ආහාර හොඳින් විකා ගිලීමට හුරුවන තුරු දරුවන්ට රටකජු, කඩල දෙන්න එපා

ආහාර හොඳින් විකා ගිලීමට හුරුවන තුරු දරුවන්ට රටකජු, කඩල දෙන්න එපා

කොළඹ ජාතික රෝහලේ

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ චශල්‍ය වෛද්‍ය

චන්ද්‍රා ජයසූරිය

උගුර ආශි‍්‍රතව ඇතිවන ආබාධ බහුල ය. උගුරේ යමක් සිරවී ඇති බව දැනෙන විට බොහෝදෙනෙකු සිතන්නේ එය පිළිකාවක් කියා ය. විශේෂයෙන් ම කුඩා දරුවන් තුළ නිතර නිතර සෙම් ගෙඩි ඇතිවීම ද සරල කරුණක් නොවේ. එසේම රටකජු ඇට, බොත්තම්, කුඩා මූඩි පිට උගුරේ සිර කර ගැනිම නිසා කුඩා දරුවන් මිය ගිය අවස්ථා ද ඇත. මේ අනුව බලන විට පෙනීයන්නේ උගුර ආශි‍්‍රතව ඇතිවන ආබාධ, අනතුරු සුළු කොට තැකිය නොහැකි බවයි. එසේ ඇතිවන ගැටලු උගුර කන නාසය ආශි‍්‍රත රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය පරීක්ෂණ චන්ද්‍රා ජයසූරිය මහත්මිය වෙත යොමු කළෙමු.

උගුර බැරැන්ඩි වන්නේ ඇයි?

උගුර බැරැන්ඩි වීම ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය කටහඬ වෙනස්වීමේ අවස්ථාවක්. එලෙස කටහඬ වෙනස්වීමට හේතු කීපයක්ම බලපානවා.

උගුරේ පිළිකා ඇතිවීම, උගුරේ ස්වර තන්තු අකර්මණ්‍යවීම, රැකියාව අනුව උස් හඬින් වැඩි වේලාවක් කතා කිරීම වැනි හේතු.

එලෙස උගුර බැරැන්ඩි වී කටහඬ යථා තත්ත්වයට පත් නොවී එක දිගටම සති දෙකක පමණ කාලයක් පැවතුණහොත් උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු ලවා උගුර පරීක්ෂා කරවා ගත යුතුයි. උගුරේ පිළිකාවක් නිසා උගුර බැරැන්ඩි වීම ඉතා කලාතුරකින් සිදුවන දෙයක්. එසේ වුවත් මුල් අවස්ථාවේදී උගුරේ පිළිකාවක් හඳුනාගත් පසුව ඉතා සාර්ථකව ප්‍රතිකාර කර එය සම්පූර්ණයෙන්ම සුවකිරීමේ හැකියාව තිබෙනවා.

උගුරේ යමක් සිර වී ඇතිබව දැනෙන්නේ ඇයි? (විශේෂයෙන්ම කෙළ ගිලින විට)

උගුරේ පිළිකාවක් තිබෙනවිටත් එසේ විය හැකියි. එහෙත් එම රෝග ලක්ෂණ ඇතැයි කියන බොහෝදෙනෙකුගේ උගුරේ පිළිකා ඇත්තේ නෑ. ඔවුන් තමන්ට උගුරේ පිළිකාවක් ඇතැයි කියා අනවශ්‍ය ලෙස බියක් ඇති කරගත් අයයි. ඇතැම් විට දන්නා හඳුනන කෙනෙකුට උගුරේ පිළිකාවක් ඇතැයි දැන ගත්විට මෙම තත්ත්වය බොහෝ දෙනෙකුට ඇති වෙනවා. උගුරේ අපහසුවක් ඇත්නම් ඒ පිළිබඳව දුක්වෙමින් මානසිකව රෝගී වන්නේ නැතිව, සුදුසු වෛද්‍යවරයකු වෙත යාම ඉතාම සුදුසුයි.

උගුරේ යමක් සිරවී ඇති බව දැනීමට තවත් හේතු තිබෙනවා. ආමාශයේ අම්ල ගතිය අධික වී ගලනාලය දෙසට අම්ලය ආපසු ගමන් කරන විට ද උගුරේ ගුලියක් සිරවී ඇතිවාක් මෙන් දැනීමට පුළුවන්. ඒ සඳහා ටික කලක් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු වෙනවා.මෙහිදී පහත සඳහන් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියාකිරීමට සිදුවෙනවා.

