මත්පැන් පානය නිසා හෘද වස්තුවට හානිවිය හැකියි

මත්පැන් පානය නිසා හෘද වස්තුවට හානිවිය හැකියි

කොතළාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ

කථිකාචාර්ය සහ

හෘද රෝග විශේෂඥ වෛද්‍ය

නාමල් විජේසිංහ

ආහාරයක් නොවුනත් අප රටේ සමහර අය නිරතුරුවම පානය කිරීමට හුරු වී ඇති බැවින් පමණට වඩා මත්පැන් පානයෙන් හදවතට සිදුවෙන හානිය පිළිබඳවත් බොහෝ දෙනා දැනුවත් නැහැ

ඉඳහිට මත්පැන් ස්වල්පයක් පානය කළාට එසේත් නැතිනම් රතු වයින් ටිකක් පානය කළ විට හදවතට හොඳයැයි බොහෝ දෙනෙකු විශ්වාස කරනවා. රතු වයින් හෝ අනෙකුත් කුමන මත්පැන් වර්ගයක් හෝ ඉතා සුළු ප්‍රමාණවලින් දිනපතා පාවිච්චි කිරීමෙන් රුධිරයේ හිතකර ඩ්ච්ඹ් කොලොස්ටරෝල් සාන්ද්‍රණය යම් ප්‍රමාණයකින් ඉහළ යන බව සත්‍යයක්. නමුත් මත්පැන් පානය නිසා හෘදයේ පමණක් නොව ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියයන් ගණනාවකට ඇති විය හැකි රෝග තත්ත්වයන් හා සලකා බලන විට හදවතට හොඳ යැයි කියා කිසිවකු හෝ මත්පැන් පානය කිරීම අනුමත කළ නොහැකියි. ඔබට රුධිරයේ ඩ්ච්ඹ් කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අඩු කර ගැනීමට අවශ්‍ය නම් කළ යුතු හොඳම දෙය වන්නේ දිනපතා ව්‍යායාමයක නිතර වීමයි.

අධික ලෙස මත්පැන් පානය කරන අයගේ රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය ඉහළ යයි. මේ නිසා හෘදයාබාධයක් ඇති වීමට තිබෙන ප්‍රවනතාවය වැඩි වේ. එමෙන්ම එලෙස මත්පැන් පානය කරන අය මත්පැන් සමඟ කෑමට ගන්නා කටගැස්ම වනුයේ තෙල් අධික ආහාර වන බැදපු මස්, බිත්තර ඔම්ලට්, බැදපු කඩල, සොසේජස් වැනි දෑ නිසා සිරුරේ බර වැඩි වීමත්, සිරුරේ කෙලෙස්ටරෝල් සාන්ද්‍රාණය වැඩි වීමත් වක්‍ර ආකාරයෙන් හදවත් රෝගී වීමට බලපා ඇත. එමෙන්ම වැඩි වශයෙන් මත්පැන් ගත් විට එය හෘද පේශියේ ක්‍රියාකාරිත්වය දුර්වල කිරීමට හේතුවක් වේ. එ නිසා හෘදයට කාර්්‍යක්ෂම ලෙස රුධිරය පොම්ප කිරීමට නොහැකි වීමත් හෘදය වස්තුව දුර්වල වීමත් සිදු වේ. එසේම අධික ලෙස මත්පැන් පානය කරන අයගේ හෘද රිද්මයේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග ද වැඩියි.

මේ නිසා ඔබ මත්පැන් බොන අයෙකු නම් එය සම්පුර්ණයෙන්ම නවතා දැමිම හෝ හැකිතාක් සීමා කිරීම කළ යුතුයි. ඔබ මත්පැන් පානය නොකරන අයකු නම් හදවතට හොඳක් වේ යැයි සිතා හෝ වෙනත් කුමන හෝ හේතුවක් නිසා හෝ මත්පැන් පානය කිරීම අරඹන්න එපා.

