මෙවැනි හදිසි අපහසුතාවයකට ඔබත් මුහුණ දුන්නොත්....

මෙවැනි හදිසි අපහසුතාවයකට ඔබත් මුහුණ දුන්නොත්....

එදිනෙදා ජීවිතයේදී අපහට හදිසි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන අවස්ථාවන් එමටය. එවන් හදිසි අපහසුතාවයන් කිහිපයක් සහ ඒවායින් මිදීමට ගත හැකි පියවර කිහිපයකි මේ....

බෙල්ල රිදීම හා තද ගතිය

නිදි පැදුරෙන් හෝ ඇඳෙන් නැගිටින විට ගෙල පෙදෙස රිදීමක් හා තද ගතියක් ඇතිවීම අප කොයි කවුරුත් ඉඳහිට මුහුණ දෙන අසීරු තත්ත්වයකි. ගම්බදව මෙය හඳුන්වන්නේ බෙල්ල ඇමැට්ටි වීම ලෙසය.

මෙවැනි තත්ත්වයකට ප්‍රධානම හේතුව අපගේ ඉරියව් පවත්වා ගැනීමේ වැරදිය. හිස පහතට නමාගෙන බොහෝවේලා ඉඳගෙන සිටීම තමන්ට නොගැලපෙන කොට්ටයකට හිස තබා නිදා ගැනීම, බෙල්ල පැත්තකට හරවාගෙන රූපවාහිනිය නැරඹීම එවැනි තත්ත්වයන්ය.

ගෙල පෙදෙස උණුසම් ජලයෙන් පෙඟවූ තුවායකින් තැවීම. මෙය මිනිත්තු 10 ක් පමණ කාලයක් කළ යුතුය. දවසකට දෙවරක් පමණක් (නැතිනම් ඊට වඩා වාර ගණනක් මෙය කළ හැකිය.)

සමහර වෛද්‍යවරු හැකිලුණු ගෙල පේශීන් මත අයිස් තබා තැවීම ද අනුමත කරයි.

ඔබගේ වෘත්තියට අනුව හිස පහතට නවාගෙන වැඩ කිරීමට සිදුව ඇත්නම් වරින් වර හිස ඔසවා අවට බැලීම පුරුද්දක් කරගන්න. එසේම වරින්වර හිස දෙපසට සෙලවීම, මඟින් ද ගෙලට ඒකාකාරී බව තුරන් කර ගැනීමට හැකි වනු ඇත.

නිදා ගැනීමේදී හිස පමණට වඩා උස් කරවන කොට්ට භාවිතා නොකරන්න.

ඐ නිදා සිටින ඉරියව්ව උඩබැලි අතට (පිටුපස කොටස ඇඳෙහි මෙට්ටය මතට තිබෙන සේ හෝ ඇලයට වීම සුදුසුය. කුස පහතට සිටින සේ නිදා ගැනීමට නොයන්න.

ඐ රූපවාහිනිය නැරඹීම එය ඉදිරියේ ඉඳ සිදු කරන්න.

මෙම තත්ත්වය පේශි පටලැවිල්ලක් නිසා බොහෝවිට ඉක්මනින් යථා තත්ත්වයට පත්වනු ඇත. එහෙත් වේදනාව ගෙල පෙදෙසේ සිට උරහිස් දෙසට ද, එතනින් අත් දිගේ පහළට ද පැතිර යන බවක් දැනේ නම් වෛද්‍යවරයකු හමුවන්න අවශ්‍ය බව මතක තබාගන්න.

බඩ පපුව දැවිල්ල

මෙය බොහෝදෙනා නොයෙක් විට පැමිණිලි කරන තත්ත්වයකි. උගුරට ඒම සහ බඩ පපුව දැවිල්ල ඇතිවීම වැළැක්වීමට ඔබට ගතහැකි පියවර කිහිපයක් මෙසේය.

සිරුරේ බර අඩු කරගන්න. සිරුරේ බර වැඩිවීම නිසා බඩ පපුව දැවිල්ල ඇතිවිය හැකි වනවා පමණක් නොව එය උග්‍ර කිරීමට ද සමත්ය, ව්‍යායාම ගැනීම, ඇඟ වෙහෙසීම සහ ආහාර අඩු කිරීම තුළින් ඔබට බර වැඩි වීම පාලනය කළ හැකිය. එය බඩ පපුව දැවිල්ලෙන් මිදීමට ද උදව්වකි.

විශාල බත් පිඟානක් කෑමෙන් වළකින්න. ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමට සිත බල කළත් පමණට වඩා ආහාර ගැනීම බඩ පපුව දැවිල්ල ඇති කිරිමට මඟපාදයි.

