පුරුෂ පක්ෂයට පිළිකාවෙන් බේරෙන්නට මගක්

පුරුෂ පක්ෂයට පිළිකාවෙන් බේරෙන්නට මගක්

පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

කනිෂ්ක කරුණාරත්න

පිළිකාකාරක පිළිබඳ මහජන මතය කෙසේ වුවත් අප භාවිත කරන සියලු ම දෑ පිළිකා සැදීමට හේතු නොවේ. පිළිකාව සෑදීමට හේතුවන කාරක බොහොමයකින් අපට ගැලවිය හැකි ය. ශ්‍රී ලංකාවේ පිරිමින්ට වැළඳෙන පිළිකාවලින් අඩකටත් වඩා (සියයට 55 ක් පමණ) බුලත්, දුම්කොළ හා අධික මධ්‍යසාරය හේතුකොට ගෙන හටගනී. පුරුද්දට ඇබ්බැහි නොවුවහොත් මේ පිළිකා නොසෑදේ. මෙවැනි පිළිකා කාරකවලට ලක් වන්නන් මේ අනතුර දැන දැනත් ඉන් ඉවත් නොවෙයි. මෙය සහමුලින් ම අනවශ්‍ය තත්ත්වයකි.

අනෙක් අතට එතරම් හානිකර නොවන පිළිකාකාරක පිළිබඳ බිය බොහෝ විට අතිශයෝක්ති තත්ත්වයක් ගනී. අප සමාජයේ දැනට භාවිත වන කෘත්‍රිම සංයෝග රාශියක් මනුෂ්‍ය භාවිතයට ගන්නේ සම්පුර්ණයෙන් ම ඒවායේ හානි පරීක්ෂා කිරීමට පෙර වේ. එනමුත් සංඛ්‍යාත්මකව ගත්කළ මෙම රසායනික ද්‍රව්‍ය නිසා හටගන්නා පිළිකා මුළු පිළිකාවලින් ඉතා ම සුළු ප්‍රතිශතයක් ගනී. දැනට භාවිත වන 50,000 ක් පමණ රසායනික ද්‍රව්‍යවලින් දළ වශයෙන් 7000ක් පමණ පිළිකාකාරක දැයි බැලීමට පරික්ෂණවලට ලක් කොට ඇත. මින් 700ක් 800ක් (එනම් සියයට 10ක් පමණක් පිළිකා කාරක බව පෙනේ.

තත්ත්ව පරීක්ෂණවලින් පසු දන්නා පිළිකා කාරක භාවිතය සීමා කිරීමට නීති පද්ධතියක් ඇත. එසේ නමුත් ප්‍රායෝගිකව මේ සියල්ල ම සම්පුර්ණයෙන් ම භාවිතයෙන් තුරන් කළ නොහැකි ය. මේ එක් එක් ද්‍රව්‍යයේ ඇති භයානකකමත් ප්‍රයෝජනයත් අනතුරු - ලාභ තරාදියේ දමා බර කිරා වැඩි පැත්තට වාසිය ලබාදීම නුවණක්කාරම ක්‍රියාව බව පෙනේ.

කිසි ම ප්‍රයෝජනයක් (ලාභයක්) නැති බුලත් දුම්කොළ හා සිගරට් වැනි පිළිකාකාරක අවාසියක් (අලාභයක්) පමණක් වේ. එ නිසා ඉන් සහමුලින් ම ඉවත් විය යුතුය. මේවා මඳ පමණට පාලනයකින් යුතු ව අවශ්‍යතාව සඳහා පමණක් භාවිත කළ යුතු ය. අපට කිසිසේත් ඉවත් විය නොහැකි පරිසරයෙන් ම අප ලක් වන පිළිකා කාරක ඇත. සූර්යාලෝකයේ හා පරිසරයේ ඇති ස්වභාවික විකරණශීලිත්වය උදාහරණ ලෙස දැක්විය හැකි ය. මෙවැනි ස්වභාවික අංගයන්ගෙන් අපට සම්පුර්ණයෙන් ම ගැලවිය නොහැකි ය. මේවා සමඟ අප ජීවත් විය යුතුය.

මේ අයුරින් පිළිකාකාරක විය හැකි ද්‍රව්‍ය අනුව අනතුරු - ලාභ තරාදියක දමා බර කිරා ප්‍රයෝජනය අනුව ප්‍රායෝගිකව වර්ග කර භාවිත කිරීමෙන් පිළිකාකාරකවලට ලක්වීම අවම කළ හැකි ය.

බුලත් විට සැපීම සහ පිළිකා

විට සැපීම අතීතයේ සිට ම පැවතුණු ජනපි‍්‍රය ශ්‍රී ලාංකීක පුරුද්දකි. විට සැකසීමේ දී පුවක් හා හුණු මිශ්‍රණය දුම්කොළ සහිත ව හෝ රහිතව බුලත් කොළයක ඔතා සැපීමට ගනු ලැබේ.

