දරුවකු ගැන හිතන ඔබට ප්‍රොජෙස්ටරෝන් නැතිවම බැහැ

දරුවකු ගැන හිතන ඔබට ප්‍රොජෙස්ටරෝන් නැතිවම බැහැ

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

පසුගිය කලාපයේදි අපි කතා කළේ ස්ත්‍රී හෝර්මෝන අතරින් “ඊස්ට්‍රජන්” නම් වූ හෝර්මෝනය ගැනයි. ඊස්ට්‍රජන් ගැන කථා කරන විට ඒ හා සමඟම අත්‍යවශ්‍ය හෝර්මෝනයක් වූ ප්‍රොජෙස්ටරෝන් Progesterone  අමතක කරන්න බැහැ. අද අපි මේ හෝර්මෝනයේ සුල මුල ගැන සොයා බලමු. ප්‍රොජෙස්ටරෝන් කියන්නේ ස්ත්‍රියකගේ ඔසප් චක්‍රයට, ගර්භණීභාවයට එහෙම නැතිනම් කලලයක් නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය හෝර්මෝනයක්. ඊස්ට්‍රජන් මඟින් “ස්ත්‍රීත්වය” ලබා දුන්නත්, උදව් වන්නේ මෙම ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනයයි.

ස්ත්‍රී ශරීර තුළ මෙම හෝර්මෝනය නිපදවනු ලබන්නේ ඩිම්බ කෝෂය ආශි‍්‍රතවයි. අපි ඒ ගැන ටිකක් පැහැදිලි කර ගනිමු. ස්ත්‍රී ඩිම්බ කෝෂය යනු දරුවන් බිහි කිරිමට අවශ්‍ය “බිත්තර” හෙවත් “ඩිම්බ” නිපදවන ස්ථානයයි. අපි “දරු බොක්ක” කියලා හඳුන්වන ගර්භාෂයට ඉහළින් දෙපසට වන්න මෙම ඩිම්බ කෝෂ දෙකක් පිහිටලා තියෙනවා. ඔසප් චක්‍රයේ දින ගණන අනුව, සාමාන්‍යයෙන් මසකට වරක් පමණ මෙම “ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක්” හෙවත් ස්ත්‍රී බිත්තරයක් බැගින් පිට කිරීමට සූදානම් කරනවා. ඔසප් චක්‍රයේ පළමු දින කිහිපය තුළදී මෙම සූදානම් කරන ඩිම්බය ““Ovarian follicle (මෙහි තේරුම ඩිම්බ කෝෂයේ නිපදවෙන ඩිම්බය රැගත් කුහර සහිත ව්‍යුහය යන්නයි) නම් වූ ව්‍යුහයක් ලෙස වැඩි දියුණු වෙනවා.

හරියටම ඔසප් චක්‍රයේ මැද කොටසේදී (ඒ කියන්නේ දළ වශයෙන් දින 14 කට පමණ පසුව) මෙම ව්‍යුහයෙන් “ඩිම්බය” හෙවත් ස්ත්‍රී බිත්තරය ගර්භාෂය බලායාම සඳහා නිදහස් කරනු ලබනවා. (Ovulation)  ඩිම්බය නිදහස් කළ පසුව Ovarian follicle නම් වූ ඉහත සඳහන් කළ ව්‍යුහය ((Corpus luteum  එක මඟින් තමයි අද අපි සාකච්ඡා කරන “ප්‍රොජෙස්ටරෝන්” හෝර්මෝනය නිපදවනු ලබන්නේ. තමන් නිදහස් කළ “ඩිම්බය” හෙවත් ස්ත්‍රී බිත්තරය “පැලෝපීය නාලය” නම් වූ පාර දිගේ ගර්භාෂය පැත්තට යනවිට මෙම ඉතිරි වූ “කහපාට ව්‍යුහය” ඩිම්බකෝෂයේම රැඳී සිටිනවා.

