පිළිකා රෝගීන්ගේ ජීවිත සුරකින ඇටමිදුළු බද්ධය දැන් මහරගම අපේක්ෂා රෝහලේදී

පිළිකා රෝගීන්ගේ ජීවිත සුරකින ඇටමිදුළු බද්ධය දැන් මහරගම අපේක්ෂා රෝහලේදී

මෙය අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ජයග්‍රහණයන් රැසක්ම අත්පත්් කරගත් කාලවකවානුවක් ලෙස ඉතිහාසයට එක්වනු නොඅනුමානය. පළමු හදවත් බද්ධය,පළමු පාද බද්ධය අපේ රටේ රෝහල් තුළ සිදුවූයේ පසුගිය මාසයේදීය. මේ ජයග්‍රහණයන් අතරට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් එක් කරන්නට අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සමත් වී ඇත. ඒ ඇටමිදුළු (Bone marrow)  බද්ධ කිරීමය. මෙවැනි සැත්කමක් ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක් තුළ දී ප්‍රථම වරට සිදුවූයේ 2016 දෙසැම්බර් මස 01 වැනිදාය. ඒ, මහරගම “අපේක්ෂා” රෝහල (මහරගම පිළිකා රෝහල) තුළදීය. මෙවැනි සැත්කමක් කොට ජීවිතය බේරා ගැනීම සඳහා මීට පෙර ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, වැනි රටකට යාම අවශ්‍ය විය. ඒ සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය විය. එවැනි මුදලක් සොයා ගැනීමට නොහැකි වූ රෝගීන්ට සිදු වූයේ ජීවිතයට සමුදෙන්නටය. එහෙත් ඇටමිදුළු සම්බන්ධව ගැටලු ඇති වූ රෝගීන්ට ද දැන් ජීවිත අපේක්ෂාවක් තබාගත හැකිය. ඒ මහරගම අපේක්ෂා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක අප්‍රතිහත කැපවීම නිසාය. එම කාර්ය මණ්ඩලයයේ බොහෝදෙනෙක් තම සේවය ලබා දෙන්නේ තම මූලික රාජකාරියට අමතරවය. සතයකවත් මූල්‍ය අපේක්ෂාවකින් තොරවය. මෙම කාර්යයේ වටිනාකම වඩාත් අපට දැනෙන්නේ එබැවිනි. මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාකරන්නේ මහරගම “අපේක්ෂා” රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයකි.

ඇට මිදුළු බද්ධ කිරීම සිදුවන්නේ අපේක්ෂා රෝහලේ “රසාවි” ලෙස හැඳින්වෙන අති නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ලේ 6 වැනි මහලේය. බාහිර පෙනුමෙන් මෙන්ම එය තුළ ඇති නවීන පහසුකම් වලින් පවා “රසාවි” බටහිර රටක අති නවීන රෝහලකට සමානය. මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ පරිත්‍යාගයෙන් ඉඳි වූවකි. ලන්ඩනයේ “අහමඩ් ටී” ආයතනයේ සමාජ සත්කාර ඒකකයේ පරිත්‍යාගයක් ලෙස පිහිටවූවකි. මෙම විශේෂ ඒකකයේ සේවය කරන 16 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලය ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර ST. VINCENT’S රෝහල තුළදී විශේෂ පුහුණුවක් ලද පිරිසකි. මෙම කණ්ඩායමට අපේක්ෂා රෝහලේ අනෙකුත් අංශයන්ගෙන් ලැබෙන්නේ නොමද සහයකි. එසේ නොවන්නට මෙම සේවාව කළ නොහැකිය.

ඇට මිඳුළු යනු මෙනාවාද?

