මළගෙදරක තිබෙන ආහාරවලට මළසිරුරින් විෂබීජ ඇතුල්වෙනවාද?

මළගෙදරක තිබෙන ආහාරවලට මළසිරුරින් විෂබීජ ඇතුල්වෙනවාද?

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

සාමාන්‍යයෙන් අවමංගල්ල උත්සවවලට සහභාගි වු විට අනිවාර්්‍යයෙන්ම මළ බතට ආරාධනා කිරිම සිරිතක්. නමුත් ගැටලුව වන්නේ බොහෝ අය ඒ ආරාධනය ප්‍රතික්ෂේප කර කනන්තට පැමිණ නිවසටවත් ගොඩවදින්නේ නැතිව පිට පාරෙම යන්නේ මළ බත කන්නට වේවි කියන බය නිසා.

බොහෝ දෙනා තුළ පවතින දුර්මතයක් වන්නේ විෂබිජ නිසා මළගෙරක කැම අනුභව කිරීම නුසුදුසු බවයි. විශේෂයෙන් මළ ගෙදරක ආහාර පිසීම, මළ ගෙදරක ආහාර ගැනීම පිළිබඳ පිරිසිදු භාවය, තෙල් ආහාර සෑදීම හා අනුභව කිරීම, මළ ගෙදරකට සහභාගි වූ පසුව මුහුණ සේදීම හෝ ස්නානය කිරීම වගේ සමාජ සිරිත් විරිත් රාශියක් වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳව ඔවුන් අවධානය යොමු කළා. අද අපි ඒ ගැන සරලව විමසා බලමු.

අද අපි සාකච්ඡා කරන්න යන කරුණු කාරණා සමාජ සිරිත් විරිත් හා විශ්වාසයන් මත ගොඩ නැඟුණු ඉතා සංවේදී දේවල් බව පළමුව සඳහන් කළ යුතු වෙනවා. මේවා එක් එක් ප්‍රදේශ අනුවත්, සමාජ විශමතාවයන් අනුවත්, ආගම් හා ඇදහිලි අනුවත්, ග්‍රාමීය හා නාගරික ලෙසත් විවිධාකාර ලෙස වෙනස් වෙනවා. ඒ නිසා මේ ලිපියේ අරමුණ වන්නේ මෙවැනි සංවේදී කාරණා විවේචනයක් හෝ විශ්ලේෂණයක් කරනවාට වඩා ඒවා පිළිබඳ වෛද්‍ය මතයක් පැහැදිලි කිරීම බව කාරුණිකව සැලකිය යුතු වෙනවා.

මළ ගෙදරකදී තුවාල පැසවීම යන කාරණය වගේම ආහාර පිසීම, අනුභවය හා ස්නානය කිරීම වැනි කාරණා වලදී ඉස්මතු වන්නේ “විශබීජ” පිළිබඳ සිතුවිලි හා “පිරිසිදු බව“ යන කාරණා බව පැහැදිලි දෙයක් වෙනවා. මේ නිසා මල ගෙදරක ඇති “මෘත දේහය”හා විශබීජ පිළිබඳ කතා කරමු.

මිනිසා පමණක් නොව සෑම සත්වයෙකුම හෝ ජීවියෙකුම මිය ගිය පසු “නරක් වීම” හෙවත් “දිරා යාම” ස්වභාවික කාරණයක්. මෙම ක්‍රියාවලිය ස්වභාව ධර්මයාගේ යහ පැවැත්මට ඉතා වැදගත් වෙනවා. මෙමඟින් මියගිය සිරුර තුළ ඇති සියලු දේ “ප්‍රතිචක්‍රීකරණයට” ලක් වෙනවා කිව්වොත් නිවැරදියි. ඉතිං මේ වැදගත් කාරණය සිද්ධ කරන්නේ “වියෝජක බැක්ටීරියා” නම් වූ බැක්ටීරියා විශේෂයකිනුයි. මෙම බැක්ටීරියාවන්ට යැපෙන්න, ජීවත්වන්න පුළුවන් වන්නේ මියගිය පටකයන් මත පමණයි. හොඳින් රුධිර සංසරණය සිද්ධ වෙන, ඔක්සිජන්, ග්ලූකෝස් ඇති, ප්‍රතිශක්තියක් පවතින වාතාවරණයක් යටතේ මෙම බැක්ටීරියාවන්ට ක්‍රියාත්මකවන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ සජීවි ශරීරයක් තුළ මේ ජීවින්ට පැවැත්මක් නැහැ. සරලව කිව්වොත් මළ සිරුර කුණු කරන විෂබීජවලට, සජීවි ශරීරය කුණු කරන්න බැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන්, මළ සිරුරේ ඇති විෂබීජ වලින්, සජීවි සිරුරක් ඇති අයට විශේෂ බලපෑමක් එල්ල වන්නේ නැහැ. නමුත් සමහර රෝග කාරක, විශේෂයෙන් පෝෂණයක් නොමැතිව කාලයක් පැවතිය හැකි බැක්ටීරියා හා වෛරස “මළ සිරුරක්” තුළ වුවත් පැවතිය හැකි වෙනවා.