නිවසේ හදවත් රෝගියකු සිටින වට ඔහුට හෝ ඇයට වෙනම ආහාර පිළියෙළ කර නිවෙසේ අනෙකුත් අයට තමන්ට කැමති ආකාරයට ආහාර පිළියෙල කර ගන්නවා අප දැක තිබෙනවා. ඔබ මෙය දුර දිග නොසිතා කරන දෙයක්. මඳක් සිතා බලන්න. නිවසේ සියලුම දෙනා ගත යුත්තේ එකම ආහාර වේලක් නොවේද? එය සෑම දෙනාගේම සෞඛ්‍යය ආරක්ෂා කරන පෝෂ්‍යදායී ආහාර වේලක් විය යුතුයි. හෘද රෝගීන් කියා වෙනම ආහාර පිළියෙළ කිරීමක් අවශ්‍ය නැහැ. අද හෘද රෝගියකු නොවෙන අයකු හෙට දිනයේ හෘද රෝගියකු විය හැකියි. විශේෂයෙන්ම තම පවුලේ අයකුට හෘද රෝ්ගයක් සෑදී ඇත්නම් අනෙකුත් අයට ද එවැනි රෝගයක් වැළඳීමේ අවදානමක් තිබිය හැකියි. මේ නිසා පවුලේ සියලු දෙනා සීනි, තෙල් සහ ලුණු අඩුවෙන් යෙදු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු විය යුතු අතර හෘද රෝගීන්ට වෙනම ආහාර පිළියෙළ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.

බොහෝ දෙනෙකු සිතා සිටින්නේ හෘද රෝගයක් වැළඳුන පසු ආහාරවලින් දැඩි ලෙස ප්‍රවේශම් වී බඩගින්නේ සිටිමින් හෝ නීරස ආහාර භුක්ති විඳිමින් මුළු ජීවිත කාලයම දුක් විඳිය යුතුයි කියලයි. එහෙත් එය එසේ නොවන බව වැටහී යනු ඇති. හෘද රෝගීන් සමබර, පෝෂ්‍යදායී, රසවත් ආහාර වේලකින් දිනපතා ප්‍රධාන ආහාර වේල් තුනම හොඳින් කුසගිනි නිවාගත යුතු අතර නියමිත වෙලාවට ආහාර ගැනීමත් වැදගත් වෙනවා. අවශ්‍ය වන්නේ ආහාරයේ ඇති සෞඛ්‍යයට අහිතකර සංඝටක වන සීනි, තෙල් සහ ලුණු අඩුකර ඒ වෙනුවට සෞඛ්‍යයට හිතකර දේ වැඩිකර ගැනීමයි. මෙසේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම හෘද රෝගීන්ට මෙන්ම හෘද රෝගීන් නොවෙන අයට ද එක සේ වැදගත්. ඒ අනාගතයේ ඔවුන්ට වැළඳීමට ඉඩ ඇති හදවත් රෝග මෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි රෝග තත්ත්වයන්ගෙන් වැළකී සිටීමටයි.

මෙසේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් භුක්ති විඳින අතර දිනපතා ව්‍යායාමක නිරත වීමටත් අමතක කරන්න එපා. එවිට ඔබ සැවොම අපේක්ෂා කරන නිරෝගී ජීවිතයක් ගත කිරීමේ සතුට ඔබටත් ලැබෙනු ඇති.

ආහාර වර්ග කිහිපයක ඇති කැලරි ප්‍රමාණය දළ වශයෙන්

ආහාර ග්‍රෑම් 100ක තිබෙන කැලරි ප්‍රමාණය

බත් - රතු කැකුලු 100 - 120

බත් - බාස්මතී 120 - 150

පාන් 280 - 290

රොටි 230 - 250

දුඹුරු පාන් 235 - 240

ඉඳි ආප්ප 240 - 250

නූඩ්ල්ස් 100 - 110

ඉරිඟු 60 - 80

කඩල 100 - 110

හරක් මස් 280 - 320

කුකුළු මස් 110 - 230

මාළු 100 - 180

පරිප්පු 110 - 120

අල 75 - 85

බෝංචි 30 - 35

කැරට් 35 - 45

පිපිඤ්ඤා 10 - 12