අපේ රුධිරය ප්‍රධාන සංඝටක තුනකින් සමන්විතය. ඒ රතු රුධිරානු, සුදු රුධිරානු සහ පට්ටිකා ලෙසය. අපේ ජීවිතය පවත්වා ගැනීමට ශරීරයේ සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ගෙන යන්නේ රතු රුධිරානු හෙවත් රතු සෛලය. සුදු රුධිරානු බාහිරින් අපේ ශරීරයට එල්ලවන ආසාදනයන් වැනි උපද්‍රව වලින් අපව ආරක්ෂා කර දෙයි. තුවාලයක් වැනි දෙයක් සිදු වූ විට ලේ කැටි ගස්වා තුවාලය සිදු වූ තැනින් ලේ වහනය නවත්වන්නේ පට්ටිකාය. අපේ නීරෝගී පැවැත්මට මෙම අංග තුනෙහිම නිරෝගී පැවැත්ම අත්‍යවශ්‍යය. මෙම කොටස් තුනම නිපදවෙන්නේ ඇට මිදුළු තුළ තිබෙන මූලික සෛල (Stemcells) තුළදීය. ඇට මිදුළු බද්ධයේදී සෑම විටම මූලික සෛල බද්ධ කරන්නේ ඒ නිසාය. රෝගී මූලික සෛල ඉවත් කර නිරෝගී මූලික සෛල රෝගියකුට බද්ධ කළ පසුව ඒවායින් ශරීරයට ලබා දෙන්නේ නිරෝගී රතු සෛලය, නිරෝගී සුදු සෛලය, නීරෝගී පට්ටිකාය.

ඇට මිදුළු රෝගී වෙන්නේ කෙසේද?

ඇට මිදුළු රෝගී වීමට හේතු දෙකක් ඇත. ඉන් පළමුවැන්න පිළිකාමය නොවන හේතුය. දෙවැන්න පිළිකාමය හේතුය. පිළිකාමය නොවන හේතූන් සඳහා ප්‍රධාන වශයෙන්ම බලපානු ලබන්නේ ජානමය සාධකයන්ය. තැලසීමියාව, Aplasticanemia ඒ සඳහා උදාහරණයන්ය. මයලෝමා (Myeloma),, ලිමිෆෝමා (Lymphoma)  ඇතැම් ලියුකේමියා වර්ග (Leukaemla),, ළමා අවධියේදී ඇතිවන ඇතැම් පිළිකා, පිළිකාමය තත්ත්වයන් මඟින් ඇට මිදුළු රෝගී වීමෙන් ඇතිවන තත්ත්වයන්ය.

ඇට මිදුළු රෝගී වූ විට පෙන්වන රෝග ලක්ෂණ?

ඇට මිදුළු රෝගී වූ විට රතු සෛල, සුදු සෛල සහ රුධිර පට්ටිකාවල ගැටලු ඇති වේ. රතු සෛල විනාශ වීම නිසා හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වේ. රක්තහීනතාවය යනු එයයි. එහි ප්‍රතිඵලයක් වන්නේ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමය. ශරීරය සුදුමැලි වීම, හුස්ම ගැනීමේ අපහසුව ශරීරය බොහෝ දුර්වර්ණ වීම, අලස බව, අධික කම්මැලි ස්වභාවය රක්තහීනතාවයේ රෝග ලක්ෂණයන්ය. හොඳ ක්‍රියාශීලීව සිටි තම දරුවා “දැන් සෙල්ලම් කරන්න උනන්දුවක් නෑ. හරිම කම්මැලියි.” යනුවෙන් ඇතැම් අම්මලා වෛද්‍යවරුන්ට පවසන්නේ ඇතැම් විට මෙම රක්තහීනතාවය නිසා වන්නට පිළිවන. ඇතැම් විට මේ තත්ත්වයට හේතුව ලියුකේමියා රෝගය වන්නට ද පිළිවන. රුධිර පරීක්ෂණ වාර්තාවකින් සහ රෝග පරීක්ෂාවකින් වෛද්‍යවරයෙකුට රෝගී තත්ත්වය කුමක්ද යන්න වටහා ගත හැකිය.