එසේ රැඳී සිටිමින් මෙම ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිපදවනු ලබනවා. මෙම හෝර්මෝනය මඟින් ගර්භාෂයේ ඇතුළත ආස්තරය හෙවත් ඇතුළත බිත්තිය  (Endometrium)  දරු ගැබක් සඳහා අවශ්‍ය පරිදි පවත්වාගෙන යනු ලබනවා. තමන් නිදහස් කළ බිත්තරය හෙවත් ඩිම්බය පුරුෂ බිත්තරයක් හෙවත් ශූක්‍රාණුවක් සමඟ සංසේචනයක් හෙවත් සම්බන්ධ වීමක් සිදුවුණොත් මෙම “කහපාට ව්‍යුහය” දිගටම ඩිම්බකෝෂයේ රැඳී සිටීමෙන් මෙම හෝර්මෝනය නිපදවමින් හටගත් දරුඵලය ගර්භාෂ බිත්තියේ මනාලෙස තබා ගැනීමට කටයුතු කරනවා.

එයින් අදහස් කරන්නේ හටගත් දරුඵලය ගර්භාෂ බිත්තියේ පවත්වාගෙන යනු ලබන්නේ මෙම ප්‍රොජෙස්ටරෝන් නැමැති හෝර්මෝනය මඟින් බවයි. හටගත් දරු ඵලයේ ඇති සෛල ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවෙද්දී, දරුවා ක්‍රමයෙන් කුස තුළ වර්ධනය වෙද්දී දරුවා දරුගැබට පෙකෙණිවැල මඟින් සම්බන්ධ වී ඇති “වැදෑමහ” Placenta  නම් වූ ස්ථානය මඟින් ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිපදීමට පටන් ගන්නවා. එමඟින් දරු ගැබ මනාලෙස ගර්භාෂ බිත්තියේ රඳවා තබා ගන්නවා. අනිත් අතට, තමන් නිදහස් කළ ඩිම්බය පුරුෂ බීජයක් සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් නොලැබුණහොත්, (දරු ඵලයක් ඇති නොවුණහොත්) පෙර කී “කහපාට ව්‍යුහය” ක්‍රමයෙන් දුර්වල වී ක්ෂය වී ප්‍රොජෙස්ටරෝන් නිපදවීම එම ඔසප් චක්‍රය සඳහා නවතා දමනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ ගර්භාෂ බිත්තියේ ඇති දරු ගැබට සූදානම් කර ආස්තරණය හෙවත් ආවරණය ගැලවී යාමයි. මෙලෙස එය ගැලවී යාම “ඔසප් වීම” ලෙස අප පිටතින් දකිනවා.

මිනිස් සිරුරේ ඉහත සඳහන් කළ පරිදි ඩිම්බ, කෝෂය තුළ හා වැදෑමහ තුළ නිපදෙනවාට අමතරව මෙම හෝර්මෝනය වකුගඩුව උඩින් පිහිටා ඇති අධි වෘක්ක ග්‍රන්ථියේදී ද නිපදවන බව සඳහන් කළ යුතු වෙනවා. ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය මූලික වශයෙන් දරු ගැබක් ඇති කිරීම සඳහා කොතරම් වැදගත් ද යන්න පාඨක ඔබට වැටහෙනවා ඇති. මීට අමතරව දරු ගැබ පවත්වාගෙන යාම සඳහාත් මෙම හෝර්මෝනය විශාල දායකත්වයක් දක්වනවා. මේ නිසාම සරලව මෙම හෝරමෝනය “දරු ගැබේ හෝර්මෝනය” Hormone of Pregnancy  ලෙස හඳුන්වනු ලබනවා. දරු ගැබ ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලියට අමතරව දරු ප්‍රසූතිය සඳහා දායක වීමත්, කිරි එරීමට බලපෑමත්, ශ්වසන පද්ධතියට බලපෑමත්, ස්නායු පද්ධතියට බලපෑමත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, මුඛ සෞඛ්‍යය, රුධිරය කැටි ගැසීම ආදී වූ නොයෙකුත් කරුණු කාරණා සඳහාත් කිසියම් කාර්යයභාරයක් සිදු කිරීම හා බලපෑමක් මෙම හෝර්මෝනය මඟින් ඉටු කරනු ලබනවා.