සැමියාට තමාව එපාවීම ගැන බිරිඳ හෙළි කළ රහස

සැමියාට තමාව එපාවීම ගැන බිරිඳ හෙළි කළ රහස

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

මාලිකා වීරසිංහ

සැමියෙක් බිරිඳක් අතර ඇති වෙන ප්‍රශ්නයක්. ඔවුන් දෙදෙනා මනෝ වෛද්‍ය සායනයකට පැමිණියේ සැමියා තමන්ගේ කාර්යාලයේ වෙනත් කාන්තාවක් ඇසුරු කරනවා යැයි පැමිණිලි කරගෙන. මනෝ වෛද්‍යවරිය, බිරිඳගෙන් ප්‍රශ්න කළ වෙලාවේ ඇය බොහෝ සෙයින් බියට පත් වුණා. තමන්ගේ සැමියාට තමන්ව එපා වී ඇති බව ඈ සිතා සිටියා. ඒ නිසා ස්වාමියාව සතුටින් තබාගන්න ඇය වැඩි මහන්සියක් දරා තිබුණා. ගෙවල් දොරවල් ඉතාම පිරිසුදුවට තබාගන්න, හොඳට ඉවුම් පිහුම් කරන්න මේ වගේ අනවශ්‍ය ආකාරයේ මහන්සියක් ඇය දරා තිබුණා.

සැමියා සමඟ කතාබහ කරන විට ඔහුට බිරිඳගේ මේ හැසිරීම් විශාල ගැටලුවක් බව පැහැදිලි වූවා. ඔවුන් අතර නිතර ගැටලු ඇති වී තිබුණා. මේ ගැටුම් කෙතරම් දුරදිග ගියාද කියනවා නම් දෙදෙනාගේ සබදතාව බිඳී යන තරම් එය දරුණු තත්ත්වයක පැවතියා.

බිරිඳ හෙළි කළ සැඟවුණු රහස

මොවුන් දෙදෙනා විවාහ වී ඒ වෙනකොට වසර 08 ක් ගත වුණත් ඒ අවුරුදු ගණන තුළ ලිංගික සම්බන්ධයක් ඔවුන් අතර තිබී නැහැ. මතුපිටින් දෙදෙනා අතර ගැටුම් ඇතිවෙන්නට විවිධ හේතු පෙනුනත් මේ කතාවේ පසුබිමින් දිවෙන මේ සැඟවුණු කතාව සැමියා බිරිඳ අතර සම්බන්ධය දෙදරා යන්න ප්‍රමුඛතම හේතුව බව පැහැදිලි වූවා.

දෙදෙනාගේ විවාහයට පෙර ජීවිතය

මේ දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අය විශ්ව විද්‍යාලයේදී ඇති කර ගත් පේ‍්‍රම සම්බන්ධයක් මත මේ විවාහය සිදු වුණත් බිරිඳ හැදී වැඩුණු පරිසරය මේ ගැටලුවේදී මූලිකවම අවධානයට ලක් කළ යුතුයි. ඇය සමාජ මට්ටම අතින් බලන කල සැමියාට වඩා තරමක උසස් මට්ටමක සිටි අයෙක්. ඇය නගරබඳ පාසල් අධ්‍යාපනය ලැබූ (කාන්තා විද්‍යාලයක) අයෙක්. නමුත් ඇය කිසිදාක විදිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා නොතිබුණා පමණක් නොවෙයි එවැනි දේ ගැන විවෘතව කතා නොකළ කාන්තාවක්. ඇය මේ දේවල් පිළිබඳ දැන සිටියේ ඉතාම සුළු වශයෙන්. බිරිඳ ජිවත් වුණු පරිසරය ඇගේ මේ නොදැනුවත්කම මූලිකම භාවයට හේතු වුවා.

ලිංගික සම්බන්ධතා පිළිබඳ බිරිඳ සිතා සිටි ආකාරය

පේ‍්‍රම සබඳතාවක් මත ඔවුන් දෙදෙනා විවාහ වුණත් ලිංගිකව එකතු වීම පිළිබඳව ඇය දැඩි බියකින් පසු වූවා. එවැනි සබඳතාවක් නිසා තුවාල ඇති වේවි වැනි පීඩාකාරි අදහස් ඇය විවාහ වන මොහොතේ පවා සිතේ තබාගෙන සිටියා.

