වකුගඩු නරක් වෙන්නේ නැහැ

බය වෙන්න එපා!

දියවැඩියාවට - ප්‍රෙෂර් එකට ගන්න බෙහෙත්වලින් වකුගඩු නරක් වෙන්නේ නැහැ

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ

වකුගඩු ආශි‍්‍රත රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

චින්තන ගලහිටියාව

අපගේ සිරුරේ තිබෙන වකුගඩු (Kidney) දෙක නීරෝගීව ජීවිතය පවත්වා ගෙන යාමට උපකාරීවන ප්‍රධාන අවයවයන් දෙකකි. සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී නිපදවෙන විෂ සහිත යුරියා, ක්‍රියැටනින් වැනි නයිට්‍රජනීය අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම, සිරුරේ ඇති වැඩිපුර ඇති ජලය මුත්‍රා ලෙස පිටකීරීමෙන් ජල සමතුලිතාවය පවත්වා ගැනීම, රුධිරයේ ඇති ලවණ අම්ල සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් පවත්වා ගෙන යාම, රුධිර පීඩනය පාලනයට දායක වීම, එරිත්‍රොපොයිටින්් හෝමෝනය නිපදවීම, රුධිරයේ කැල්සියම් ප්‍රමාණය පාලනය කර අස්ථි වර්ධනයට දායක වීම වැනි ප්‍රධාන සේවාවන් කීපයක් වකුගඩු මගින් සිදුවේ. වකුගඩු රෝගී වු විට සිරුරට මෙම සේවාවන් සිදුකරදීමට අවයවයක් නොමැත. එහි ප්‍රතිඵලය භයානක එකක් වුවද විය හැකිය.

ලාංකිකයන්ගේ වකුගඩු රෝගීවීමට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක්ම හඳුනාගෙන ඇත. පාලනය නොකළ දියවැඩියා රෝගය නිසා වකුගඩු වලට හානි සිදුවීම ඉන් පළමු වැන්නය. දෙවැන්න පාලනය නොකළ අධික රුධිර පීඩනයයි. දීර්ඝ කාලීනව පවතින වකුගඩු ආසාදන, මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීම වැනි කල්පවතින මුත්‍රා මාර්ගයේ අවහිරතා, බහු කෝෂ්ඨ (poly cystic) වකුගඩු රෝගය, ප්‍රවේණිගත වකුගඩු රෝග, වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ වේදනානාශක ඖෂධ ගැනීම, සර්ප දෂ්ඨනය වැනි කරුණු ලංකාවේ වකුගඩු රෝගයට බලපාන ප්‍රධාන කරුණු ලෙස හැඳින් විය හැකිය.

දියවැඩියාව

දියවැඩියාව රෝගයට ගොදුරු වී අවුරුදු 10ක් පමණ ගතවන විට වකුගඩු වලට කිසියම් හානියක් සිදුවිය හැකියි. දියවැඩියා රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ නැතිනම්, වකුගඩු වලට සිදුවන හානිය ඉතා විශාල විය හැකිය. බොහෝ දියවැඩියා රෝගීන් එම රෝගය පිළිබඳව දක්වන්නේ අඩු සැළකිල්ලකි. එම රෝගීන් නියමිත සායන වලට සහභාගී වන්නේ නැත. එසේ සායනවලට සහභාගී වුවද ඇතැම් රෝගීන් වෛද්‍යවරු නිර්දේශකරන ඖෂධ නියම පරිදි ගන්නේ නැත. දියවැඩියාවට ලබාදෙන Metformin නම් අගනා ඖෂධය බොහෝ රෝගීන් නිසි ලෙස ගන්නේ නැත. ඇතැමුන්ගේ මතය වන්නේ මෙම ඖෂධය නිසා වකුගඩුවලට හානි සිදුවන බවය. එය දුර්මතයකි. Metformin ඖෂධය ලෝකේ ඇති වඩාත් ආරක්ෂාකාරී, ජීවිත රැක දෙන ඖෂධයකි. සත්‍ය වශයෙන්ම වකුගඩු රෝගී වන්නේ මෙම ඖෂධ ගැනීම නිසා නොව එය නිසි මාත්‍රාවෙන් දිනපතා නොගැනීම නිසාය. දියවැඩියාව රෝගය නිසි ලෙස පාලනය නොකිරීම නිසාය. ඇතැම් දියවැඩියා රෝගීන් ඖෂධීය ප්‍රතිකාර ගනිමින් සීනි අධික ආහාර ගැනීම අඩු කරන්නේ නැත. බොහෝ අය සායනවලදී පවසන්නේ පවුලේ උත්සවයකට සහභාගී වු නිසා සීනි අඩංගු ආහාර ගැනීමට සිදු වූ බවය. මෙය තමන් විසින් තමන්වම රටවා ගැනීමකි. එසේම ඇතැම් දියවැඩියා රෝගීන් තවත් ආකාරයකින් තමන් රවටා ගැනීමක් සිදුරකරගන්නා බව පෙනේ. ඒ වෛද්‍යවරයා හමුවීමට පෙර රුධිරයේ සීනි ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ගැනීමේදී දින දෙක තුනක පටන් සීනි ආහාර වලින් හොඳින් වැළකී වෛද්‍ය වාර්තාව ලබා ගැනීමය. එවැනි වාර්තාවක් දුටුවිට වෛද්‍යවරයා සිතන්නේ රෝගියාගේ රුධිරයේ සීනි ප්‍රමාණය හොඳින් පාලනය වී ඇති බවය. එහිදී වෛද්‍යවරයා ඖෂධ නියම කරන්නේ වෛද්‍යවාර්තාවට අනුවය. මෙවැනි රැවටිල්ලක ප්‍රතිඵලය වකුගඩු අකර්මන්‍යවීම විය හැකිය. එසේ වුවද නවතම පරීක්ෂණයක් වන HBAIC නම් රුධිර පරීක්ෂණය එයින් පසුගිය මාස තුන තුළ පැවැති රුධිරයේ සීනි ප්‍රමාණය පිළිබඳව සලකා බැලේ. මෙම පරීක්ෂණයෙන් රෝගියාගේ රුධිරයේ සීනි ප්‍රමාණය නිවැරැදිව මැනගත හැකිය.