අධිකව කුළුබඩු යෙදූ ආහාර ගැනීම, තෙල් සහිත සහ තෙම්පරාදු කළ ආහාර ගැනීම චොකලට්, පෙපර්මින්ට් ඇතුළු ඔබට බඩ පපුව දැවිල්ල ඇති කරනු ඇති බවට ඉඟි ලද ඕනෑම ආහාරයක් ගැනීමෙන් වළකින්න.

නිසි වේලාවට ආහාර ගන්න.

හැකිනම් අවදි වී මිනිත්තු 30 ක් ඇතුළත උදෑසන ආහාරය ගන්න.

උදෑසන ආහාර වේලත් දිවා ආහාර වේලත් අතර පරතරය පැය 4 ක් ඉක්මවා නොයන්න.

නින්දට යාමට පැය 3 කට පෙර රාත්‍රී ආහාරය ගැනීමට උත්සාහ ගන්න.

දුම්පානයෙන් වළකින්න. දැනටමත් දුම්පානය කරන්නේ නම් එක සිතින් සිතාගෙන එයින් ඈත්වන්න.

මත්පැන් පානයෙන් වළකින්න නැතිනම් එය හැකි පමණ සීමා කරන්න.

බඩ පපුව දැවිල්ලෙන් මිදීමට කිරි පානය කිරීමෙන් වළකින්න. පානය කළ විගසම යම් සහනයක් ලැබුණ ද ඉන් ඇතිවන අම්ල හේතුකොට බඩ පපුව දැවිල්ල ඉහළ යා හැකිය.

වායු මිශි‍්‍රත සිසිල් බීම හා කෝලා පානයෙන් වළකින්න.

ආහාර ගන්නා අතරතුර දියර ගැනීම අවම කරන්න.

චුවිංගම් හැපීම මඟින් වැඩිපුර කෙළ නිපදවෙන අතර එය බඩ පපුව දැවිල්ල වළක්වාලීමට සමත් වෙයි.

තේ, කෝපි, කොකෝවා පාන ද සීමා කිරීම වැදගත්ය.

කුෂ්ටයට හේතුව නිකල් ලෝහය ද?

ඔබ පැළඳූ ස්වර්ණාභාරණයක් හේතුකොට අත, ගෙළ හෝ කන කසන, තුවාලවන හා වණ වන තත්ත්වයක් ඇති වුයේද?

මෙයට හේතු ගණනාවක් තිබිය හැකි වුවද එයට ප්‍රධානම හේතුවක් වන්නේ ආභරණය තුළ නිකල් ලෝහය මිශ්‍රව පැවතීමය. නිකල් සෑම තැනම ඇත. ආහාර, ජලය, ඇඳුම් පැළඳුම්, ආභරණ, කතුරු, ඉදිකටු ආදිය එයට උදාහරණය. නිකල් ලෝහය බොහෝදෙනෙකුට ගැටලුකාරී නොවුවද ඉඳහිට කෙනෙකුට එය අසාත්මික තත්ත්ව මතු කරයි.

ස්වර්ණාභරණ හෝ වෙනත් ආභාරණයක් හෝ මිලදී ගන්නා විට එය නිකල් මිශ්‍ර නැති බව සනාථ කරගන්න. නිකල් රහිත රත්තරන්, රිදී, ප්ලැටිනම් හා මල නොබැඳෙන වානේ ආදී කවර ද්‍රව්‍යයකින් නිමැවූ ආභරණයක් වුවද පැළඳීමෙන් පසු ඇඟ කැසීම, පලු දැමීම ආදී ප්‍රතික්‍රියා දක්වන්නේ නමි එවැනි ආභරණ පැළඳීමෙන් වළකින්න. ඔරලෝසු පටි, කතුරු, ගොතන කටු, ඉදිකටු ආදිය ද එසේමය.

මෙවැනි ප්‍රතික්‍රියා බොහෝවිට ඇතිවන්නේ අධිකව දහඩිය දමන දිනවලදී බවත් මතක තබා ගන්න.

මෙම ප්‍රතික්‍රියා හට ගත්තොත් සීතල වතුරෙන් හෝ අයිස් කැටයකින් තවන්න.

ක්ලෝරෆෙනරමින් පෙත්තක් ගැනීම හා හයිඩ්‍රකෝටිසෝන් අඩංගු ආලේපයක් ගැල්වීම සුවයක් ගෙන දිය හැකිය.

දින 3 -4 කට වඩා ඇඟ කැසීම, පලු දැමීම, වණයක් ඇතිවිට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.