පපුවෙ හතිය හැදෙන්නේ ඇයි?

පපුවෙ හතිය හැදෙන්නේ ඇයි?

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

දුව පැන ඇවිදින දරුවකුට හදිසියෙන් පපුවෙ අමාරුවක් හැදුණොත් අප කොයිතරම් බය වෙනවාද? ඔබට ද එවන් මොහොතක් ගැන අත්දැකීම් ඇති. සමහර අවස්ථාවන්වල දරුවා සෙල්ලම් කරද්දීම වේගයෙන් හුස්ම ඉහළ පහළ යවමින් එය යථා තත්ත්වයට පත් කරන්න ගන්නා උත්සාහය නිසා පීඩාවට පත්වෙන අන්දම ඔබ දැක ඇති. මෙලෙස පපුවෙ හතිය කුඩා දරුවන්ට ඇතිවීම භයානක තත්ත්වයක්.

ඕනෑම වයස් සීමාවකට අදාළව මේ පපුවෙ හතිය හැදෙන්න පුළුවනි. අපි කවුරුත් මේ පපුවෙ හතිය හඳුනන්නෙ “ඇදුම” කියලයි.

විවිධ බලපෑම් ගණනාවක් මත ඇදුම අපව වැළඳගත්තත් සෙම දෝෂයේ බලපෑම නිසා ඇතිවන පීනස් රෝගය හේතුවෙන් ද ඇදුම රෝගය ඇතිවීමට ඉඩකඩ ඇත. පීනස් රෝගය වැළඳී එයට නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් පීනස වර්ධනය වී ඇදුම ඇති වේ. ඒ අයුරින්ම කැස්සට නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් ද කල්යාමත් සමඟ ඇදුම ඇතිවීමට පුළුවන. කෙසේ හෝ ඔබට ඇදුම ඇත්නම් ඇදුම රෝගයේ වගතුග ගැන අවධානය යොමු කරන්නට මෙවර ඉඩකඩ වෙන් කළෙමු.

ස්වාස රෝගයක්

ආයුර්වේදයේ ස්වාස රෝග 5 ක් ඇත. හතිය හෝ ඇදුම ලෙස ඇත්තේ ඉන් එකක් වන තමක ස්වාසයයි.

මේ සඳහා බලපාන හේතු ගණනාවක් ඇත. එය පාරිසරික හේතු හා වෙනත් හේතු ලෙස වෙන්කරගත හැකියි.

හතිය හෝ ඇදුම ඇතිවීමට බලපාන හේතු

මුලින්ම අපි පාරිසරිකව ඇතිවන හේතු දෙස නෙත් යොමු කළොත්, දැකගත හැක්කේ පරිසරයේ පවතින විෂ වායු හා දුම් දූවිලි වැදීම නිසා ඇතිවන අපහසුතාවයි. ඉන් අප ගන්නා ආශ්වාස වාතයේ විවිධ විෂ කොටස් පැවතීම නිසා එය අපගේ පෙණහලුවලට ගොස් විිවිධ අසාත්මිකතා ඇති කිරිමට උත්සාහ කරයි. ඒ විතරක් නොව මුළු ස්වාසනාල පද්ධතියටම හානිදායක විය හැකියි. විශේෂයෙන් ඔබගේ නිවස්නය කර්මාන්තශාලාවක් අසල නම් ඉන් පිටවන විෂ දුම, එසේම වාහනවලින් පිටවන විෂ දුමද අපට අහිතකරයි. මෙහිදී ඔබගේ නිවස පාර අද්දර නම් මේ වාහන දුම අතිශය පීඩාවක් වනු ඇත. ඊටත් වඩා ඉන් සිදුවන්නේ ඇදුම වැනි රෝග තත්ත්ව ඇතිවීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීමයි. නිතර නිතර දූවිලි අංශු පාර පුරා විසිරී ගොස් වාහන යාම නිසා වාතය සමඟ එකතු වී අපගේ ආස්‍රාණය වීමෙන් විවිධ අසාත්මිකතාවන්ට ගොදුරු වෙයි.

දුම විෂ වීමෙන් ඇතිවන අසාත්මිකතාවට

දුම් අතර සිගරැට් දුම අපට ගෙනෙනුයේ දැඩි අපහසුතාවයක් මෙන්ම රෝගයකට අතවැනීමකි. විශේෂයෙන් ගර්භණී කාන්තාවට සිගරැට් දුම අනතුරු දායකයි. එසේම මදුරු කොයිල් දුම ආඝ්‍රණයවීම නිසා ඇදුම රෝගයට මුල පිරිය හැකියි. ඒ වගේම ඔබ ගෙදර දොරේ පිරිසුදු කරන විට අහුමුළුවල පවතින මල් පෝච්චිවල හෝ වෙනයම් භාණ්ඩයක් පුස් බැඳී ඇත්නම් ඒවා පිසදමන විට දුමාරය සමඟ නිකුත් වන කුඩක් වැනි කුඩා අංශු නාසයට ඇතුල් වී ස්වසනයට බාධා ඇති කළ හැකියි. එය යම් අසාත්මික රෝගයකට හේතු වීමට පුළුවන. මකුළු දැල් කැඩීමේදී ද මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.

මල්වල පරාග ආඝ්‍රාණයවීමෙන් ඇතිවන්නේ ද මෙවැනිම තත්ත්වයකි. හඳුන්කූරු, මදුරු දඟර, දර ලිප්වල දුම, කුණු රොඩු පිළිස්සෙන දුම පරිසරයට එකතු වීමෙන් ඇතිවන විෂ කොටස් නිසා ඇදුම රෝගය ඔබට ඇතිවීමට පුළුවන.