රුධිරයේ සුදු සෛල වල ගැටලුවක් ඇති වූ විට ඉතාම පහසුවෙන් ආසාදනවලට ගොදුරු වේ. පිටතින් එන විසබීජ නිසා පහසුවෙන් නිතර නිතර රෝගී වේ. එසේම රුධිර පට්ටිකාවල ගැටලුවවක් මතු වූ විට සුළු සීරීමකදී පවා සිදුවන රුධිර වහනය නවත්වා ගැනීම ඉතා අපහසු වේ. ඒ, රුධිරය කැටි ගැසීම සිදුවන්නේ නැති නිසාය. මෙම ලක්ෂණයන් ද ඇට මිදුළු රෝගී වූ විට පෙන්නුම් කරන රෝග ලක්ෂණයන්ය. මේවා බොහෝවිට ලියුකේමියා රෝගයේ රෝග ලක්ෂණ විය හැකිය. මීට අමතරව නිතර ඇතිවන උණ, ශරීරය කෙට්ටු වීම අස්ථිවල ඇතිවන අධික වේදනාව ඇට මිදුළු රෝගී වූ විට ඇතිවන රෝග ලක්ෂණයන් කීපයකි. ඇතැම් කුඩා දරුවන්ට ලියුකේමියා රෝගය ඇතැයි හඳුනාගන්නේ ටික දිනක පටන් පවතින පාදයක කොර ගැසීමක් සඳහා වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට ගිය විටය. ලියුකේමියා රෝගයේදී ඇට මිදුළු විනාශ වන නිසා අස්ථිවල අධික වේදනාවක් ඇති වේ. මෙය මයලෝමා රෝගයේ ද ප්‍රධාන ලක්ෂණයකි.

මෙම රෝග සඳහා ඇති ප්‍රතිකාර....

මේ සඳහා ඇති හොඳම ප්‍රතිකාරය වන්නේ රෝගී ඇට මිදුළු ඉවත් කර නිරෝගී ඇට මිදුළු බද්ධ කිරීමය, නැවත ශරීරයට ඇතුළු කිරීමය. බද්ධ කිරීමක් ලෙස සඳහන් කළ ද මෙය හෘදයබද්ධ, වකුගඩු බද්ධය නැතිනම් අත පය බද්ධය වැනි සැත්කමක් මඟින් කරන බද්ධ කිරීමක් නොවේ. මෙය සිදු කරන්නේ රුධිර පාරවිලයන ක්‍රමයක් මඟිනි. ශරීරයට රුධිරය ලබාදෙන අයුරින් මෙය සිදු කෙරේ. ඇට මිදුළු බද්ධය සඳහා ශරීරයේ කොටස් විවෘත කිරීමක් සිදු නොවේ.

ප්‍රධාන වශයෙන්ම මෙම ඇට මිදුළු බද්ධය ආකාර දෙකකින් සිදු කෙරේ. එහි පළමුවැන්න ස්වයං ඇට මිදුළු බද්ධයයි. මෙහිදී රෝගී ඇට මිදුළු ශරීරයෙන් ඉවත් කර රෝගියාට නැවත ශරීරගත කරන්නේ රෝගියාගේම තෝරාගත් නිරෝගී ඇට මිදුළු ය. මෙය කළ නොහැකි නම් ඇට මිදුළු ප්‍රදානය කිරීමට කැමැති සුදුසු වෙනත් අයකුගෛ් නිරෝගී ඇට මිදුළු රෝගී පුද්ගලයාට බද්ධ කෙරේ. මෙහිදී රෝගියාගේ රුධිරයේ විවිධ ලක්ෂණයන් පටක ආදී කරුණු රැසක්ම ඇට මිදුළු දානය කරන්නාගේ රුධිරය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය වේ. මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලේදී සිදු කරන්නේ ස්වයං ඇට මිදුළු බද්ධය පමණි.

ඇට මිදුළු බද්ධ කිරීම සඳහා සාමාන්‍යයෙන් තෝරාගනු ලබන්නේ වයස අවුරුදු 60 ට අඩු රෝගීන්ය. වයස කිසියම් නිර්ණායකයක් වුවද වඩාත් වැදගත් වන්නේ මෙහිදී කෙරෙන ප්‍රතිකාර දරා ගැනිමේ හැකියාව රෝගියා සතු ද යන්නය. ස්වයං ඇට මිදුළු බද්ධය සඳහා අයකු තෝරා ගත් පසුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මඟින් පරීක්ෂණ කීපයකට මෙම රෝගියාව භාජනය කරනු ලැබේ. මෙහිදී ප්‍රධාන වශයෙයන්ම හෘදය, වකුගඩු, පෙනහළු, අක්මාව වැනි අභ්‍යන්තර ප්‍රධාන ශරීර අවයව නිරෝගී දැයි පරීක්ෂා කෙරේ. ඉන්පසුව කෙරෙන්නේ ඇට මිදුළු බද්ධ කිරීම සඳහා රෝගියාව සූදානම් කිරීමය.