Metformin ඖෂධය පිළිබඳව විශේෂ යමක් සඳහන් කළ යුතුය. ඒ, මෙම ඖෂධය දියවැඩියා රෝගයෙන් ජීවිත සුරකින අතරම වකුගඩු නරක් වූ රෝගීන්ට වකුගඩු වල ක්‍රියාකාරීත්වය 30%කට වඩා (එනම් 70%ක් වකුගඩු නරක් වූ රෝගීන්ට අඩු රෝගීන්ට) සුදුසු නොවන බවය. දියවැඩියා රෝගය නිසා වකුගඩු වලට හානි සිදු වු විට මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීමට පටන් ගනී. මේ බව සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයකින් හඳුනාගත නොහැකිය. ඒ සඳහා Urine micro Albamin නම් වූ මුත්‍රා පරික්ෂණය සිදු කළ යුතුය. මෙම පරීක්ෂණය මගින් මුත්‍රා සමඟ ප්‍රෝටීන පිටවන බව පෙන්නුම් කිරීමෙන් හැඟවෙන්නේ වකුගඩු රෝගී වීම පටන්ගෙන ඇති බවය.

අධිරුධිර පීඩනය

අධි රුධිර පීඩනය සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවුණු රෝගයකි. මෙයින් වකුගඩුවලට සිදුවන හානිය අති මහත්ය. අධිරුධිර පීඩනය පිළබඳව වැඩි අවධානයක් බොහෝ දෙනෙක් යොමු නොකරන්නේ එම රෝගය තමන්ගේ ශරීරය තුළ ඇතිබව නොදන්නා නිසාය, අධි රුධිර පීඩනයේ රෝග ලක්ෂණ ලෙස කිසිවක් නොපෙන්වන නිසාය. විශේෂයෙන්ම තරුණ වයසේ අයකුට අධි රුධිර පීඩන තත්ත්වය ඇති වූ විිට කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වීමට ඉඩ ඇත. මෙ හේතූන් නිසා මෙවැනි රෝගීන් අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ අධිරුධිර පීඩනය නිසා ශරීර අභ්‍යන්තරයේ බොහෝ අවයව වලට හානි සිදුවීමය. හෘදය, මොළය, රුධිර නාල, දෑස්, වකුගඩු ඉන් ප්‍රධානය. බොහෝ විට දියවැඩියාව ඇති අයකුට අධිරුධිර පීඩනයත් ඇත. මෙම රෝග දෙකම එකට ඇති වූ විට ශරීරයට විශේෂයෙන් ම වකුගඩු වලට සිදුවන හානිය වැඩිය. අධි රුධිර පීඩනය නිසා වකුගඩුවකට හානි සිදු වූ විට වකුගඩුව හැකිලී කුඩා වීමක් සිදුවේ. උතබපච ඉධභදඤ ඉජචද පරීක්ෂයකින් මෙය හඳුනාගගත හැකිය.

ඇතැම් රෝගීන් අධිරුධිර පීඩනය තමන්ට ඇතිබව දැන දැනත් දිනපතා නියමිත මාත්‍රාවෙන් ඖෂධ ගන්නේ නැත. එහි ප්‍රතිඵලයක් වන්නේ වකුගඩු දුර්වල වීමය. එවිට ඇතැමුන් සිතන්නේ අධිරුධිර පීඩනයට ගත් ඖෂධ නිසා වකුගඩු දුර්වල වූ බවය. එම ඖෂධ නිසි මාත්‍රාවෙන් ගත්විට කිසි විටෙකත් වකුගඩු දුර්වල නොවේ.

වකුගඩු රෝගී වීමට බලපාන තවත් හේතුª සහ වකුගඩු රෝගී වීමෙන් වැළකී සිටීමට කළ හැක්කේ මොනවාද යන්න ලබන සතියේ විමසා බලමු.