සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?

සැත්කමකින් ඉවත් කළ පසුවත් ගර්භාෂ ගෙඩි (ෆයිබ්‍රොයිඩ්) නැවත හට ගන්නවාද?

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

චාමින්ද කන්දඋඩ

කාන්තාවන් හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු සොයා බැලීමේදී බහුලව හඳුනාගත හැකි ගැටලුවක් වන්නේ ගර්භාෂ ගෙඩි නැතිනම් ෆයිබ්‍රොයිඩ්ස් ලෙස පොදු ව්‍යවහාරයේ හඳුන්වන බහුල සෞඛ්‍ය ගැටලුවයි.

ගර්භාෂ ගෙඩි කියන්නේ මොනවාද?

ගර්භාෂයේ පේෂියේ ඇතිවන වෙනස්වීමක් නිසා හටගන්නා ගෙඩි මෙනමින් එනම්, ෆයිබ්‍රොයිඩ්ස් ලෙස හැඳින්වේ.

බහුලව දැකගත හැකි මෙම තත්ත්වයේදී බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් ගර්භාෂ ගෙඩි ප්‍රමාණයෙන් විශාල වීම නිසා හෝ ගෙඩි හටගන්නා ස්ථානය අනුවත් ගැටලුකාරි ලක්ෂණ පෙන්විය හැක.

මඳසරුභාවය හා ගර්භාෂ ගෙඩි අතර සම්බන්ධයක් තිබෙනවාද?

බොහෝවිට මඳසරුභාවය සහිත කාන්තාවකට ගර්භාෂ ගෙඩි ඇති වී තිබේ නම් එය බොහෝවිට කලින් හඳුනා ගැනීම ද සිදුවිය හැකිය. ඒ, ඇය නිතර නිතර ස්කෑන් පරීක්ෂණවලට සහභාගි වීම හේතුවෙන්ය.

ෆයිබ්‍රොයිඩ් සහ මඳසරුභාවය අතර සම්බන්ධතාවයක් තිබිය හැක යනුවෙන් සඳහන් කළ ද ගර්භාෂ ගෙඩි සහිත සෑම අයෙකුගේම මඳසරුභාවයට එකම හේතුව එය නොවේ. එනම් ගර්භාෂ ගෙඩි සහිත සෑම කාන්තාවක්ම මඳසරුභාවයට ලක් නොවේ.

ගර්භාෂ ගෙඩියෙන් විශේෂ බලපෑමක් ඇති වනුයේ එහි පිහිටීම අනුවය. යම් අවස්ථාවක එය ගර්භාෂයේ ඇතුළත කුහරයට බාධා ඇතිවන ලෙස පිහිටීමෙන් පුරුෂ හා ස්ත්‍රී බීජ එකතු වීමට බාධා ඇති කළ හැක.

ඊට අමතරව ප්‍රධාන වශයෙන් සංසේචනය වූ කළලය ගර්භාෂයේ ඇතුළත තැන්පත් වීමට මින් බාධාවක් ඇතිවිය හැක. එසේම සංසේචනය වී ගර්භාෂයේ තැන්පත් වූ කළලය ටික දිනකින් ගබ්සා වීමටද ගර්භාෂ ගෙඩිවල පිහිටීම බලපෑමක් විය හැක.

එසේ වුවත් ගර්භාෂ ගෙඩියක් නැතිනම් ෆයිබ්‍රොයිඩ්ස් හඳුනාගත් සැණින් සැත්කමක් සිදු කිරිම අවශ්‍ය නොවේ.

මෙවැනි තත්ත්වයකදී ස්ත්‍රිය මෙන්ම පුරුෂයාට අදාළ මඳසරුභාවයට බලපාන සෙසු සියලු කරුණු කාරණාවලට පිළියම් යෙදීමෙන් පසුවත් මඳසරුභාවය හා බැඳුණු ගැටලුව තවදුරටත් පවතී නම් වෛද්‍යවරයා විසින් මෙම ගෙඩි ඉවත් කිරීමට තීරණය කරනු ලබයි. මෙම ගෙඩි ඉවත් කිරීම ඖෂධ භාවිතයෙන් සිදු නොවන අතර ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරිම සිදු වේ.

එහිදී උදරයේ පහළ කොටසට කැපුමක් යොදා (ඹ්චනධපධබධථර) මඟින් එය ඉවත් කිරීමේ හැකියාව පවතී. මීට අමතරව ලැපරස්කොපි සැත්කමක් මඟින් ද එය ඉවත් කළ හැකිය.

මෙහිදී ෆයිබ්‍රොයිඩ් නැතිනම් ගර්භාෂ ගෙඩිය ගර්භාෂයේ කුහරය තුළට යොමු වී ඇත්නම් යෝනි මාර්ගය හරහා සිදු කරන සැත්කමක් මඟින් ඉවත් කිරීම වඩාත් සුදුසු වේ. හිස්ටරස්කොපි ලෙස මෙය හඳුන්වන අතර මඳසරුභාවය සහිත තත්ත්වයන්වලදී සිදු කිරීමට යෝග්‍ය ප්‍රතිකාර ක්‍රමයකි.

ගර්භාෂ ගෙඩි නැවත නැවතත් හට ගන්නේද?

ගර්භාෂ ගෙඩි නැවත නැවතත් ඇතිවීම සිදුවිය හැක. වරක් ඉවත් කළ පසුව ද වසර කීපයකින් (එනම් වසර හතරක්, පහක් පමණ ගෙවී ගිය විට) නැවත හට ගැනීමේ හැකියාවෙන් යුක්තය. එසේම ගර්භාෂ ගෙඩිි හට ගැනීමට අදාළ නිශ්චිත හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් යම් ජානමය බලපෑමක් තිබිය හැකි බව විශ්වාස කරයි.

ගර්භාෂ ගෙඩි පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිද?

ගෙඩියක් ලෙස වර්ධනය වුවද ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව 1% කටත් වඩා අඩුය.

ගර්භාෂ ගෙඩි ඉවත් කළ යුතු අවස්ථා

මාසික ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවෙන්නේ නම් හා වේදනාවක් දැනෙන්නේ නම් ද, ගෙඩිය අධික ලෙස විශාල වී ඇතිවිට මෙන්ම ඒ හා සම්බන්ධ ගැටලු මතුවන්නේ නම් උදා - මුත්‍රා සම්බන්ධ ගැටලු, උදරයේ වේදනාව වැනි ලක්ෂණ පෙන්වන්නේ නම් එවැනි අවස්ථාවලදී ගර්භාෂ ගෙඩිය ඉවත් කිරීමට උපදෙස් දෙනු ලැබේ.

ඊට අමතරව ඒ පිළිබඳ වරින් වර ස්කෑන්කර පරීක්ෂා කර බැලීම ද සිදු කළ හැක. ඊටත් අමතරව ආර්තවහරණයට ලක් වූ හෝ ආර්තවහරණයට ලක්වීමට ආසන්න කාන්තාවන් හට එම තත්ත්වයත් සමඟ ගර්භාෂ ගෙඩි හැකිලී කුඩා වීම සිදුවිය හැකි බැවින් එවැනි අවස්ථාවවල දී මෙම ගෙඩි පිළිබඳ අනිසි බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවේ.