ඉන්දියානු ක්‍රමයට රසවත් ආහාර වේලක් නිවාඩු කාලේ දරුවන්ට හදලා දෙන්න

ඉන්දියානු ක්‍රමයට රසවත් ආහාර වේලක් නිවාඩු කාලේ දරුවන්ට හදලා දෙන්න
 

ප්‍රවීණ සුපවේදීනී
දිල්කා මාටින්


පූරි

අවශ්‍ය ද්‍රව්‍ය

ආටා පිටි 500g
මාජරින් අවුන්ස 1 (මේස හැඳි 1)
ලුණු තේ හැඳි 1
සූදුරු ඇට තේ හැඳි 1/2
වතුර කෝප්ප 1 1/4

සාදන ක්‍රමය

ලෑල්ලක් මතට ආටා පිටි හලාගන්න. එහි මැද වලක් හාරා ගන්න. එයට මාජරින් ලුණු, සූදුරු ඇට දමා වතුරෙන් හොඳින් මිශ්‍ර කරගන්න. එසේ හොඳින් අත් ගහගත් මෝලිය ලන්ච් ෂීට් එකකින් වසා පැය 2 ක් පමණ තබන්න. පැය 2කට පසුව මෝලියෙන් කුඩා බෝල කඩා යළිත් පැය 1/2 ක් තබන්න. ඉන්පසු රෝලින් පින් එකක ආධාරයෙන් පපඩමක් හැඩයට තුනී කර ගන්න. පසුව එය ගැඹුරු තෙලේ බැදගන්න.


 

ඉන්දියානු සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

බෝංචි කරල් 5
කැරට් අල 2
ගෝවා 50g
බ්‍රොකලි 50g
මාළු මිරිස් කරල් 2
තම්බාගත් රතු බෝංචි ඇට කෝප්පයක්
තක්කාලි ගෙඩි 2
අමුමිරිස් කරල් 2
කොත්තමල්ලි කොළ පොඩියට කපා අහුරක්
ලුණු, ගම්මිරිස්, දෙහි රස පදමට

සාදන ක්‍රමය

බෝංචි, කැරට්, ගෝවා බාගෙට තම්බා කුඩාවට කොටු ලෙස කපා භාජනයකට දමන්න. එයට බ්‍රොකලිස් ද බාගෙට තම්බා 4 ට කපා දමන්න. තම්බාගත් බෝංචි ඇට සිහින්ව ලියාගත් මාළු මිරිස් හා රටළූණු එකට එකතු කරන්න. තක්කාලි පොඩියට කපා එයද එකතු කරන්න. පොඩියට කපාගත් කොත්තමල්ලි කොළත් එකතුකර සියල්ලම ගෑරුප්පුවකින් කලවම් කර රස පදමට ලුණු ගම්මිරිස් දෙහි දමා සලාදය සාදාගන්න.




බැදපු අල මසාලා

අවශ්‍ය ද්‍රව්‍ය

පොඩි අල ගෙඩි 500g (පොඩි බෝල ගෙඩි)
ගිතෙල් මේස හැඳි 2
කඩල පිටි මේස හැඳි 1 1/2
පාන් පිටි මේස හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1/4
ලුණු කුඩු තේ හැඳි 1 1/2
කරදමුංගු 2
කරාබු නැටි 2
සූදුරු කුඩු තේ හැඳි 1/2
කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
කහ ස්වල්පයක්
තක්කාලි ගෙඩි 2
සීනි තේ හැඳි 1
අමු මිරිස් කරල් 5
සුදුළූණු බික් 5
රටළූණු ගෙඩි 1
ඉඟුරු අඟල් 1/4 ක කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

කඩල පිටි, පාන් පිටි, මිරිස් කුඩු, ලුණු කුඩු ඇතුළු සියල්ල එකට මිශ්‍රකර තම්බා ශුද්ධ කරගත් අලවල මෙම මිශ්‍රණය තවරාගන්න. තක්කාලි, සීනි, අමු මිරිස්, සුදුළූණු, රටලූණු, ඉඟුරු, මිරිස් කුඩු, කහ කුඩු ඇතුළුව වතුර කෝප්පයක් සමඟ blend කරගන්න. pan එකකට ගිතෙල් තමා රත් වූ විට කරාබු නැටි කරදමුංගු, සූදුරු කුඩු, කොත්තමල්ලි තෙම්පරාදු කර මීට පෙර blend කරගත් curry මිශ්‍රණයට දමා ටික වේලාවකින් ලිප නිවාගන්න.