උපතේ සිට අවුරුදු 2ක් ගත වනතුරු මව්කිරි දීමෙන් දරුවා නිරෝගී වෙනවා

උපතේ සිට අවුරුදු 2ක් ගත වනතුරු මව්කිරි දීමෙන් දරුවා නිරෝගී වෙනවා

තමන්ගේ දරු පැටියා උස් මහත් වී රටේ ලෝකයේ උගතෙක්, බුද්ධිමතෙක් වනවා දැකීම සෑම මව්පියකුගේම සිහිනයකි. මේ සිහිනය සැබෑ කර ගන්නට දරුවාට අනිවාර්යයෙන්ම ලබාදිය යුත්තේ මවුකිරිය. මවුකිරිවල තිබෙන සංඝටක දරුවාගේ බුද්ධි වර්ධනයට ඉමහත් බලපෑමක් ඇති කරයි.

දරුවකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසුව ඔහුට හෝ ඇයට ලබා දිය යුතු පළමු ප්‍රතිශක්තිකරණ එන්නත වනුයේ මවුකිරිය. මවුකිරිවල තිබෙන වටිනාකම මෙතෙකැයි කියා කිව නොහැකිය. එමෙන්ම වෙනත් කිසිදු කිරකට මවුකිරි සමාන කළ නොහැක.

දරු පැටියකුගේ උපතේ සිට මාස හයක් ගත වන තෙක් මවුකිරි හැර වෙනත් කිසිදු දෙයක් ලබා නොදිය යුතු බව වෛද්‍යවරුන්ගේ උපදේශයයි.

සමහර විට ඇතැම් මවුවරුන් දරුවාට මාස හයක් ගත වන්නට ප්‍රථම මවුකිරි ලබාදිමට අමතරව කොත්තමල්ලි වතුර, ජලය යනාදිය ලබාදීමට උත්සාහ කරයි.

දරුවා කෙරෙහි තිබෙන වැඩි ආදරය නිසා එසේ කරන්නට මව පෙළඹෙයි. ඔබ දරුවාට ඇත්තටම ආදරේ නම් එසේ නොකළ යුතුය. දරුවාට මාස හයක් ගත වනතෙක් මවුකිරි පමණක්ම ලබාදිය යුතුය.

මවුකිරිවලින් දරුවාට උපරිම පෝෂණයක් ලබාදෙනවා සේම දරුවාට ලබාදිය හැකි හොඳම සහ ආරක්ෂීතම ආහාරය එය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා නිර්දේශය වී තිබේ.

පළමු මාස හයේදී දරුවාට මවුකිරි පමණක් ලබාදිය යුතු අතර දෙවැනි මාස හයේදී අමතර ආහාර ලබාදීම සමඟ මවුකිරි ලබාදීම වැදගත්ය.

එසේම දරුවාගේ උපතේ සිට අවුරුදු දෙකක් ගත වනතෙක් මවුකිරි ලබාදීමට මවකට හැකියාවක් පවතින්නේ නම් නිරෝගී සම්පන්න දරුවකු රටට දායාද කළ හැකිය.

දරුවා ඉපදී මාස හයක් ගත වීමෙන් පසුව ඇතැම් මවුවරුන් පිටිකිරි ලබාදීමට පෙළැඹේ. ලස්සන පිට කවරයකින් නිමා කළ පිටි කිරි ටින් හෝ පැකට් ගෙදරට ගෙනැවිත් ඒවායේ ප්‍රෝටීන් ඇතුළු වෙනත් සංඝටක අධික බව සිතමින් සිඟිති පැටියාට පිටිකිරි පොවන්නට මව උත්සුක වන්නේ නම් එය අනුවණකමකි.

