වකුගඩු රෝගීන්ට නිවසේදීම කරගත හැකි පරිතාන කාන්දුකරණ ක්‍රමය

වකුගඩු රෝගීන්ට නිවසේදීම කරගත හැකි පරිතාන කාන්දුකරණ ක්‍රමය

(Peritoneal Dialysis)

වකුගඩු ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය නිලධාරී දිසා රෝහල ගිරාඳුරු කෝට්ටේ

වෛද්‍ය ලිෂාන්ත ගුණරත්න

අප රටට අලුත් ප්‍රතිකාර ක්‍රමයක් වුවත්, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව වැනි දියුණු රටවල මෙන්ම, ඉන්දියාව, බංගලිදේශය සහ තායිලන්තය වැනි අප කලාපයේ රටවල ද ඉතාමත් බහුලව භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයකි. ඕනෑම වයසක වකුගඩු රෝගියෙකුට ආරම්භ කළ හැකි මෙම ප්‍රතිකාර ක්‍රමය, තරුණ රෝගීන්ට ඉතාමත් සාර්ථක ලෙස කළ හැක.

මෙහිදී ශල්‍යකර්මයක් මඟින් උදර කුහරයට ඇතුල් කරන ලද ස්ථීර නළයක් තුළින් පරිතාන කාන්දුකරණය දියරය ගුරුත්වය යටතේ උදර කුහරය තුළට ඇතුල් කරයි. මෙහි දී උදර කුහර බිත්තිය (පරිතාන පටලය) අර්ධ පාරගම්‍ය පටලයක් සේ ක්‍රියා කරන අතර, ශරීරයේ නිපදවෙන බහිස්ස්‍රාවීය අපද්‍රව්‍ය පරිතාන පටලය හරහා උදර කුහරය තුළ ඇති පරිතාන කාන්දුකරණය තරලයට විසරණය වේ. සිරුරේ ඇති අතිරික්ත ජලය ද මේ සමඟම කාන්දුකරණ තරලයට එක් වේ. මෙසේ උදරයෙහි තබන ලද මෙම තරලය, පැය 6 ත් 8 ත් අතර කාලයකට පසු උදර කුහර තුළින් ගුරුත්වය යටතේ ඉවත් කරයි. මෙමඟින් ශරීරය තුළ එකතු වන්නා වූ බහිස්‍රාවීය අපද්‍රව්‍ය සහ අතිරික්ත ජලය ශරීරයෙන් ඉවත් කෙරේ. මෙලෙස දිනපතා 3 -4 වතාවක් සිදු කර ගන්නා වූ මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා වැය වනුයේ විනාඩි 15 ත් 30 ත් අතර කාලයක් පමණි.

පරිතාන කාන්දුකරණ තරලය මාරු කිරීමෙන් පසු රෝගියාට තම ගේ දොර කටයුතු මෙන්ම රැකියාවේ කටයුතු ද නිරෝගී අන් අය හා සමානව කළ හැක.

ගෘහස්ථ පරිතාන කාන්දුකරණයෙහි ඇති වාසි සහ අවාසි

ගෘහස්ථ පරිතාන කාන්දුකරණය රෝගියා විසින් කිසිවෙකුගේ උදව්වකින් තොරව තම නිවසේ දීම සිදු කරගන්නා බැවින්, මෙම ප්‍රතිකාර ක්‍රමයෙහි ඇති වාසි බොහෝය.