විට සැපීම නිසා මුඛ හා උගුර ආශිි‍්‍රත පිළිකා හටගනී. විට හපා, සැපූ තලපය කම්මුල හා හක්ක අතර ගුලියක් ලෙස තබාගෙන පැය ගණන් සිටීමත්, නිදාගැනීමත් සමහර අය අතර දක්නට ඇති නරක පුරුද්දකි. එනිසා කම්මුලේ පිළිකා ඉතා සුලබව දක්නට ඇත.

මෙම පිළිකා හකු ඇටයට කාවැදී කම්මුල හා හකු ඇටය යන දෙක ම විනාශ වන අවස්ථා අපමණය. තොල්පට, දිව, මුඛ කුහරයේ පතුලේ හා උගුරේ සෙම්ගෙඩි ප්‍රදේශයේත් පිළිකා සෑදීමට මෙම පුරුද්ද හේතු වේ. ශ්‍රී ලංකාවේ මුඛ පිළිකාවලින් සියයට 90කට අධික ප්‍රමාණයක් සෘජු ව ම මෙම පුරුද්ද නිසා හටගන්නා බව පෙනේ.

හේතුව ගණනය කරන ලද පිළිකා ප්‍රතිශතය

පාරිසරික හේතු

  •  බුලත් හා දුම්කොළ (දුම්වැටි සමඟ) 35 40%
  •  ආහාර 30 - 35%
  •  මධ්‍යසාර 3%
  •  වෛරස් ආසාදන 3%
  •  වෘත්තිය 2 - 3%
  •  සුර්යාලෝකය හා පාරිසරික විකිරණ 2 -3 %
  •  පරිසර දුෂණය 2%
  •  වෛද්‍ය ප්‍රතිකර්ම 1%
  •  ආහාර වර්ණක හා රසකාරක 1% හෝ අඩු
  •  පාරිසරික නොවන හේතු 5%
  •  පාරම්පරික 25%

හේතු නොදන්නා විට කෑම නිසා, පිළිකාවලට අමතරව පුර්ව පිළිකා අවස්ථා ලෙස සැලකිය හැකි මුඛයේ විවිධ රෝග (උපශ්ලේෂ්මල තන්තුමතාව, සුදුලප - ශ්වේත සානුව, රතුලප - රෝහිත සානුව වැනි) දත් දුර්වර්ණ වීම හා විවිධ දන්ත රෝග සෑදීමත් සිදු වී මුඛ සෞඛ්‍ය පහත වැටේ.

වෘත්තියෙන්, ගොවීන්, කම්කරුවන් හා මේසන්වරුන් වැනි කර්මාන්තවල නියලෙන උදවිය අතර මෙම විට කෑමේ පුරුද්ද තදින් ඇති අතර, මුඛ පිළිකා සෑදීමේ ප්‍රවණතාවත් මේ අයුරින් ම ඉහළ බව පෙනේ. මෙම මුඛ පිළිකා සෑදෙන රෝගීන් බොහෝ විට ආර්ථික හා අධ්‍යාපන මට්ටමෙනුත් පහළ ය. එ නිසා පිළිකාවෙන් සිදු වන හානිය ඉතා විශාලය. ප්‍රතිකර්මයට පැමිණීමත් බොහෝ විට මොවුන් අතින් පමා වේ. එ නිසා මොවුන්ගේ ප්‍රථිකර්ම ප්‍රතිඵල එතරම් සාර්ථකත්වයෙන් ඉහළ තත්ත්වයක් නොගනී. ප්‍රතිකර්මයෙන් පසුත් තම පරණ පුරුදුවලට නැවත වැටීම නිසා නැවත නැවතත් පිළිකාවලට ලක්වේ. මෙම තත්ත්වය ඉතා ම දුක්ඛිත වේ. විට කෑම තුරන් කළහොත් ශ්‍රී ලංකාවේ මුඛ පිළිකා සහමුලින් ම මෙන් වළක්වා ගත හැකි බව පෙනේ. වාසනාවකට මෙන් මෙම පුරුද්ද ක්‍රමයෙන් අභාවයට යන බව පෙනේ. මේ හා සමානව ම මුඛ ආශි‍්‍රත පිළිකා ප්‍රතිශතවලත් අඩුවක් දැන් දැන් දක්නට ඇත.

ශි‍්‍ර ලංකාවේ පිරිමි පිළිකා අතුරින් මුඛ ආශි‍්‍රත පිළිකා ප්‍රතිශතය 1987 දී සියයට 35.6ක් විය. 1995 වන විට මෙය සියයට 29.45 දක්වා අඩු වීම බුලත් කෑමට විරුද්ධ ප්‍රචාරණ කටයුතුවල සාර්ථකත්වයට සාක්ෂ්‍ය ලෙස දැක්විය හැකි ය.

දුම්කොළ දුම්වැටි සහ පිළිකාව

ශි‍්‍ර ලංකාවේ දුම්කොළ භාවිතය වැඩිපුර ම සිදුවන්නේ ඉහත කී ලෙස බුලත්විට සමඟ හෝ දුම්වැටි (බීඩි, සිගරට් හා සුරුට්ටු) ලෙස වේ. පයිප්ප හා දුම්කුඩු භාවිතය එතරම් ජනපි‍්‍රය නැත. මෙම කුමන අයුරකින් දුම්කොළ භාවිත කළත් සිදුවන හානිය එක ම ය. දුම්කොළවල පිළිකා කාරක (ආරම්භක කාරක හා අනුබල කාරක) ලෙස කටයුතු කළ හැකි සංයෝග 4000 ක් පමණ ඇත. පෙණහලු පිළිකාවල ප්‍රධාන පිළිකා කාරකය දුම්වැටිය යි.

පෙණහලු පිළිකාව ඉතා බියකරු පිළිකාවකි. මෙම පිළිකාව නිශ්ශබ්ද ව ම වර්ධනය වේ. රෝග ලක්ෂණ බොහෝ විට ශ්වසන පද්ධතියේ අනෙකුත් ආසාදන රෝගවල (උදාහරණයක් ලෙස ලංකාවේ සුලබ ක්ෂය රෝගය වැනි රෝග) ලක්ෂණවලින් වෙන් කර ගැනීම අපහසුය. එනිසා රෝග නිර්ණය පමා වේ. සොයාගන්නා විට පැතිරි අවසානය. එනිසා රෝගීන්ගෙන් දහයෙන් පංගුවකටත් වඩා අඩු සංඛ්‍යාවක් සුව කළ හැකිය. සියයට 90ක් ම මින් මිය යයි.

පෙණහලු පිළිකාවලට අමතර ව දුම්වැටිය වෙනත් පිළිකා සමඟ ද සම්බන්ධයක් දක්වයි. මුඛ, ග්‍රසනික, ස්වරාල, ගලනාල, මුත්‍රාශ, අග්න්‍යාශ, වකුගඩු, ආමාශ හා ගැබ්ගෙල පිළිකාත් දුම්බීම නිසා හටගන්නා බව දක්වා ඇත. පිළිකාවලට අමතරව මුඛ, පෙණහලු රෝග ආසාදන, හෘදයාබාධ, රුධිර නාල ගත රෝගවලට ලක් වී කකුල් අහිමි වීම (ගාත්‍රා විශසනයන) වැනි එකී මෙකී රෝග හා කරදර රාශියක් දුම්වැටිය නිසා හටගනී.

දුම්වැටි හා පිළිකාව

සිගරට් තාර පෙණහලුවලට පමණක් නොව රුධිරය මගින් මුළු සිරුරේ ම ගමන් කර හානි පමුණුවයි.

වකුගඩු

මුත්‍රාශය

පෙණහලු

රුධිරය මගින්

විවිධ පටක

දුම්බොන්නන්ගේ පිළිකා අවදානම දුම් නොබොන්නන් මෙන් දෙගුණයක් වේ. අධික ලෙස දුම් බොන්නන්ගේ (දවසකට පැකට්ටුවකට අධික) අවදානම, නොබොන්නන් මෙන් තෙගුණයක් හෝ හතර ගුණයක් විය හැකිය. දුම්බීම වැඩි වීමත්, දුම්වැටිය සමඟ මධ්‍යසාර ගැනීමත් මෙම අවදානම වැඩි කිරීමට හේතු වේ. දුම්වැටියෙන් ඉවත් වු විට මෙම අවදානම කාලයත් සමඟ අඩු වේ. දුම්වැටියේ අවදානම ඉතා පැහැදිලිය. අවදානම අඩු කිරීමට ඇති එක ම මග ඉන් ඉවත් වීම යි.

මධ්‍යසාර සහ පිළිකාව

ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිතය දිනෙන් දින ඉහළ යන බව පැහැදිළි කරුණකි. ශ්‍රී ලංකාවට ආවේණික නීත්‍යනුකූල මධ්‍යසාර වන අරක්කු, රා හා නිල නොවන කසිප්පු භාවිතය ඉතා ප්‍රචලිත ය. මීට අමතර ව රටබීම රාශියක් ද මෙහි භාවිත වේ.

මධ්‍යසාර භාවිතය මුඛ, ග්‍රසනික, ස්වරාල හා ගලනාල පිළිකා වැඩි වීමට හේතු වේ. මෙය මධ්‍යසාර ම නිසා පමණක් නොව ඊට එක් කරන රසකාරක හා පැසීමේ දී හටගන්නා සංයෝග , මධ්‍යසාර සමඟ පිළිකාකාරක ලෙස කටයුතු කිරීම නිසා සිදු වේ. අධික ලෙස බීමත් වන්නන් ඒ සමඟ දුම්බීම ද සිදු කරන හෙයින් මධ්‍යසාරවල ප්‍රතිඵල දුම්බීමෙන් වෙන් කිරීම අපහසු ය. එනමුත් සුරා සොඬුන් නිසි ආහාරයක් නොගන්නා නිසා ආරක්ෂක පෝෂණ ද්‍රව්‍ය ලැබීමත් අඩු වී පිළිකා අවදානම තවත් වැඩි වේ. නිතිපතා අධික ලෙස මධ්‍යසාර භාවිත කිරීම නුවණට හුරු නොවන බව මින් පැහැදිළි ය.