අසාත්මිකතා විවිධයි

ඉහත දැක්වූ හේතු කාරණා එලෙසම සෑම පුද්ගලයෙකුටම එක ලෙස බලපානු ලබන්නේ නැත. සමහරවිට එය යම් පුද්ගලයකුට ඔහුගේ සිරුරේ පවතින ප්‍රතිශක්තිකරණ හැකියාව හා ප්‍රකෘතිය මත මෙම අසාත්මිකතා බලපානු ඇත. මේ තත්ත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.

දේශගුණික හේතූන්ගේ බලපෑම

දේශගුණයේ යම් වෙනසක් වී ඇත්නම් එය ද ඔබව යම් රෝග තත්ත්වයන් කරා ඇද දමයි. මුහුද අද්දරට ගිය විට දැනෙන ඒ සීත ගතිය වැඩි වෙන්නේ සවස් කාලයේදීයි. මෙහිදී දැඩි සීත නිසා ඔබට යම් අසාත්මිකතාවක් ඇති වීමට පුළුවන. එසේම සීතාධික ප්‍රදේශවල පවතින දේශගුණය යම් අයෙක්ට නොගැළපෙන්නට පුළුවන. නුවරඑළිය වැනි සීතාධික ප්‍රදේශවල වෙසෙන්නන් වියළි ප්‍රදේශයකට ගියවිට ඇතිවන දේශගුණික බලපෑම මත ඔවුන්ට විරුද්ධ දේශගුණික බලපෑම මත අසාත්මිකතා ඇති වී ඇදුම රෝගය ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වෙයි.

ආහාර පාන පිසීමේදී

කරවල බදින විටදී ඇතිවන දුමත් සමඟ එන කැස්ස සිරුරට එතරම් සුදුසු නැත. ව්‍යාංජන පිසින විටදී තෙම්පරාදු කරන විට ඇතිවන සුවඳ සමඟ එන දුම නිසා ද යම් අසාත්මික රෝග ඇතිවීමට පුළුවන. විසිතුරු සෙල්ලම් බඩුවල නිමැවුම් නිසා අපට හානිකර වන්නේ එහි පවතින වූල් කෙඳිය. මේවා ආඝ්‍රාණය වීම සුදුසු නැත. මේවා නිර්මාණය කර ඇත්තේ ලොම්වලිනි. පුළුන් කොට්ට හරි හැටි නිරාවරණය නොවී තැනින් තැන සිදුරු වී ඇත්නම් ඉන් පිටවන පුළුං නිසා අපට ඒවා ආඝ්‍රාණය වී ස්වාසනාල කරා ගොස් විවිධ අසාත්මිකතා ඇති කරයි. ඒ වගේම ඇඳ ඇතිරිලි, කොට්ට, මෙට්ට, පාපිසිවල පවතින දුම් දූවිලි නිසා ද අපගේ ජීවිත මේ අසාත්මිකතාවලින් ගැලවීම පහසු වන්නේ නැත.

සුරතල් සතුන්

ඔබගේ ගෙදර දොරේ සිටින ඔබේ සුරතලා පූසෙක් විය හැකියි. නැතිනම් බල්ලෙක් විය හැකියි. මොවුන්ගේ ලොම් සමඟ ආශ්වාස ප්‍රාශ්වාස පහසු නැත. ඒවා අපගේ පෙණහලුවලට ගොස් හෝ ස්වසන පද්ධතියේ කොහේ හෝ රැඳී අපට වින කළ හැකියි. ඒ තුළින් ඇතිවන අසාත්මිකතා බොහෝයි. අවසානයේ ඇදුම තෙක් රෝගය පැමිණේ. එසේම පූසන් බල්ලන් වැනි සතුන්ගේ සිරුරේ පදිංචි කුඩා මයිටාවන් කුඩා දරුවන් ආශ්වාස කිරීම නිසා ද අසාත්මිකතාවන් ඇතිවිය හැකියි.

රැකියාවන් හේතු වේ

ලී කැටයම් කපන, වෙස් මුහුණු කපන, ලී ඉරන ස්ථානවලදී නිකුත් වන ලී කුඩු වර්ග නිසා ද අසාත්මික රෝගවලට ඔබව ගොදුරුවිය හැකියි. ඇඟළුම් කම්හල්වල රෙදි කපන අයට මේ රෝගය ඇතිවීම සුලබය. තේ කර්මාන්තශාලාවල වැඩ කරන අයට වගේම විශේෂයෙන්ම හුණු කූරු භාවිතා කරන ගුරුවරුන්ට ද ඇදුම ඇතිවිය හැකියි.

එනම් කළු ලෑල්ල භාවිතා කරමින් පාට පාට හුණුකූරුවලින් උගන්වන ගුරුවරුන්ටය. එසේම අළු හුණු කර්මාන්තශාලාවල වැඩ කරන කම්කරුවන් ද මේ තත්ත්වයට ගොදුරු විය හැකියි.

ආහාර පානවල දී

ශීතකළ ආහාර දරුවන් ගැනීමේදී මේ රෝග තත්ත්වය ඇතිවිය හැකියි. එය ඇතිවන්නේ දරුවාගේ සිරුරේ ස්වභාවය මතයි. ඉස්සො, දැල්ලො, බලමාළු, කකුළුවො, චට්නි වර්ග, අච්චාරු, සෝස් වර්ග, විනාකිරි, අන්නාසි, ජාඩි වර්ග සැමන් ලුණු දෙහි, බිලිං, අච්චාරු, හුරුල්ලො, කෙළවල්ලා වැනි මාළු වර්ග හා ගෝනමස්, හරක් මස්, ඌරු මස් ආදිය නිසා ඇදුම ඇතිවීමට පුළුවන.

ලබන සතියේ පපුවේ හතියට ප්‍රතිකාර