World Health News
World Health News

පුදුමයි ඒත් ඇත්තයි

තට්ටු 47 කින් පහළට වැටුණු මිනිසා නත්තලට නැවත පිබිදෙයි

අහස සූරන මැදුරු වල ජනෙල් ශුද්ධ පවිත්‍ර කිරීම ඇල්සිඩෙස් මොරිනෝ සහ ඔහුගේ සොහොයුරු එඩ්ගාර් ගේ රැකියාව විය. 2007 දෙසැම්බර් 7 වැනිදා පාන්දර සීතලේ ගැහි ගැහී ඔවුන් දෙදෙනා පිටත්ව ගියේ ඇමරිකාවේ මෑන්හැටන් නගරයේ නැගෙනහිර පිහිටි “සෝලොව් කුළුන” යනුවෙන් හැඳින්වෙන තට්ටු 47 කින් යුක්ත මන්දිරයේ ජනෙල් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහායි.

ඔවුන් සාමාන්‍යයෙන් එවන් මැදුරු වල ජනෙල් පවිත්‍ර කිරීම අරඹනුයේ ඉහළ සිට පහළටයි. ඒ සඳහා ඔවුනට එල්ලෙන වේදිකාවක් තිබිණ. ඉහළම තට්ටුවට ගිය ඔවුන් ඉන්පසුව කළේ එම එල්ලෙන වේදිකාවට නැගීමයි. එක් අයෙකු අත සබන් වතුර සහිත පනිට්ටුවක් ද අනෙකා අත වයිපරයක් හා පිරිසිදු වතුර සහිත පනිට්ටුවක් ද විය.

එල්ලෙන වේදිකාවට නැග තම කටයුත්ත ඇරඹූ සොහොයුරන්ට එක්වරම සිදු වූයේ සිතා ගැනීමට නොහැකි දෙයකි. එඩ්ගාර් සිටි පැත්තේ එල්ලා තිබූ කම්බි දෙකම ගැලවී ගිය අතර එඩ්ගාර් අහසට විසි වී යන ආකාරය මොරිනෝට දැකගත හැකි විය. ඔහු කළේ එක්වරම අනික් පැත්තේ දම්වැල තදින් අල්ලා ගැනීමයි. එහෙත් මොහොතකින් එම දම්වලැද ගැලවී ගිය නමුත් ඔහු තදින් එම වේදිකාව අල්ලාගෙන පහතට පතිත විය. පොළොව මත පතිත වූ එඩ්ගාගේ සිරුර දෙකඩ වී ඔහු ජීවිතයෙන් සමුගෙන තිබිණ. එහෙත් වේදිකාවත් සමඟ වැටුණු මොරිමෝ නොයෙකුත් ආපදා සහිතව සිටියත් ඔහු හුස්ම ගන්නා බව තේරුම් ගත් එම දර්ශනය අත් දුටු ජනයා වහා ඔහුව රෝහලට ගෙන යන ලදී.

හතලිස් හත්වැනි තට්ටුවේ එනම් අඩි 550 ක් උසකින් වේගයකින් පහතට වැටුණු කෙනෙකු ජීවතුන් අතර සිටීයැයි කිසිසේත් සිතීමට පවා අපහසු කරුණකි. ඒ බව එඩ්ගාර්ට සිදු වූ දෙයින්ම වැටහෙනු ඇත.

එහෙත් මොරිනෝ ජීවතුන් අතර සිටින බව වටහා ගත් වෛද්‍යවරුනට දක්නට ලැබුණේ ඔහුගේ මොළයට, සුසුම්නාවට, පපුවට, ආමාශයට දැඩි ලෙස හානි සිදු වී ඇති අන්දමයි. ඒ හැර ඔහුගේ ඉල ඇට රැසක් කැඩී බිඳී ගොස් තිබිණ. එසේම දෑත් හා දෙපා කකුල්වල අස්ථි බිදීගොස් තිබිණ,

වෛද්‍යවරුන් වහාම ඔහුගේ හිස්කබල සිදුරු කොට කැතිටරයක් ඇතුලට යවා මොළය තුළ ඉදිමීම් වළක්වා ලීමටත් ඔහුව කෝමා තත්ත්වයට පත් කිරීම සිදු කරන ලදී. මොරිනෝව බේරාගත් අය පැවසුවේ “ ඇල්ලුව හැටියේ අතපය ගැලවෙන විධියේ ගෙම්බෙක් වගේ තමයි එයා වැටිලා හිටියේ”යනුවෙනි. කෙසේ වුවත් ඔහු විසින් එල්ලෙන වේදිකාව තදින් අල්ලා සිටි නිසාත් එම වේදිකාවත් සමඟම ඇදවැටීම නිසාත් දරුණු තුවාල සහිතව ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව නිව්යෝක් නගරයේ ප්‍රෙන්බිටේරියන් රෝහල් ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය හර්බට් පර්දේස් පැවසීය.

