කුඩා අවධියේ ශ්‍රවණ ඌනතා ඇති දරුවන්ට යෝග්‍යම පියවර කර්ණශංඛ බද්ධයයි

කුඩා අවධියේ ශ්‍රවණ ඌනතා ඇති දරුවන්ට යෝග්‍යම පියවර කර්ණශංඛ බද්ධයයි

 

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

සාමාන්‍ය නිරෝගී පුද්ගලයකුට ශ්‍රවණය, පෙනීම, වැනි දේ ඉතාමත් ස්වභාවික සංසිද්ධීන්ය. නමුත් උපතින්ම ඊට අදාළ ඉන්ද්‍රියයන්ගේ දුර්වලතා ඇති අයට නිවැරදි ශ්‍රවණයක්, නිවැරදි පෙනීමක් ලබා ගැනීම සැබැවින්ම සිහිනයකි. නමුත් ඒවා තවදුරටත් සිහිනවලටම පමණක් සීමා කර තබන්නට මේ වනවිට පවතින තාක්ෂණය කිසිවිටෙකත් ඉඩක් තබා නොමැත. ඒ නිසාම විශේෂයෙන් ශ්‍රවණය පිළිබඳ අවධානය යොමු කළහොත් කර්ණශංඛ බද්ධය, ශ්‍රවණාධාරක වැනි දේ ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණයි.

තවද සන්නිවේදන කාර්යය පිළිබඳ සාකච්ඡාවට ලක් කරන විට ශ්‍රවණය එසේත් නැතිනම් ඇසීම සඳහා විශේෂත්වයක් හිමි වේ. එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමේදී සමාජය තුළ කුමන ස්ථාවරයක ඔබ සිටියත් වඩා හොඳ ශ්‍රවණ මට්ටමක් ඔබට තිබීම අනිවාර්යය අංගයක්. එසේ නොමැති වුවහොත් ඇතැම්විට ඔබට ග්‍රහණය වන අදහස් ඇතැම් විට ගිලිහී යා හැකියි. එම හේතුව මත ඔබගේ එදිනෙදා ජීවිතයේ සිදුවන සාමාන්‍ය කාර්යයන් පවා නිසි පරිදි සිදු කිරීමට ඔබ අපොහොසත් විය හැකියි. මෙවන් හේතුª නිසා ශ්‍රවණ දුර්වලතාවක් ඔබ හඳුනා ගත්තේ යම් මොහොතක ද ඊට අදාළ පිළියම් යෙදීමට කිසිවිටෙකත් ඔබ ප්‍රමාද නොවිය යුතුය.

ශ්‍රවණාබාධිත පුද්ගලයකුට යෙදිය හැකි ශ්‍රවණ දුර්වලතා අතුරින් පෙර පැහැදිලි කළ ලෙස බහුලවම කතාබහට ලක්වන ක්‍රම කිහිපයක් තිබුණ ද ඒ අතුරින් කර්ණශංඛ බද්ධය වඩාත් විශේෂත්වයක් හිමි කරගනු ලැබේ. මේ වනවිටත් මෙම ප්‍රතිකර්මය හරහා ශ්‍රවණ ඌනතාවට ලක් වී ඇති දහස් ගණනක් වූ වැඩිහිටියන් වගේම දරුවන් ශ්‍රවණ මෙන්ම කථන පුහුණුව ලබා තිබේ. මෙම ක්‍රියාවලිය දිනෙන් දින තාක්ෂණයත් සමඟ මුසු වෙමින් ශ්‍රවණාබාධ සඳහා පවතින වඩාත් සාර්ථකම මට්ටමේ ප්‍රතිකාරයක් වශයෙන් සැලකේ.

කුඩා අවධියේම දරුවකුට ශ්‍රවණ ඌනතාවක් පවතින බව හඳුනාගතහොත් කුඩා අවධියේදීම කර්ණශංඛ බද්ධ සැත්කමට ලක් කළ හැකියි. ඒ ඔස්සේ ශ්‍රවණ ඌනතාව මඟහරවාගෙන දරුවාට හිමිවන මනා ශ්‍රවණ හැකියාව මත භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට ද එමඟින් අවස්ථාව උදාකර ගත හැකියි. සාමාන්‍ය නිරෝගී දරුවකුට මෙන් ශ්‍රවණ ඌනතා සහිතව ඉපදෙන දරුවන්ට පාසලේ ප්‍රධාන ඉගෙනුම් ක්‍රියාවලියට සම්බන්ධ වීමට මඟපෑදීම මෙමඟින් හිමිවන විශේෂ වර ප්‍රසාදයකි. ඉගෙනීම් කටයුතු දිගින් දිගටම සාර්ථක කර ගැනීමට මෙන්ම අනාගතයේ වඩාත් යහපත් වූ රැකියාවක නිරත වීමට ද මේ ඔස්සේ හැකිවනු ඇත. එය උපතින්ම යම් ආබාධිත තත්ත්වයක් සහිතව ඉපදෙන දරුවකු ලබා ගන්නා විශාල ජයග්‍රහණයක් වශයෙන් ද පැහැදිලි කළ හැකියි. ඒ වගේම විවිධාකාර පුද්ගලයන් සමඟ සබඳතා ඇති කර ගැනීම සමාජ දැනුම ඇති කර ගැනීමේදී මනා ශ්‍රවණයක් හිමි වීම විශාල වටිනාකමක් සහිත වූවකි.

තවද කර්ණශංඛ බද්ධ්‍ය ආශ්‍රයෙන් කරන ලද විවිධ පරීක්ෂණ මෙන්ම අධ්‍යයන ක්‍රමවේද මත වයස අවුරුදු 02 ඉක්මවා යාමට පෙර ශ්‍රවණ දුර්වලතා හඳුනාගත් දරුවන්ට සිදුකළ කර්ණශංඛ සැත්කම් හරහා පාසැල් ඉගෙනුම් ක්‍රියාවලිය ආරම්භයේ සිටම දරුවාට ඉගෙනීමේ කටයුතු සිදු කළ හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව විමසා බලන කල වඩා වැදගත් වන්නේ අදාළ ශ්‍රවණ ඌනතාව හැකි ඉක්මනින් හඳුනා ගැනීමයි. ඒ වගේම එය ස්ථීරව තහවුරු කර ගැනීමට ශ්‍රවණයට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ සිදු කර ගැනීමයි.