නමුත් එවැනි විශබීජ “මළ සිරුරු” නොවන වෙනත් ස්ථාන වලද, බස්රියේ, දුම්රියේ, පාසලේ, රෝහලේ ආදී ස්ථාන වලද බහුලව පැවතිය හැකි නිසා, “මළ සිරුර” සම්බන්ධයෙන් පමණක් විශේෂත්වයක් දැක්විය හැක්කේ නැහැ. ඒ වාගේම ජිවී සිරුරක ප්‍රතිශක්ති හමුවේ විශේෂ අවධානයක් ඇති වන්නේ ද නැහැ.

අනිත් අතට “රෝග“ ඇති කරන විශබීජ සඳහා ඔක්සිජන් ග්ලූකෝස් හා සජීවි සිරුර කොටස් අත්‍යවශ්‍ය වනවා. මළ සිරුරක මේවා නැති නිසා “රෝග“ ඇති කරන විෂබීජ වලට ඒ තුළ පැවැත්මක් ඇත්තේ නැහැ. මේ නිසා සමස්ථයක් ලෙස සැලකිය යුතු වන්නේ “මළ සිරුර” යනු රෝග බෝ කරන විෂබීජවලින් පිරීගිය දෙයක් නොවන බවයි. ඒ තුළ ප්‍රධානව ඇත්තේ “රෝග“ බෝ නොකරන “වියෝජක ජීවින්” බවයි.

අද අපි කතා කරන “ආහාර” පිළිබඳ ගැටලුවේදී සඳහන් කළ යුතු වන්නේ, මළ ගෙදරකදී පිසින ආහාරවල විශේෂ වූ විෂබීජයක් අඩංගු නොවන බවයි. ඒ වගේම මළ ගෙදරකදී ආහාර ගැනීමේදී විශේෂ විෂබීජයක් ශරිරගත නොවන බවයි. මළ ගෙදරකට සහභාගි වී මුහුණ සේදීම හෝ ස්නානය කිරීම මඟින් සාමාන්‍ය ශාරීරික පිරිසිදු බවක් සුපුරුදු ලෙස ලැබෙන අතර විශේෂ වූ ආරක්ෂණයක් අදාළ නොවන බවත්ය.

නමුත් ප්‍රයෝගික තත්ත්වයන් සලකා බලන විට, මළගෙදරක් වැනි බොහෝදෙනා ගැවසෙන ස්ථානයක විිවිධ පුද්ගලයන් අතින්, අවම පහසුකම් යටතේ, අවම පිරිසුදු තත්ත්වයන් යටතේ සිදුවිය හැකි “ආහාර නරක් වීම්” හෝ ආහාර මඟින් විෂබීජ ශරීරගතවිම් සිදුවිය හැකි බවයි. මඟුල් ගෙදර, උපන්දින සාද ආදියේදී පවා ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් අපි අත්දැක තිබෙනවා. ඔබට මතක ඇති. මේ නිසා මූලික සෞඛ්‍ය පුරුදු පිළිබඳ නොසැලකිල්ල, සමහරවිට නිසිපරිදි අත් සෝදන්නේ නැති වීම, වතුර උණුකර නිවා නොගෙන පානය කිරීම ආදිය නිසා නම් මෙවැනි ස්ථානවල ආහාර ගැනීම අශුභ වන්නට පුළුවන්. ඒ වාගේම “තෙල් ආහාර පිසීම” හා අනුභවය වෛද්‍ය විද්‍යාත්මක කාරණයකට වඩා සමාජ චාරිත්‍රයක් වීමේ ඉඩකඩ වැඩි වෙනවා. තෙල් ආහාරයක් පිසීමේදී ඇතිවන “සුවඳ” විශේෂයෙන් ආහාර රුචිය වඩවන සුවඳ මළ ගෙදරකට නුසුදුසු තත්ත්වයක් ඇති කරනවා වන්නට පුළුවන් වනවා. ඒ වාගේම තෙල් බැදුම් හා ඇසට නොපෙනන යක්ෂ පේ‍්‍රත වැනි විශ්වාසයන් අතර ඇති සමාජ සම්මතයන් ද ඒ සඳහා බොහෝ සේ ඉවහල් විය හැකි වනවා.

ඉතිං, මළගෙදරකදී ආහාර අනුභවය මළ ගෙදරක ගිය පසුව ස්නානය කිරීම හා ඒ හා සම්බන්ධ විෂබීජ පිළිබඳ වූ විශ්වාසයන් ගැන සරල දැනුමක් පාඨක ඔබට ලැබෙන්නට ඇති.