විදුරුමස් රෝගවලට නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්

විදුරුමස් රෝගවලට නිසි ප්‍රතිකාර නොකළහොත් හෘදයාබාධ ඇතිවීමේ අවදානමක්

දන්ත ශල්‍ය වෛද්‍යවරයා වෙත පැමිණි රෝගී කාන්තාව ශල්‍ය වෛද්‍යවරයා අසල වූ අසුනේ ඉඳගත්තාය.

“මොකක්ද අසනීපෙ? කෝ කට අරින්න බලන්න...”වෛද්‍යවරයා පැවසුවේය.

කාන්තාව යන්තම් දත් ටික පෙනෙන තරමට මුව විවෘත කළාය.

“ඔහොම නෙමෙයි. හොඳට කට අරින්න.”එවර කාන්තාව කට ඇරියේ මෝය කටක් තරමටය.

“නැහැ.... නැහැ... ඔච්චර ඕන නැහැ.. මං ඕක ඇතුළට බහින්නෙ නැහැ...”

වෛද්‍යවරයා සිනාසෙමින් පැවසුවේය. කිසියම් රෝගයකට මුඛයේ ගැටලුවකට පමණක් නොව වෙනත් රෝගයකට වුව වෛද්‍යවරයකු වෙත ගිය විට මුඛය විවෘත කරන ලෙස වෛද්‍යවරයා ඔබට පැවසීම සාමාන්‍ය දෙයකි.

වෛද්‍යවරයා ඔබගේ මුඛය දෙස බලා තීන්දු තීරණ කිහිපයක් ගනු ඇත. මුඛයේ අපිරිසිදුකම මත ඔබේ සමස්ථ සෞඛ්‍යයේ සහ ස්වස්ථතාවයේ දුර්වලකම් ගැන ඔහුට නිගමනය කළ හැකිය. එපමණක් නොව මඟ එන හෘදයාබාධයක් ගැන යම් ඉඟියක් ලැබීමට ද ඔහුට ඉඩ තිබිය හැකිය. මුඛය හා දිවේ පැහැය රක්තහීනතාවය අඟවයි.

උගුරේ ඇති ග්‍රන්ථි ඉදිමීමක්, ලප හෝ බුබුළු මතුවීමක්, මුඛය තුළ විශේෂයෙන් කම්මුල්වල පැහැයේ අසමානතා තුළින් නොයෙකුත් තීරණ ගැනීමට වෛද්‍යවරයාට පුළුවන.

ඒත් දන්තශල්‍ය වෛද්‍යවරයා වෙත ගිය ඔබට “ආහ්...” කියන්න යයි දන්තශල්‍ය වෛද්‍යවරයා පවසන්නේ මුඛයේ ඇතිව පවත්නා ගැටලු විසඳීමටය.

මොනවද මේ ගැටලු?

විදුරුමස්වලින් ලේ ගැලීම

ඉදිමුණු, රතුපැහැ ගැන්වුණු සහ ලේ ගලන විදුරුමස් පැවතීමෙන් හඟවන්නේ විදුරුමස් රේඛාවට පහලින් දන්ත පථ, දත් මැලියම් සහ අශ්මය තැන්පත් වී ප්‍රදාහයට පත් වූ විදුරුමස්ය.වේලා ප්‍රදාහය ලෙස නම් ලබන මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකළහොත් තව තවත් බැක්ටීරියා ක්‍රියාත්මක වී පූර්ණ පරිදන්ත ප්‍රදාහයට වර්ධනය වී අවසානයේදී දත් ගැලවී යාමට හේතු විය හැකිය. එසේම දියවැඩියාව සහ ලියුකීමියාව ආදී රෝග අඟවන ඉඟියක් බවට ද මෙය පත්විය හැකිය.

විදුරුමස් ප්‍රදාහයෙන් මිදීමට මෙන්ම එය වළක්වා ගැනීමට ද ඔබට පුළුවන. ඒ සුදුසු දත් බුරුසුවකින් දවසට දෙපාරක් හොඳින් දත් මැදිමෙනි. මාස තුනකින් පසුව හෝ බුරුසුවේ කෙඳි නැමී යනවිට අලුත් බුරුසුවක් ගැනීම පමා නොකළ යුතු බව මතක තබාගන්න.

කට ගඳ ගැසීම

පරිදන්ත (විදුරුමස්) රෝග තත්ත්වයක බරපතලකම අඟවන ලක්ෂණයක් ලෙස කට ගඳ ගැසීම හැඳින්විය හැකිය. මෙයට ප්‍රධානම හේතුව වන්නේ ඔක්සිජන් වායුව රහිත ප්‍රදේශවල එනම් දත් අතර, විදුරුමස් රේඛාවට යටින් සහ දිව පිටුපස වෙසෙන නිර්වායු බැක්ටීරියා ගන්ධයක් සහිත වායු නිපදවීම නිසාය. මෙම නිර්වායු බැක්ටීරියා වර්ධනය පැවසුවොත් ඒවා රුධිර පද්ධතියට ද එක් වෙයි. එසේම හෘදයාබාධයක අනතුරු ඇඟවීමක් ද එමඟින් දැකිය හැකිය. ඇමරිකානු අධ්‍යයනයකට අනුව පරිදන්ත රෝග පවතින අයට හෘදයාබාධ ඇති වීමට පවත්නා අවදානම දෙගුණයකින් වැඩිය . දියවැඩියාව, අක්මා රෝග, පෙණහලු හා උගුරේ පිළිකා ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදු කිරීමට ද කට ගඳ ගැසීම සමත්ය.

කට වියළීම

කට වියලීම තවත් මුඛ රෝගයක් ලෙස සැලකිය හැකිය. එයට මුල්වන හේතු අතර ඛේට ග්‍රන්ථි තුළින් අවශ්‍ය තරම් කෙළ නිපද නොවීමත්, පිළිකාව සඳහා විකිරණ ප්‍රතිකාර ලැබීමත්, මුඛය තුළින් හුස්ම ගැනීම, දුම්පානය, මත්පැන් පානය සහ කෝපි වැනි කැෆේන් අධික පාන ගැනීම වැනි හේතූන්ය. සමහර ඖෂධ ගැනීම නිසාද මේ තත්ත්වය ඇතිවෙයි.

කට වියළීයාම දියවැඩියාව රෝගය අඟවන සාධකයක් ලෙසද සැලකෙයි.

මේ සියලු ගැටලු සඳහා ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් නිගමනය කරන්නේ ඔබ හොඳින් කට ඇරීමෙන් සහ සියලු ගැටලු කට ඇර ප්‍රකාශ කිරීමත් මඟින් පමණය.