ඐ ඉතාමත් සරලය

ඐ තම නිවසේදීම සිදු කර ගන්නා වූ ප්‍රතිකාර ක්‍රමයක් නිසා රෝහල්ගත වීමක් අවශ්‍ය නොවේ

ඐ අන් අයගේ උදව්වක් නොමැතිව සිදු කරගත හැක

රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රමයේදි මෙන් රුධිරය මඟින් බෝවන රෝග සඳහා කිසිදු අවදානමක් නොමැත

කිසිදු ආහාර පාලනයක් නොමැති අතර, රෝගියාට ඕනෑම ආහාරයක් ගත හැක

රෝගියාට අන් අය හා සමාන ජීවන රටාවක් ගත කළ හැක

රෝගියාට තම දිනචර්යාවට බාධා නොවන අයුරින් තමාට පහසු ලෙස තමාගේම කාල සටහනකට අනුව ප්‍රතිකාර කර ගත හැක

ඉතාමත් ලාභදායිය එනමුත්, මෙම ප්‍රතිකාර ක්‍රමයෙහි අවාසි කිහිපයක් ද ඇත.

ස්ථීර නලයක් උදර කුහරය හා සම්බන්ධ කළ යුතුය.

ආසාදන ඇතිවීමේ අවදානමක් තිබීම

දිනපතාම කළ යුතු අතර ඒ සඳහා යම් කාලයක් වැය වීම.

ගෘහස්ථ පරිතාන කාන්දුකරණය සුදුසු කා හට ද?

ගෘහස්ථ පරිතාන කාන්දුකරණ ප්‍රතිකාරය ඕනෑම වයසක වකුගඩු රෝගියෙකුට ආරම්භ කළ හැකි ඇති අතරම දියවැඩියාව සහ හෘද රෝග සහිත රෝගීන් සඳහා ද සුදුසු ප්‍රතිකාර ක්‍රමයෙකි. ගෘහස්ථ පරිතාන කාන්දුකරණ ප්‍රතිකාරය සඳහා වඩාත්ම සුදුසු රෝගීන් වනුයේ,

වකුගඩු අකර්මන්‍යතාවය අවසාන අවස්ථාවේ සිටින එහෙත් කිසියම් මට්ටමකට වකුගඩුවල ක්‍රියාකාරීත්වය ඇති රෝගීන් පරිතාන කාන්දුකරණය පිළිබඳ අවබෝධයක් ගත හැකි බුද්ධි මට්ටමක් ඇති රෝගීන් (එසේ බුද්ධි මට්ටමක් නොමැති රෝගීන්ට, බුද්ධි මට්ටමක් ඇති පවුලේ අයෙකුගේ සහයෝගය ඇත්නම්) දෘෂ්‍යාබාධ, මානසික ආබාධ සහ තදබල ලෙස ආතරයිටීස් සහිත රෝගීන්ට පවුලේ අන් අයගේ සහයෝගය ඇත්නම්

සුදුසුකම් ඇති රෝගීන්

1. මෙම ප්‍රතිකාරය සඳහා රෝගියාගේ අකමැත්ත

2. පවුලේ අන් අයගේ අකමැත්ත සහ සහයෝගය නොමැති වීම

3. උදර කුහරයේ පෙර පැවති ආසාදන තත්ත්වයන් නිසා බඩවැල් සහ පටක එකට ඇලී තිබීම

4. අන්තර් උදරීය ආසාදන ඇති විට

5. උදර කුහරය ආශි‍්‍රත තදබල ශල්‍යකර්ම කළ රෝගීන්

ගෘහස්ථ පරිතාන කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම

ගෘහස්ථ පරිතාන කාන්දුකරණ ප්‍රතිකාරය 2015 වසරේ මාර්තු මස සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍යංශයේ අනුමැතිය අනුව මහනුවර මහ රෝහලෙහි වකුගඩු රෝග ප්‍රතිකාර සහ බද්ධ කිරීමේ ඒකකය මඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.

රෝගියා රෝහල්ගත වීමක් නොවන නිසා රෝගියාගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ කාලය මෙන්ම මුදල් අනවශ්‍ය ලෙස වැය වීමක් සිදු නොවේ.

එබැවින් ගෘහස්ථ පරිතාන කාන්දුකරණය රෝගියාට මෙන්ම සෞඛ්‍ය ආයතනවලට ලාභදායි සහ පහසු ප්‍රතිකාර ක්‍රමයකි.