විශේෂයෙන්ම රැකියා කටයුතුවල නිරතව සිටින මවුවරුන් මේ සඳහා වැඩිපුර පෙළඹේ. මව රැකියාවක නිරතව සිටින්නේ නම් මවුකිරි දොවා ශීතකරණයේ තබා යාමෙන් දරුවාට අවශ්‍ය වේලාවට ලබාදිය හැකිය. දොවා ගත් මවුකිරි කාමර උෂ්ණත්වයේ පැය හයක් ද, අධි ශීතකරණයේ මාසයක් වුවද ගබඩා කර තබාගත හැකිය. ශීතකරණයේ යට කොටසේ පැය 24 ක් තබා ගත හැක.

ශීතකරණයේ ගබඩා කර තබා ගත් මවුකිරි සහිත භාජනය දරුවාට පෙවීමට පෙර මඳ උණුසුම් ජලයේ තබා භාවිතයට ගත යුතුය. දොවාගත් මවුකිරි දරුවාට කෝප්පයකින් පෙවීම සිදු කළ හැකිය.

පිටිකිරි නිෂ්පාදනය කරනුයේ සත්ත්ව කිරිවලිනි. විශේෂයෙන්ම එළදෙනගෙන් ලබා ගන්නා කිරිවලින් පිටිකිරි නිෂ්පාදනය කරයි. එළදෙනට වසු පැටියකු බිහි වීමෙන් පසුව එළ කිරි නිෂ්පාදනය වේ. මෙම එළකිරි නිෂ්පාදනය වනුයේ වසු පැටියාගේ පෝෂණයට සරිලන අයුරිනි. වසු පැටියා ඉපදුණු සැණින් දුව පැන ඇවිදියි.

නමුත් දරු පැටියාට එසේ කළ නොහැකිය. වසු පැටියාගේ ක්‍රියාකාරිත්වයට සරිලන ආකාරයෙන් නිපදවෙන එළකිරි භාවිතා කිරීමෙන් වැඩි ශක්තියක් දරුවාට ද ලබාගත හැකිය.

වසු පැටියා ඉක්මනට වැඩිහිටි වීම සඳහා එළදෙනගේ කිරි උපකාර වේ. මේ අයුරින් බලන විට පිටිකිරි දරු පැටියකුට ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවවක් මතු වන බව ඕනෑම මවකට වැටහේ.

මව්කිරි දරුවකුට ලබාදීම මඟින් වාසි රැසක් හිමිකර ගත හැකිය. එම වාසි මවටත් දරුවාටත් පොදු වේ. පිටිකිරි දරුවාට ලබා දීමෙන් එහි පවතින ප්‍රෝටීන් ප්‍රමාණය දරුවන්ගේ වකුගඩුවට දරාගත නොහැකි තත්ත්වයක් උදා කරයි. මේ සියලු අකරතැබ්බයන්ගෙන් මිදී සිටින්නට නම් දරුවාට මව්කිරි පමණක්ම ලබාදිය යුතුය.

දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ලැක්ටෝස් මව්කිරිවල පවතියි. පිටිකිරි මඟින් කරනුයේ කායික වර්ධනයයි. එමඟින් බුද්ධි වර්ධනයක් සිදු නොවේ. දරුවාගේ ගණිතමය, තර්කනමය,භාෂාමය හැකියාවන් වර්ධනයටත්, දරුවාගේ ඇසීම හා පෙනීමේ වර්ධනයටත්, තැනට සුදුසු ලෙස තීරණ ගැනීමටත්, අවබෝධ ශක්තිය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජීවිත සාර්ථකත්වය ඇති කර ගැනීමට මව්කිරි හේතු වේ.

දරුවාට පිටිකිරි දීමෙන් අනිටු විපාක ඇති කරවයි. ඇදුම, අසාත්මිකතාවන්, කනේ හා ස්වසන ආසාදන, යකඩ ඌනතා නීරක්තිය, ආහාර දිරවීමේ අපහසුතා, නින්දේදී ඇතිවන හුස්ම ගැනීමේ ආබාධ, ළමා වියේ ඇතිවන පිළිකා, දන්තාබාධ හා දන්ත විකෘතිතා, අධි රුධිර පීඩනය සහ හෘද රෝග යනාදිය පිටිකිරි භාවිතය හේතුවෙන් ඇතිවන ආබාධයන් වේ. ඊට අමතරව දියවැඩියාව, අධි බර හා ස්ථුලතාව, අස්ථි දුර්වල වීම, පියයුරු, ඩිම්බකෝෂ හා ගර්භාෂ පිළිකා යනාදි අනිටු විපාකයන් ද මව්කිරි නොදීම හේතුවෙන් හටගන්නා රෝගාබාධයන්ය.

