගේ දෙමව්පියන් හා සොහොයුරන් කෙලින්ම වගකිය යුතු බැව් දැනට ඇයගේ විශ්වාසය වී තිබෙනවා. මේ ආකාරයට “පිරිමි” තහනම් වූ වචනයක් ලෙසට යටිසිත බිය වී සිටින අතරතුර නිවස තුළ සිදුවන සමහර කාරණා ද පුංචි සිතට වදයක් ගෙන දුන්නා. ගෙදර අනිකුත් අයට සාපේක්ෂව ඇය ඉතා රූමත් නිසා නිවසට පැමිණෙන අමුත්තන් හා අනිකුත් නෑදෑයන්, ඇගේ සැබෑ දෙමව්පියන් මේ ගෙදර අය නොවන බවත් රෝහලෙන් අහුලා ගෙන ගෙදර ආ බවත් පවසා උසුලු විසුලු සිදු කරනු ලැබුවා.

අදටත් කිසියම් දරුවෙකුගේ සමේ පැහැය අන් අයට වඩා “කලු” වූ විට හා සමේ පැහැය අන් අයට වඩා “සුදු” වූ විට, එම දරුවා ඔවුන්ගේ නොවන බවත් රෝහලෙන් අහුලාගෙන ආ බවත් පවසා උසුලු විසුලු කිරීම බොහෝවිට අත් දකිනා දෙයක් බව පාඨක ඔබට මතක ඇති.

මේ ආකාරයට සිදුවන උසුලු විසුලුවල දරුවෙකුගේ යටිසිතට ඇති කරනා බලපෑම නම් සුලු පටු එකක් නොවන බව මතක තබාගත යුතු වෙනවා. ඉතිං මේ ආකාරයේ සිද්ධීන් “පිරිමි” බැල්ම නිසා ගේ තුළට කොටුකළ “පුංචි දියණිය” ට ඉමහත් බලපෑමක් එල්ල කරනු ලැබුවා.

වැඩිහිටි වූ කලෙක පවුලේ හා සමාජයේ හා මිතුරන්ගේ බලපෑම මත පේ‍්‍රම සම්බන්ධතා හා අවාහ විවාහ කටයුතු සිදු වුවත් “පිරිමියකු” සමඟ යුග ජීවිතය ගත කරන කල “යටිසිත” ක්‍රියාත්මක වීම ඇයව ඒ ආකාරයේ “රෝගී තරුණියක්” කර තිබුණා. ඇත්තටම තිබුණ ලස්සන “අවලස්සන ලස්සනක්” බවට පවුලේ අයත් සමාජයත් පත් කර තිබුණා. ඇයට තමන්ගේ මානසික තත්ත්වය හා එයට අදාළ හේතු පිළිබඳව හොඳ දැක්මක් තිබීම ඉතා ප්‍රයෝජනවත් එකක් වූවා. උපදේශනය හා අදාළ ප්‍රතිකාර මඟින් ඇය කිසියම් “මානසික සුවයක්” දැන් අත්පත් කර ගනිමින් සිටිනවා.

ඇය “අවලස්සන ලස්සන” පවුල් වෛද්‍යරයෙකුගෙන් තවත් සොඳුරු අත්දැකීමක්.