ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු

ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

සීතා අරඹේපොළ

ශ්‍රවණය අපගේ ජීවිතවලට ඉතාමත් වැදගත් වූ අංගයකි. යම් හෙයකින් අප ශ්‍රවණාබාධියන් වුවහොත් සියලු සන්නිවේදනයන් ඇන හිටිනු ඇත. එවිට සියලු බාහිර සම්බන්ධතා අපෙන් ගිලිහී යනු ඇත. ශ්‍රවණයේ වටිනාකම අපට දැනෙනුයේ ශ්‍රවණාබාධයක් ඇති වූ විටකදීය. එබැවින් ශ්‍රවණය අපට දැනෙන්නේ කිනම් ආකාරයකට දැයි විමසා බලමු. පිටත කන් පෙත්තේ සිට ඇතුළු කන දක්වා කනෙහි සියලු ව්‍යුහයන් ශ්‍රවණයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මන්දයත් පිටතින් නැගෙන ශබ්දයන් කන් පෙත්තේ ආධාරයෙන් පිට කන් ද්වාරයට යොමු වන අතර එම ශබ්ද තරංගයන් පිට කන මාර්ගයේ සිට කන් බෙරය දක්වා ගමන් කොට කන් බෙරය කම්පනයට ලක් කරයි. එම කම්පන තරංග, මැද කනේ ඇති ඉතා කුඩා අස්ථිකා කම්පනයට පත් කරන අතර එමඟින් ශබ්ද තරංග, ඇතුළු කන වෙත ගමන් කරයි. එවිට ඇතුළු කනෙහි පිරි තිබෙන තරලය, කම්පනය වන අතර එමඟින් ස්නායු තන්තු උත්තේජනය කොට ශබ්ද පරාදිසය මොළයට ගමන් කරයි. ශ්‍රවණය සම්පූර්ණවන්නේ මේ ආකාරයටය.

යම්කිසි රෝගාබාධයක් නිසා මේ සමස්ත ක්‍රියාදාමයට බාධා ඇති කිරීමට හැකියාවක් ඇත. එවන් වූ අවස්ථාවක ඇසීමේ දුර්වලතා මෙන්ම සම්පූර්ණයෙන්ම කන ඇසීම ද අහිමි වී යා හැක.

ශ්‍රවණාබාධයක් උපතේදීම දරුවන්ට ඇතිවිය හැක. එයට බලපාන හේතූන් ලෙස ගර්භණී කාලසීමාව තුළ මවට ඇතිවන විවිධ වයිරස් රෝග (උදා. පැපොල, රුබෙල්ලා) මෙන්ම ජානමය බලපෑම් නිසාද, ඇතිවන ඇසීමේ දුර්වලතා ද, සැලකිල්ලට ගත හැක. ඇතැම් දරු උපතකින් පසුව ඇතිවන මොළයේ උණ, ඇතැම් විට උපතේදී උපත් ප්‍රමාද නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබීම, අඩු වයස් උපත් යනාදිය පාදක කොට දරුවන්ට උපතේ සිටම ශ්‍රවණාබාධ ඇතිවිය හැක. කලලය වර්ධනයේදී ශ්‍රවණ පද්ධතියේ අඩුපාඩු ඇති වූ විටකදී සහ තවත් හේතුන්ද මෙවැනි ශ්‍රවණ ආබාධවලට හේතු සාධක වේ.

යමිකිසි දරු උපතකින් පසු ඇතිවන විවිධ හේතු නිසා ශ්‍රවණාබාධ දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඇතිවිය හැක. මෙය සවිස්තරව දැක්වීමේදී මෙයට වන කරුණු කීපයක් දැක්විය හැකියි.

conductive hearing loss

පිට කනෙහි සිට ඇතුළු කන දක්වා ශබ්ද තරංග ගමන් කිරිමට ඇතිවන බාධා නිසා එක් කාණ්ඩයකට ශ්‍රවණාබාධ ඇතිවිය හැක. පිටත කනේ ආසාදන, කන ඇතළත විවිධ ද්‍රව්‍ය හෝ කලාඳුරු හිරවීම, කන් බෙරයට සිදුවන අනතුරු (උදා. පුළුන් කුරු, කටු දැමීම, කනට පහරක් වැදීම) මැද කනේ ඝන ස්‍රාවයන් එකතු වූ විට මැද කනේ ඇති කුඩා අස්ථිකා අනතුරක් නිසා ලිහිල්වීමද, අස්ථිකාවල කැල්සියම් තැන්පත් විම ද දැකිය හැක. මෙවැනි කාරණා නිසා ඇතිවන ශ්‍රවණාබාධ බොහෝවිට කෙටි කාලයක් තුළදී ඇතිවන ඒවා වේ.