වැරදි සිතුවිලි නිසා ඇත්තමට සිදුවන්නේ කුමක්ද?

ඇගේ මෙම සිතුවිලි නිසා ඇති වන බිය, ආතතිය හේතුවෙන් යෝනි මාර්ගය පටු වීමක් සිදු වේ. එය සිදුවන්නේ යෝනි මාර්ගය ආශි‍්‍රත මාංශ පේශි තද වීම නිසයි. මෙය ඇය සිතා මතා සිදු නොකරන දෙයක්. මේ හේතුව මත ස්වාමියා සමඟ ලිංගිකව සම්බන්ධ වන අවස්ථාවේදී විශාල වේදනාවක් ඇතිවන අතර එම වේදනාව නිසා ඇය එවැනි සබඳතා මඟහැර දමා තිබේ. ඒවාට විවිධාකාර හේතු ගෙනහැර දක්වමින් තම ස්වාමියා ප්‍රතික්ෂේප කර තිබේ.

ස්වාමියා සිතා සිටි ආකාරය

ස්වාමියාටත් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් නොමැති නිසා ඔහු සිතා සිටියේ ඇය තමාට ඇති අකමැත්ත නිසා මෙසේ සිදු කරන බවයි. ඔවුන් දෙදෙනා කිසිදු දිනෙක මේ පිළිබඳ විවෘතව කතාබහ කර නොතිබුණි. වෙනත් අයෙකුට පැවසීම හෝ අවම වශයෙන් වෛද්‍යවරයෙක් හමුවට ගොස් මේ පිළිබඳ පැවසීමට ඔවුන්ට ධෛර්යක් නොතිබිණි.

මේ රෝගී තත්ත්වයට වෛද්‍ය විද්‍යාත්මක හැඳින්වීම කුමක්ද?

මෙම රෝග තත්ත්වය Vaginismus ලෙසින් හඳුන්වනු ලැබේ. පෙර පැහැදිලි කළ පරිදි ලිංගික ක්‍රියාවලිය පිළිබඳ කාන්තාවක් අධික බියක් ඇති කරගැනීම නිසා යෝනි මාර්ගය අවට මාංශ පේශි තද වී යෝනි මාර්ගය පටු වීමක් සිදු වේ. මේ නිසා ලිංගික සංසර්ගයේදී ඇතිවන අධික වේදනාව මත අදාළ යුවළ කායික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ නිසා විවාහ වී විශාල කාලයක් ගත කළත් ලිංගිකව සම්බන්ධ නොවීම මත දරුවන් ලැබීම ප්‍රමාද වීම පමණක් නොව අදාළ යුවළ අතර සබඳතාව පළුදු වී යාමට ද ඉඩ තිබේ. මෙවැනි අය මෙම තත්ත්වයට බලපාන මූලිකම හේතුව නිවැරදිව හඳුනා නොගන්නවා පමණක් නොව එය ප්‍රකාශයට පත් කරන්නේ ද වෙනත් හේතූන් හුවා දැක්වීම මඟිනි.

ප්‍රතිකාර යොදන පියවර

මෙවැනි ගැටලුවකට ප්‍රධාන හේතුව හඳුනාගත් පසුව අදාළ යුවළට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම ඉතාම අත්‍යවශ්‍යයි. නමුත් ඔවුන් අතර පවතින සබඳතාව පවා විනාශ වන මට්ටමට පත්වී තිබේ නම් මූලිකවම සිදු කළ යුත්තේ එය ශක්තිමත් කිරීමට කටයුතු කිරීමයි. ඉන් අනතුරුව ප්‍රතිකාර (තෙරපි) පියවර ලිංගිකව ශක්තිමත් සබඳතාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය පියවරයන් ලබාදිය යුතුයි. එමඟින් සංසර්ගය පිළිබඳ ඇති වී තිබෙන අනවශ්‍ය බිය පහව යන අතර එම ක්‍රියාවලියට මුහුණ දීමට හුරු කිරීම මඟින් අදාළ ගැටලුව සමතයකට පත් කළ හැකියි.