නිවාරක ඉන්හේලරය මඟින් මට සුවයක් නෑ

නිවාරක ඉන්හේලරය මඟින් මට සුවයක් නෑ

මාවනැල්ල ගමගේ රෝහලේ

ජ්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ ගමගේ

ඇදුම කියන්නේ අද බොහෝ දෙනා පීඩා විඳින රෝගයක්. පාරිසරික හේතුන්, ජානමය හේතුන් මත මේ රෝගය ඇතිවෙනවා පමණක් නොව ඇතැම් කාලගුණික තත්ත්වය හේතුවෙන් රෝගය උත්සන්න වීමට තිබෙන අවස්ථාද එමටයි. මේ ඇදුම රෝගය පිළිබඳ “ආරෝග්‍යා” පාඨකයන් නිරන්තරයෙන් එවන ගැටලු රාශියක් තිබෙන අතර මෙවර අපේ පාඨකයන්ගේ ගැටලුවලින් කිහිපයක් මෙවර පිළිතුරු සමඟ පළකරන්නට සිතුවේ ඔබගේ සුව දිවිය උදෙසා. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ආරියසේන යු. ගමගේ අපට පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්නය - නිවාරක ඉන්හේලරය මගින් මට සුවයක් නෑ?

පිළිතුරු - මෙය බොහෝ දෙනෙකුට ඇති වන ගැටලුවක්. නිවාරක ඉන්හේලරය භාවිත කළ වහාම ඇදුම රෝග ලක්ෂණ පහවී යා යුතු යැයි බොහෝ රෝගීන් බලාපොරොත්තු වෙනවා. මෙය වැරැදි මතයක්. භාවිත කළ විගස සහනයක් ලැබෙන්නේ නිල් පාට සමනක ඖෂධ ඉන්හේලරය භාවිත කළ විට පමණයි. රතු හෝ දුඹුරු පාටින් යුත් නිවාරක ඖෂධ මඟින් කරනු ලබන්නේ දීර්ඝ කාලීන ලෙස බලපවත්වමින් ශ්වාසනාලිකාවල බිත්තියේ ඉදිමුම අඩු කිරීමයි. ප්‍රදාහ තත්ත්වය ක්‍රමයෙන් අඩු කිරීමයි. එබැවින් වෛද්‍යවරයා නියම කළ නිවාරක ඖෂධ මාත්‍රාව නියම කළ පරිදි උදේ සහ සවස දිනපතා ම භාවිත කිරීම ඉතා වැදගත්. ඇදුම වැඩි වූ විට දී එය නැවත භාවිත කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ.

ප්‍රශ්නය - ප්‍රතිකාරය නිසා ඇදුම රෝගය සුව වුණා කියා දැනගන්නේ කොහොමද?

පිළිතුර - නිවාරක ඖෂධ (ආඝ්‍රාණකය) සති දෙක තුනක් ගන්නා විට ඔබේ ඇඟට සුවයක් දැනේවි. ඇදුම ගතිය ඇති වන වාර ගණන අඩු වී යාවි. හතිය, පපුවේ තද ගතිය, කැස්ස සහ රාං රූං ශබ්දය ඇති වුණත් එහි තදබල ගතිය අඩු වී ඇති බව ඔබට දැනේවි. ඒ නිසා ඔබ භාවිත කරන සමනක ඖෂධ ප්‍රමාණය හෝ සමනක ආඝ්‍රාණක වාර ගණන වෙනදාට වඩා පැහැදිව ම අඩු වේවි. ඔබ ආරක්ෂක ඖෂධ ද භාවිත කළේ නම් සුව වීමේ ශීඝ්‍රතාව ඉක්මන් වේවි.

ප්‍රතිකාරය නිසා ඔබ කෙතරම් දුරට සුව වුවා දැයි පැහැදිලිව ම දැනගත හැකි විද්‍යාත්මක ක්‍රමය නම් උපරිධාරාවේගමානයේ මනු කියවීම් සටහනක් පවත්වාගෙන යාමයි.