වයිරස් ආසාදන (කම්මුල්ගාය, පැපොල) නිසා ස්නායුවට හානි සිදු වේ. මෙවැනි අය sensorineural loss  අයත් වන්නේ ස්නායු දුර්වලවීමෙන් ඇතිවන ශ්‍රවණ දුර්වලතා කාණ්ඩයටය.

හදිසි අනතුරකට මුහුණ දුන් විට හිසට හානිවීම, මොළයේ ගෙඩි පිළිකා මඟින් ස්නායුව තදවීම ද ශ්‍රවණයට බාධා ඇති කරයි. දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන ස්නායු ආබාධ, වයසට යාමත් ඇතිවන සාමාන්‍ය ස්නායු දුර්වලතාවයන් වුවද විය හැක. නමුත් රෝගියාගේ ස්නායු සම්බන්ධ ශ්‍රවණ ගැටලුව එක් කනක පමණක් ඇතිවිට මොළය ආශි‍්‍රත පීඩනයක් නැති බවට නිශ්චිතව දැන ගත යුතු අතර එය සාමාන්‍ය ඇසීමේ පරීක්ෂාවන්ට අමතරව MRI Brain පරික්ෂණය කිරීමට සිදු වේ.

ශ්‍රවණාබාධයට හේතුව වන්නේ නැවත ශ්‍රවණය ලබාදිය හැකි තාවකාලික හේතුවක් නම් වෛද්‍යවරයා විසින් එයට සුදුසු ප්‍රතිකර්ම සිදු කරනු ඇත. මෙහිදී රෝග විනිශ්චය ඉතා වැදගත් වේ. දීර්ඝ කාලයක් ස්නායු දුර්වලතා නිසා ඇතිවන ශ්‍රවණාබාධ ඖෂධ මඟින් සුව කළ නොහැක. එවැනි රෝගින්ට ශ්‍රවණාධාර (සවන් වහල්) අවශ්‍ය වේ. නමුත් යම් කෙනෙකුට ස්නායු ශ්‍රවණ දුර්වලතාවයක් ඇති වී දින කිහිපයක් ඇතුළත වෛද්‍යවරයකු හමු වුවහොත් ඒ සඳහා වෛද්‍යවරයා විසින් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් දියත් කරනු ඇත. හදිසි ස්නායු දුර්වලතාවය සඳහා සිදු කෙරෙනුයේ කන තුළට එන්නතක් ලබා දීමයි. එසේම ඖෂධ මඟින් ද ශ්‍රවණය නැවත ලබා ගැනීමට හැකියාව පවතී. නමුත් ප්‍රමාද වී හඳුනාගන්නා ශ්‍රවණාබාධිතයන් සඳහා මෙම එන්නත් ප්‍රතිකර්මය සුදුසු නොවේ.

ව්‍යුහමය ආබාධයන්ගෙන් තොරව යම් දරුවකුට ශ්‍රවණ ස්නායු ආබාධයක් ඇතිවිට ඇතුළු කනට උත්තේජක ඉලෙක්ට්‍රෝඩ ඇතුළුකර (cochlear implant  ) ශල්‍යකර්මයක් මඟින් ශ්‍රවණය ලබාගත හැක. නමුත් දරුවකුට ශ්‍රවණ උපකරණ මඟින් ඇසීම දියුණු කළ හැකි නම් එවැනි දරුවන්ට ශල්‍යකර්මයක් අවශ්‍ය නොවේ. එවැනි ශ්‍රවණාධාරයක් මඟින් පහසුවෙන් යථා තත්ත්වයට පත්විය හැක. නමුත් යම් දරුවෙකුට සාමාන්‍ය සවන් වහල් (hearing aids)  මඟින් ඇසීම දියුණු කළ නොහැකි නම් ශල්‍යකර්මයක් සඳහා යොමු කෙරෙනු ඇත.


ඇල් හාල්වල ගුණ රැසක්

පැයක් ඇතුළත සම්පූර්ණයෙන් දිරවන ඇල් වීවල මනා සෞඛ්‍යයක් පවත්වා ගන්නට අවශ්‍ය කරන සියලු මූලද්‍රව්‍යයන් අඩංගු වන අතර රෝග සුව කරන කාරකයෝ බහුලව පවතී. කිරි සමඟ මුසු කරන ලද බත විශිෂ්ට ගුණයෙන් යුතු වන අතර සිරුරේ සමතුලිත බව ඇති කරයි. ඇස් පෙනීම, හෘදය හා පෙණහලු, බල නහර ශක්තිමත් කිරීම, තාරුණ්‍යයේ ශක්තිය සමඟ ලේ නහරවල ශක්තිය වර්ධනය කරයි.