කෝමාවේ සති තුනක් ගත කළ මොරිනෝ හරියටම නත්තල් දිනයේ උදේ දෙනෙත් විවෘත කොට එක්වරම සයනගේ නිදාගත්තේ ඔහුට වූ දේ ගැන කිසිවක් වැටහීමකින් තොරවය. ඔහුට තට්ටු 47 කින් ඇද වැටුණු බවද අමතක වී ගොස් තිබිණ.

එහෙත් ක්‍රමයෙන් විශේෂ වෛද්‍ය ප්‍රතිකාර හේතු කොටගෙන ඔහුට මතකය නැවත එන්නට විය. එසේම බිඳී තිබූ අස්ථින් ද ක්‍රමයෙන් සුව අතට පත් වූ අතර ඔසවා ගෙන රෝහලට පැමිණි මොරිනෝ රෝහලෙන් දෙපයින් පිටත් වීම ඇත්ත වශයෙන්ම වෛද්‍ය හාස්කමක් ලෙස සැලකේ. වෙනකක් තබා අද ඔහු අවුරුද්දක දරුවෙකුගේ පියෙකු බවට ද පත් වී සිටී.


දින 118 ක් හදවතක් නැතිව ජීවත් වූ ගැහැනු දරුවෙක්

දහ හතර හැවිරිදි ඩිෂානා සිමනල් ඩයිලේටඩ් කාඩියෝමයෝෂති (dialated cardiomyopathy)  නමැති හෘද රෝගයෙන් ආබාධිත තත්ත්වයෙන් පසු වූ දැරියකි.

දුර්වල තත්ත්වයේ පැවතී ඇයගේ හදවත ඉදිමී තිබූ අතර කාර්යක්ෂම ලෙස රුධිර සංසරණය සිදු නොවන තත්ත්වයකට පත් වී තිබිණ. ඒ අනුව 2008 ජූලි 2 වැනිදා ඇමරිකාවේ මියාමි ජනපදයේ හොල්ට්ස් ළමා රෝහලේදී හදවතක් බද්ධ කරන ලදී. එහෙත් එම හදවත හරිහැටි ක්‍රියාත්මක නොවූ නිසා ඔක්තෝම්බර් 29 වැනිදා තවත් හදවතක් බද්ධ කරනු ලැබීය.

ජූලි 2 වැනිදා සිට ඔක්තෝම්බර් 29 වැනිදා දක්වා වූ දින 118 කාල පරාසය ඇය ගත කළේ හදවතක් නොමැතිවය. ඇය ජීවත් වූයේ කෘත්‍රිම රුධිර සංසරණය සිදු කරණු ලබන යන්ත්‍රයක ආධාරයෙනි. එම කාලසීමාව පුරා පොම්ප දෙකක ආධාරයෙන් ඇයගේ සිරුර පුරා රුධිර සංසරණය සිදු කරනු ලැබූ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මාර්කො රිච් පවසන අතර මේ අන්දමේ දරුවෙකු ජීවත් කරවූ ප්‍රථම අවස්ථාව මෙය බවද පැවසීය.

“ඒ කාලය තුළදී මා ජිවත් වුණේ ඉතා භයකින්. යන්ත්‍රය ක්‍රියාවිරහිත වූවා නම් මට නියත මරණයක් සිදු වෙනවා. එහෙත් මගේ වාසනාවට එවන් දෙයක් සිදු වුණේ නෑ. මට වැටහුණේ මම බොරු කෙනෙක් වගේ කියල. මම හරියට ජීවත්ව සිටියේ නෑ වගේ තමයි මට වැටහුණේ” යැයි ඇය ඉතාම හෙමින් මාධ්‍යවේදීන්ට පැවසුවාය. කෙසේ වෙතත් ඇයට රෝහලේ මාස හතරක් පමණ ගත කිරීමට සිදු වූ අතර ඒ අතරතුරදී ඇගේ වකුගඩු ක්‍රියා විරහිත වීම නිසා වකුගඩු ද බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ද භාජනය කරන ලදී.අද ඇය සාමාන්‍ය කෙනෙකු ලෙස ජීවත් වූවත් අනාගතයේදී වසර 12ක් 13 ක් ගත වූ පසු ඇයට නව හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයින් විශ්වාස කරයි. කෙසේ වෙතත් දින 118 ක් වයස 14 ක දැරියක් හදවතක් නොමැතිව කෘත්‍රිම යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වීම වෛද්‍ය හාස්කමක් ලෙස සැළකේ.