උපරිධාරාවේගය වැඩි වෙමින් එය සාමාන්‍ය මට්ටමට පත් වේ නම් ඔබ සුවපත් වී ඇති බව එමඟින් දැනගත හැකියි.

ප්‍රශ්නය - ස්ටීරොයිඩ් ඖෂධ භාවිත කිරීම භයානකලු නේද?

පිළිතුර - විවිධ වර්ගයේ ස්ටීරොයිඩ් ඖෂධ තිබෙනවා. සමහර ස්ටීරොයිඩ අප ශරීරයේ නිෂ්පාදනය වෙන ඒවා. අධිවෘක්ත ග්‍රන්ථියේ නිෂ්පාදනයවන කෝටිකෝ ස්ටීරොයිඩ්, වෘෂණ කෝෂ සහ ඩිම්බකෝෂවල නිෂ්පාදනය කරන ස්ත්‍රී සහ පුරුෂ හෝමෝන මේ කාණ්ඩයට අයත් වෙනවා.

ඖෂධ හැටියට භාවිත කරන බොහෝ ස්ටීරොයිඩ් පවුල් සැලසුම් පෙතිවල, චර්ම ආලේපනවල මෙන් ම හන්දිපත් රෝගවලට සහ ඇදුමට ලබා දෙන ප්‍රතිකාරවලත් දක්නට ලැබෙනවා. ඒවා වෛද්‍ය උපදෙස් වලට අනුව භාවිත කළාට වරදක් සිදු වෙන්නේ නැහැ. ඒත් ක්‍රීඩකයන් සහ කායවර්ධකයන් (Body Builders) විසින් භාවිත කරනු ලබන ඇනබොලික් ස්ටීරොයිඩ් ඖෂධ ශරීරයට අහිතකර ලෙස බලපාන්නට පුළුවනි.

ඇදුම රෝගයේ දී ආඝ්‍රාණක ලෙස භාවිත කරනු ලබන ස්ටීරොයිඩ ඖෂධ මාත්‍රාව ඉතා සුළු (මයික්‍රොග්‍රෑම්) ප්‍රමාණයක්. එය කෙළින් ම පෙණහලුවලට උරාගන්නවා මිස රුධිරයට උරාගනු ලබන්නේ ඉතා සුළු ප්‍රමාණයක්, කෙසේ වෙතත් ප්‍රෙඩිනිසිලෝන්, ඩෙක්සමෙතසෝන් සහ සෙලෙස්ටෝන් වැනි ඖෂධ පෙති වශයෙන් හෝ සිරප් වශයෙන් වෛද්‍ය උපදෙස්වලින් තොරව දිගටම භාවිත කිරීම නිසා දරුවන් ගේ වැඩීම බාල වීමටත් ඇට දුර්වල වීමටත්, ලෙහෙසියෙන් වෙනත් රෝගවලට ගොදුරු වීමටත්, “කුශීන් සින්ඩ්‍රෝම්” නමැති රෝගය හටගැනීමටත් පිළිවන්. එබැවින් එවැනි ඖෂධ හිතුමතේ දිගට ම භාවිත කිරීම සිරුරට අහිතකරයි.

ප්‍රෙඩ්නිසොලොන්,සෙලෙස්ටොන් බඳු ස්ටීරොයිඩ් කාණ්ඩයට අයත් ඖෂධ පෙති භාවිත කරන අය දැනගත යුතු තවත් විශේෂ කරුණක් ඇත. එනම් ඒ ඖෂධ ගැනීම එකවර නැවැත්වීම නුසුදුසු බවයි. ස්ටීරොයිඩ් ඖෂධ ගැනීම නැවත්වූ විට ඒ හෝමෝනය සිරුර තුළ ස්වාභාවික ලෙස හටගැනීමට කලක් ගත වේ. ඒ කාලය තුළ දී ශරීරයට අප්‍රාණිකත්වය, තෙහෙට්ටුව, ඇඟපතේ වේදනාව, උණ සහ වෙනත් රෝග ලෙහෙසියෙන් හටගැනීමට පුළුවන. එබැවින් ස්ටීරොයිඩ් පෙති නැවැත්විය යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව මාත්‍රාව ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමෙනි.

ප්‍රශ්නය - ඇදුම ඖෂධ දිගට ම ගැනීම නිසා එයට ඇඟ පුරුදු වී ප්‍රතිකාරයේ බලය අඩු වී යා හැකි ද?

පිළිතුර - නැහැ. එහෙම වෙන්නෙ නැහැ. විශේෂයෙන් ම නිවාරක සහ ආරක්ෂක ඖෂධ සති කිහිපයක් ගත්තත්, මාස කිහිපයක් ගත්තත්, අවුරුදු කිහිපයක් ගත්තත් එහි ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිවාරක සහ ආරක්ෂක ඖෂධ භාවිත කිරීම සඳහා ඇදුම උත්සන්න වෙන තුරු ඉන්න එපා. නිවාරක ඖෂධවල අරමුණ අනාගතයේ දී ඇදුම හටගැනීම වැළැක්වීමයි. නිවාරක සහ ආරක්ෂක ඖෂධ ගනිමින් සිටින අතරතුර ඇදුම ලක්ෂණ මතු වුණොත් සමනක ඖෂධ භාවිත කළ යුතුයි.

කෙසේ වෙතත් දවසට දෙවරක් හෝ තුන්වරක් සමනක ආඝ්‍රාණකය භාවිත කරන්නට සිදු වේ නම් ඒ බව වෛද්‍යවරයාට පැවසිය යුතුයි. එවිට ඔබට ගැලපෙන අයුරින් නිවාරක සහ ආරක්ෂක ඖෂධ වෛද්‍යවරයා විසින් වැඩි කර ලබා දේවි.

ඇදුම පාලනය වූ පසු වෛද්‍යවරයා නැවත ඖෂධ ප්‍රමාණය අඩු කරාවි.

මෙහි දී වැදගත් වන්නේ නිවාරක සහ ආරක්ෂක ඖෂධ වෛද්‍ය උපදෙස් අනුව දිගට ම භාවිත කිරීමයි. හිතුමතේට අතරමඟ නතර කිරීම සුදුසු නෑ.

ප්‍රශ්නය - සමහර දිනවල දී මට නිවාරක ඖෂධය ආඝ්‍රාණය කිරීමට අමතක වෙනවා. ඒකට මොකද කරන්නෙ?

පිළිතුර - නිවාරක සහ ආරක්ෂක ඖෂධවලින් උපරීම පල නෙළා ගැනීමට නම් ඇදුම පැමිණ ඔබට මතක් කරන තුරු නොසිට ඒවා දිනපතා ම උදේ රාත්‍රි හෝ වෛද්‍යවරයා විසින් නියම කළ පරිදි භාවිත කළ යුතුමයි. ඒ සඳහා නිවාරක ඉන්හේලරය ඔබට මතක හිටින තැනක තැබීම නුවණට හුරුයි.

අප සැවොම අඩු තරමින් දවසට දෙවරක් වත් දත් සහ විදුරු මස් මැද මුඛය පිරිසිදු කරගන්නා නිසා නිවාරක හෝ ආරක්ෂක ඉන්හේලරයත් දත් බුරුසුව සහ දන්තාලේප ටියුබය සමඟ තැබීම මඟින් අමතක වීම නතර කළ හැකියි. එමෙන්ම ඖෂධය ආඝ්‍රාණය කිරීමෙන් පසු මුඛය සෝදා පිරිසුදු කරගැනීම නිසා උගුරේ හටගත හැකි දිලීර ආසාදනය ද වළක්වාලිය හැකියි.

ප්‍රශ්නය - ඇදුම නිට්ටාවට සුව කළ හැකිද?