මව්කිරි බීමේදී දරුවාත් මවත් අතර තදබල මානසික බැඳීමක් ඇති වේ. තම පියයුරුවල හැඩය වෙනස් වේය යන හැඟීම නිසා ඇතැම් මවුවරුන් දරුවාට කිරි දීමට මැළිකමක් දක්වයි.

මවුකිරි දීම නිසා පියයුරු එල්ලා වැටීම සිදු නොවන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී තිබේ. බොහෝ මවුවරුන්ට තම දරුවාට හෝ නිවුන් දරුවන් සිටින්නේ නම් ඔවුන් දෙදෙනාටම ලබාදීමට සෑහෙන තරම් කිරි නිෂ්පාදනය වේ. දරුවාගේ බර අඩු වීම සිදු වන්නේ නම් නිවැරදි ඉරියව්වක සිට මව්කිරි නොදීම හේතු වනබව අනාවරණය වී තිබේ.

තමන්ගෙන් නිෂ්පාදනය වන කිරි මදි නිසා පිටිකිරි දිය යුතු බවට ඇතැම් මවුවරු සිතති. නමුත් එවැනි දෙයක් නොමැත. දරුවාට අවශ්‍ය පරිදි සෑම මවකගෙන්ම මව්කිරි නිෂ්පාදනය සිදු වේ. දැරියක් වැඩිවිය පැමිණීමේ සිට පියයුරු වර්ධනය වීම සිදු වේ. ගර්භණි සමයේදී කිරි ස්‍රාවය කරන ග්‍රන්ථි වර්ධනය වීමක් වන අතර ඒවා කුඩා නාල හරහා තන පුඩුවට සම්බන්ධ වේ.

කිරි නිෂ්පාදනය හා පිටතට ස්‍රාවය කිරීම හෝර්මෝන මඟින් පාලනය කරයි. දරුවාගේ උපතෙන් පසුව සිදුවන ප්‍රොලැක්ටින් නම් හෝර්මෝනය මඟින් කිරි නිෂ්පාදනය වන අතර දරුවා කිරි උරා බීමේදී පිට වන ඔක්සිටෝසින් හෝමෝනය මඟින් ග්‍රන්ථි වටා ඇති පේශි ක්‍රියා කර ග්‍රන්ථි තෙරපීම නිසා කිරි තන පුඩුවෙන් පිටතට ස්‍රාවය වේ.. එමඟින් දරුවාට අවශ්‍ය කිරි ප්‍රමාණය අඛණ්ඩව නිෂ්පාදනය වීමක් සිදු වේ.

දරු ප්‍රසූතියෙන් පසුව පළමු දින කිහිපය තුළ කහ පැහැති ඝනත්වයෙන් වැඩි දියරයක් ස්‍රාවය වේ. ඒවා කොලෙස්ට්‍රම් වන අතර මෙහි සංයුතිය මව්කිරිවලට වඩා වෙනස්ය. එහි ප්‍රෝටීන් බහුලව ඇති අතර සීනි හා මේදය අඩුය. අලුත උපන් දරුවාට මුල සිටම මව්කිරි දීම අත්‍යවශ්‍ය කරුණකි. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් පැයක් හෝ පැය භාගයක් ඇතුළත මව්කිරි දීම ඇරඹිය යුතුය.

මව්කිරි ලබාදීමේ වටිනාකම තේරුම් ගනිමින් අලුත උපන් දරුවාට මව්කිරි පමණක්ම මාස හයක් ලබාදීමට පියවර ගත යුතුය. එය මුළුමහත් සමාජයේම යහපතට හේතු වේ.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඇසුරෙනි.