දරුවා ලැබුණාට පස්සේ මහේෂ් ටික ටික වෙනස් වුණේ

දරුවා ලැබුණාට පස්සේ මහේෂ් ටික ටික වෙනස් වුණේ

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය

හරිස්චන්ද්‍ර යකන්දාවල

ලුණුයි බතුයි කාලා කන්දක් උඩ පුංචි පැල්පතක් හදාගෙන ජීවත් වෙන්න පෙරුම් පුරාන පෙම්වතුන්ගෙන් කීදෙනෙක් මේ වෙනකොට ඒ සුන්දර ලෝකේ ජීවත් වෙනවා ඇතිද? ඔබට නිකමට ඒ විදිහට දැනී තිබෙනවාද? ප්‍රේම කරන කාලෙදී මොනතරම් සුරංගනා ලෝක මවා ගන්නට ඔවුන් උත්සාහ කළත් සැබෑ ලොකේදී විවාහ වෙලා කාලයක් ගත වෙනකොට ඔවුන්ගේ සිහින හැම එකක්ම වගේ සෙමින් මියැදිලා, ජිවිත මිහිපිට අපායක් බවට පත් වෙලා.

සිතාරා මහේෂ් එක්ක ගොඩ නඟන්න සිහින දැක්කෙත් ඒ වගේ අහිංසක සුන්දර ලෝකයක්. සුරංගනා කථාවක් වගේ හරිම ලස්සන ආදර කථාවකින් පටන් ගත්ත සිතාරාගෙත් මහේෂ්ගෙත් මේ කථාව දික්කසාදයකින් කෙළවර වෙන්නට නොදී බේරගන්නට පුළුවන් වුණේ වාසනාවට වගේ. අවුරුදු හතරක පේ‍්‍රමාදරයකින් පස්සේ තමන්ගේ කියලා ජිවිතයක් පටන් ගන්න විවාහ වුණු මේ දෙන්නාගේ ආදර කැදැල්ලට වැඩි දවසක් යන්න කලින් පුංචි කිරිල්ලියක් එකතු වුණා.

දුව ලැබුණු මුල් දවස්වල හරිම සතුටින් කාලය ගත කළත් කාලය ටිකින් ටික ගතවෙලා යනකොට මේ දෙන්නා අතර තිබුණු සමීපකමත් ටිකෙන් ටික ඈත්වෙලා ගියා. මේ ඈත් වීම මොනතරම් බරපතළ මට්ටමකට පත් වුණා ද කියනවා නම් පොඩි දරුවාට මාස 09 ක් විතර වෙනකොට සිතාරට මහේෂ්ව පෙන්නන්න බැරි තරමට තත්ත්වය දරුණු වෙලා තිබුණේ. එයාට මහේෂ්ගෙන් දික්කසාදය ඉල්ලන්න තරම් මේ සිදුවීම දුර දිග ගිහින්. මේ කථාවේදී බැලූ බැල්මට සිතාරාගෙත් මහේෂ්ගෙත් ගැටලුවට හේතුවක් හොයන්න නොහැකි වුණත් ගැටලුව විසඳගන්න උත්සාහ කරන අවස්ථාවේදී ඔවුන් දෙදෙනාට පැවතුණේ එකම ගැටලුවේ දෙපැත්තක්.

සිතාරාට අනුව මහේෂ් තමා එක්ක ලිංගිකව සම්බන්ධ වෙන්න අකමැති කෙනෙක් බවයි ඇය තේරුම් ගෙන තිබුණේ. වැඩට යනවා ගෙදර එනවා. තමන්ගේ වැඩක් කරගෙන නිකමෙක් වගේ පැත්තකට වෙලා ඉන්නවා කියලයි සිතාරා මහේෂ් ගැන කිව්වේ. එයාට මාව ඕන නැහැ දැන් නම් මට එයාව දකින්නවත් ඕන නැති තරම් අදහසක් සිතාරට තිබුණේ.

ඒත් මහේෂ් කියන්නේ ඒ ගැටලුවේ තවත් පැත්තක්. “මට සිතාරා එක්ක එකට ඉන්න ඕන. ඒ, බයයි. එයාට දරුවෙක් ලැබිලා ඉන්න නිසා මම එයාට රිද්දන්න කැමති නැහැ. ඒ හින්දයි මම එයාගෙන් ඈත් වෙලා ඉන්නේ. සමහර වෙලාවට එයාට දරුවාගේ වැඩ වැඩි හින්දා මම තනියම මගේ කෑම පවා හදා ගන්නවා. මට එයා ගැන ලොකුවට හැඟීමක් ඇත්තේ නැහැ. මේ විදිහට තමන්ගේ පැත්තෙන් ප්‍රශ්නය පැහැදිලි කළ මහේෂ් හැඟීම් හිතේ හිර කරගෙන සිටිම නිසා විෂාදමය තත්ත්වයට පවා පත්වෙලා හිටියා.

ඔවුන් දෙදෙනාගේ පැත්තෙන් මේ ගැටලුව වෙනස් ආකාරවලට පැහැදිළි කළත් ඇත්තමට මේ කථාවේ සිතාරා වැඩිපුර අවධානය දීලා තිබුනේ දරුවාගේ වැඩවලට. තමන්ගේ ස්වාමියා ගැන බලන්නවත් දරුවගේ වැඩ එයා එක්ක බෙදා හදා ගන්නවත් සිතාරා හිතලා තිබුණේ නැහැ. දරුවා ලැබුණාට පස්සේ තමන්ගේ ශරීරයේ ගැන තිබුණු උනන්දුව මුළුමනින්ම සිතාරාගෙන් ගිලිහිලා. තමාගේ ශරීරයේ හැඩය, පිරිසුදුකම, පිළිවෙල මේ කිසිම දෙයක් ගැන සොයා බලන්නවත් සිතාරට වුවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසාම මේ ගැටලුව සැමියාත් බිරිඳත් වෙන්වන මට්ටමේ දරුණු ගැටලුවක් දක්වා වර්ධනය වුණා.

මේ කථාවෙන් සමාජයේ සිටින විවාහපත් යුවළවලට මනා ආදර්ශ ලබා දෙනවා. ඕනෑම විවාහක යුවළක් දරුවෙක් ලැබුණු පසු තමන්ගේ පෙර ජීවිතයට නැවත පත්වීම ඒ අතුරින් වඩාත්ම වැදගත් කරුණයි.

තමන්ගේ දරුවා හදාවඩා ගන්නා අතරම තමන්ගේ ශරීරය, නිසිලෙස පවත්වා ගැනීම, නඩත්තු කිරීම, ආහාරපාන, ඇඳුම් පැළඳුම් පමණක් නොවේ පිරිසුදුකම පිළිබඳව පවා හොඳ අවධානයකින් කටයුතු කිරීම ද පවුල් ජීවිතයේ සාර්ථකත්වයට ප්‍රබල හේතුවක්.

ඒ වගේම තමන්ගේ දරුවා හදා වඩා ගැනීම සැමියා සහ බිරිඳ යන දෙදෙනාගේම වගකීමක් විය යුතුයි. දරුවා නිසා ලබන සතුට බෙදාහදා ගැනීම වගේම දරුවාගේ කටයුතුවලට සැමියා සහභාගී කරවා ගැනීම ද ඉතා වැදගත්.

තවද දරුවෙක් ලැබීමෙන් පසුව මාස එකහමාරක් දෙකක් පමණ ගත වනවිට ශරීරයේ අවයව සාමාන්‍ය මට්ටට නැවත පත්වන නිසා ඉන් අනතුරුව අඹුසැමි සබඳතා පැවැත්වීම ජීව විද්‍යාත්මකව කිසිදු වරදක් නොවන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ඒ වගේම දරුවා ලැබුණු අලුත ඒ සමීපයේම නැවත පිළිසිඳ ගැනීමක් ඇති වීමට යම් අවදානමක් තිබෙන බැවින් සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. එසේ නිසි පවුල් සංවිධාන ක්‍රම නොමැති කමින් කාන්තාව හෝ පුරුෂයා නැවත දරුවෙක් ලැබේවි යන බිය නිසා නැවත ලිංගිකව එක් වීමට දැඩි බියක් දක්වනු ලැබේ.

කෙසේ වෙතත් මෙහිදී වඩාත් වැදගත්වන්නේ බිරිඳ සහ සැමියා යන දෙදෙනාම අන්‍යොන්‍ය අවබෝධයක් සහිතව කටයුතු කිරිමයි.