අධිකව තෙල් සහ ඇඹුල් දැමූ ආහාර නිතර ගැනීම අගුණයි. සාමාන්‍ය වශයෙන් මිරිස් තුනපහ යෙදූ ආහාර වේලක් ගැනීම බාධාවක් වන්නේ නෑ. ඌරු මස්, හරක් මස් වැනි තෙල් අධික ආහාර ගැනීම ගුණ නෑ. මෙහිදී කුස ගින්නේ සිටීම මෙන්ම අධික ලෙස කුස පුරවා ගැනීම ද අගුණයි. උදේ ආහාර වේල උදෑසන 7ට පමණ ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතුයි. දවල් 1 ට පෙර දිවා ආහාරය ද, රාත්‍රී 8ට පෙර රාත්‍රී ආහාරය ද ගත යුතු වෙනවා. එවැනි රෝගීන් රාත්‍රී නින්දට යනවිට රාත්‍රී ආහාරය තරමක් ජීර්ණය වී තිබීම සුදුසුයි.

එසේම මෙවැනි තත්ත්වයක් ඇති රෝගීන් ආහාර ගැනීමෙන් පසුව අධික ලෙස ජලය පානය කිරිම අගුණයි. ආහාර ගැනීමෙන් පසුව ජලය ටිකක් පානය කිරීම සුදුසුයි. ආහාර වේල් දෙකක් අතරතුරදී දියර වර්ග හැකි පමණ පානය කිරීම සුදුසුයි.

ආමාශයේ අම්ල ගතිය වැඩි වී උගුර අපහසුතාවට පත්වන එවැනි රෝගීන් බෙලි, ආනමාලු, අලිපේර වැනි ඇසිඩ් අඩු පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.

එසේම මොවුන් නිදාගන්නා විට හිස ශරීරයට වඩා උස් මට්ටමකින් පවතින සේ තබා ගැනීම සුදුසුයි.

ඇත්තටම උගුරේ පිළිකාවක් ඇත්නම් එහි ලක්ෂණ මොනවාද?

ශරීරයේ බර ඉතා කෙටි කාලයකදී අඩු වීම, ශරීරය කෙට්ටුවීම (කලින් ශරීරයට තදව තිබූ ඇඳුම් බුරුල් වී ඇති බව දැනීම) ආහාර වේලක් ගැනීමට ඉතාම දිගු වේලාවක් ගතවීම, එලෙස ආහාර ගැනීමේදී කෑම ගිලීමට බැරිව කීපවිටක්ම ජලය පානය කිරීමට සිදුවීම, කලක් ගත වනවිට සම්පූර්ණයෙන්ම ආහාර ගැනීම නතර කිරිමට සිදුවීම, නිතර ආහාර පිට උගුරේ යාම නිසා ගැටලු මතුවීම වැනි රෝග ලක්ෂණවලින් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇත්නම්, උගුරේ පිළිකාවක් විය හැකි බවට අනුමාන කළ හැකියි.

නිතර සෙම්ගෙඩි ඇතිවන්නේ ඇයි?

අපගේ උගුරේ පිහිටා තිබෙන වසා පද්ධතියට අයත් ගැටිත්ත සෙම් ගෙඩි ලෙස හඳුන්වනවා. එසේ හැඳින්වුවත් මෙහි සෙම ඇත්තේ නෑ. එසේම ගෙඩියකුත් ඇත්තේ නෑ. බොහෝවිට සෙම්ගෙඩි ප්‍රදාහය ඇතිවන්නේ කුඩා දරුවන්ටයි. එම ගැටිත්ත උගුර හරහා සිරුරට ඇතුළු වන විෂබීජ විනාශ කිරීමට උදව් වෙනවා. කුඩා දරුවන්ගේ සෙම්ගෙඩි සාමාන්‍යයෙයන් විශාලයි. වැඩිහිටි වයසට පත්වන විට සෙම්ගෙඩි ලෙස හඳුන්වන මෙම ගැටිති කුඩා වෙනවා. සෙම්ගෙඩි ප්‍රදාහය වැඩි වශයෙන් ඇතිවන්නේ ස්ට්‍රෙප්ටොකොකස් නම්, බැක්ටීරියාවෙන්. මෙහි රෝග ලක්ෂණ ලෙස උණ, ගිලීමේ අපහසුව, කටහඬ වෙනස්වීම, ඇඟපත වේදනාව ආදිය ඇතිවෙනවා. සෙම්ගෙඩි ආසාදනය වූ විට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරුන් ප්‍රතිජීවක ලබා දෙනවා. මෙහිදී විෂබීජ නාශකයකින් උගුර සේදීමත්, උණුසුම් දියර වර්ග පානය කිරීමත් සුදුසුයි.