රෝගියා සූදානම් කරන්නේ කෙසේද?

මෙහිදී වැඩිම වගකීම පැවරෙන්නේ අපේක්ෂා රෝහලේ රුධිර පාරවිලයන අංශයටය. එම වගකීම් සහිත කටයුතු සියල්ල සිදුවන්නේ රුධිර පාරවිලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක මහත්මියගේ ඍජු අධීක්ෂණය යටතේය. මෙම අංශයට යැවීමට ප්‍රථම රෝගියාගේ පිළිකා සෛල විනාශ කිරීම සඳහා CT ප්‍රතිකාර (Chemotherapy පිළිකා සෛල නාශක ඖෂධ) ලබා දේ. ඉන්පසුව රෝගියාව රුධි පාරවිලනය අංශයට යොමු කෙරේ. එහිදී නිරෝගී මූලික සෛල වෙන් කරගනු ලබන්නේ අති නවීන සුවිශේෂී යන්ත්‍රයක ආධාරයෙනි. තෝරාගත් නීරෝගී මූලික සෛල ප්‍රමාණවත් නැතිනම් නැවතත් මූලික සෛල වෙන්කර ගැනීමක් සිදු වේ. බද්ධ කිරීමට මූලික සෛල ප්‍රමාණවත් වූ පසුව ඇට මිදුළු බද්ධ කිරීම සඳහා රෝගියාව සූදානම් කෙරේ. ඒ සඳහා සුදුසු දිනය උදාවන තෙක් තෝරාගත් නීරෝගී ඇට මිදුළු ගබඩා කෙරෙන්නේ සෙල්සියස් අංශක ඍණ 80 ක උෂ්ණත්වයක් යටතේය. මේ සඳහා උපරිම දායකත්වය ලබා දෙන්නේ නාරාහේන්පිට ජාතික ලේ බැංකුව මගිනි.

බද්ධ කිරීමේ දිනය උදා වූ විට සකස් කරගත් නිරෝගී ඇට මිදුළු ශරීර උෂ්ණත්වයට පත් කිරීමෙන් පසුව රුධිර පාරවිලයන ක්‍රමය මඟින් රෝගියාගේ ශරීරයට ඇතුළු කෙරේ. ඉන් අනතුරුව ඖෂධීය ප්‍රතිකාර රැසක්ම ලබා දේ. රෝගියාව රැඳවෙන්නේ විශේෂයෙන් සැකසූ කාමරයක් තුළය. සුවිශේෂී තත්ත්වයන් යටතේය. මේ සඳහාම විදෙස් පුහුණුව පවා ලැබූ මෙම ඒකකය භාර හෙද නිළධාරිනී දීප්තිකා කුමාරි ගුණවර්ධන මහත්මිය ඇතුළු කාර්යමණ්ඩයක් කැපවී සිටිති. ඉහත ක්‍රියාවලිය තුළදී ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර, රක්තවේදී විශේෂඥ වෛද්‍ය සෂිකලා සුරේෂ් යන වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය නිබඳවම සිදුවේ.

මේ වනවිට මහරගම අපේක්ෂා රෝහල තුළදි සාර්ථක ඇට මිදුළු බද්ධ කිරීම් 11 ක් සිදුකර ඇත. පසුගියදා අප එහි යනවිට සූදානමින් සිටියේ 12 වැන්නාය.

බද්ධ කිරීමේ ප්‍රතිකාරවලින් පසුව බොහෝ කාලයක් අදාළ සායනවලට සහභාගී වීම අත්‍යවශ්‍ය වේ. මෙවැනි රෝගීන් පිළිබඳව ජීවිත කාලය පුරාම අවධානයෙන් පසුවීම රෝගීන්ගේ ඥාතීන්ගේ වගකීමකි. මෙම බද්ධ කිරීමේ ප්‍රතිකාරවලට යොමු වුණු 11 දෙනාම ඉතාම සුවයෙන් පසුවීම අපේ වෛද්‍යවරුන්ගේ මෙන්ම කාර්යමණ්ඩලයේ දැඩි කැපවීමට, හැකියාවට හොඳම සාක්ෂියයි.