පිළිතුර - බැහැ. ඇදුම රෝගය සඳහා බෙහෙතක් දෙකක් දීලා එය නිට්ටාවට සුව කරන්න බැහැ. එය සිරුරෙන් බැහැර වන තුරු දිගට ම ඖෂධ ගත යුතුයි. සමහර අයට අවුරුදු ගණනක් නොවැලඳී තිබී නැවත මතු විය හැකියි. ඇදුමෙන් පෙළෙන දරුවන්ගෙන් තුනෙන් පංගුවක් යොවුන් වියට පත්වෙන විට එය නැත්තට ම නැති වී යයි. තුනෙන් පංගුවකට නැවත ඇති විය හැකියි. ඉතිරි තුනෙන් පංගුවට දිගට ම ප්‍රතිකාර ගැනීමට සිදු විය හැකියි. සුව වන්නේ කාට ද? සුව නොවන්නේ කාට ද? කියා කල්තියා නිගමනය කිරීම අපහසුයි. කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ භාවිත කළොත් සුවපත් දිවියක් ගත කළ හැකි බව නම් ස්ථිර ව ම කිව හැකියි.

ප්‍රශ්නය - පරිසර හිතකාමි ඉන්හේලරයක් යනු කුමක්ද?

පිළිතුර - ආරම්භයේ දී ආඝ්‍රාණක ඉසින මෙවලම (ඉන්හේලරය) තුළ ඖෂධය සමඟ පිර වූ වායුව හැඳින්වුයේ CFC හෙවත් ක්ලොරො ෆ්ලුරො කාබන් (Chloro fluro carbons) ලෙසයි.

මේ වායුව අප සිරුරට හානිකර නොවුවත් එමඟින් අප පෘථිවිය වටා ඇති ඕසෝන් ස්තරයට හානි සිදු වී එහි සිදුරු ඇති කළ හැකි බව පසු කලෙක දී සොයගනු ලැබුවා.

එබැවින් නව ආඝ්‍රාණක ලෙස කුඩු ඉසින (Powder Inhaler) සහ පරිසරයට හානි නොවන වෙනත් වායු යෙදූ ආඝ්‍රාණක ඉන්හේලර නිපදවා තිබෙනවා. එවැනි ඉන්හේලරයන් “පරිසර හිතකාමි ඉන්හේලර” ලෙස හඳුන්වනු ලබනවා.

CFC වායුව සහිත ඉන්හෙලර භාවිතය අඩු කිරීම 1987 දී ආරම්භ වූ අතර 2005 වන විට ඒවා නිෂ්පාදනය සම්පුර්ණයෙන් නතර කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රශ්නය - උපරිවේගධාරාමානය මඟින් මනින්නේ කුමක්ද?

පිළිතුර - ඔබට කොයි තරම් වේගයකින් පෙණහලු තුළ ඇති වාතය පිට කළ හැකි දැයි උපරිවේග ධාරාමානය මඟින් මනිනු ලබනවා.

එමඟින් ඔබ ගේ ඇදුම රෝගය කොතරම් දුරට පාලනය වී ඇත්දැයි දැනගත හැකියි.

උපරිවේගධාරාමානය මඟින් ඇත්ත වශයෙන් ම මනිනු ලබන්නේ ශ්වාසනාලිකාවල ඇතුළත සිදුරේ ඉඩකඩ (අරය) මිස ඔබ ගේ පපුවේ පිහිටි පේශිවල ශක්තිය හෝ ඔබ ගේ සිරුරේ ශක්තිමත් භාවය නොවෙයි.

උපරිධාරාවේගය ස්ත්‍රි පුරුෂ භාවය, වයස සහ උස අනුව වෙනස් විය හැකියි. එය ගැහැනුන්ට වඩා පිරිමින් ගේ වැඩියි. හොඳම වේගය වාර්තා වන්නේ වයස අවුරුදු 30 සහ 40 අතර දී ය.

උපරිධාරා වේගය දවසේ උදේ කාලයේ දී අඩුවන අතර සවස් වන විට වැඩි වේ.