සෙම් ගෙඩි ප්‍රදාහය ඇති කරන මෙම බැක්ටීරියාවට වකුගඩු ප්‍රදාහය, රූමැටික් උණ ඇති කිරීමේ හැකියාව තිබෙනවා. රුමැටික් උණවල ප්‍රතිඵල හැටියට සන්ධි ඉදිමීම, හෘදයේ කපාට රෝගී වීමත් සිදුවිය හැකියි.

සෙම්ගෙඩි ආසාදනය උගුරේ අවට ඇති පටකවලට පැතිර ගොස් සැරව ගෙඩි ඇතිවීමේ හැකියාව තිබෙනවා. මේ නිසා සෙම් ගෙඩි ප්‍රදාහය සුළුවෙන් තැකීම සුදුසු නෑ. නිතර නිතර සෙම්ගෙඩි ප්‍රදාහය ඇති වේ නම්, එය ඉගෙනීමට හෝ රැකියාවට බාධාවක් නම්, ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමට සිදුවෙනවා.

උගුර රිදෙන සෑම අවස්ථාවකදීම එයට හේතුව සෙම්ගෙඩි ප්‍රදාහයම බව සැකහැර දැනගත යුතු වෙනවා. පිට පිට වසර දෙකකදී වසරකට පස් හය වතාවකට වඩා සෙම්ගෙඩි ආසාදනය වුවහොත් උගුර, කන නාසය ශල්‍ය වෛද්‍යවරයකු හමු වී සුළු සැත්කමක් කළ යුතු වෙනවා.

එම ශල්‍යකර්මය සඳහා පිටතින් කැපුමක් අවශ්‍ය වන්නේ නෑ. උගුර තුළින්ම එය සිදුකළ හැකියි.

උගුරේ ආසාදනයක් ඇතිවිට ශල්‍යකර්මය සිදු කරන්නේ නෑ

ශල්‍යකර්මයෙන් පසුව රුධිර වහනය වීමේ අවදානමක් පවතින නිසා පැය 24 ක් රෝහලේ සිටිය යුතුයි.

ශල්‍යකර්මයෙන් පසුව උගුරේ තුවාලය සුව වීමට සතියක් පමණ කල්ගතවන නිසා සෙනඟ ගැවසෙන ස්ථානවලට නොගොස් නිවසේම රැඳී සිටීම වැදගත්.

උගුරේ කටුවක් සිරවූ පසුව මොනවාද කළ යුත්තේ! උගුරේ කටු ඇනීම නිසා පිළිකා ඇති වෙනවාද?

මෙහිදී ප්‍රධානම කරුණ කලබල නොවී සිටීමයි. උගුරට ඇඟිලි දැමීම හෝ වමනය කිරීම සුදුසු වන්නේ නෑ. කටුව සිරවූ අවස්ථාවේ සිට කිසිවක් ආහාරයට ගැනීම සුදුසු වන්නේ නෑ. කටුවක් පහසුවෙන් ම සිරවිය හැකි හා ඇනිය හැකි ස්ථාන කීපයක් උගුරේ තිබෙනවා.

උගුරේ තිබෙන සෙම් ගෙඩි ලෙස හඳුන්වනු ලබන ගැටිති උගුරට නෙරා සිටින සේ පිහිටා ඇති නිසා ඒවායේ ඇනීමේ හැකියාව වැඩියි.

කටුව දිවේ පිටුපස ඇනිය හැකියි.

ගලනාලයේ හෝ ග්‍රසනිකාවේ ඉහළම කොටසේ කටු ඇනිය හැකියි.

සමහරවිට කටුව ඇත්තටම සිරවී නැතත් කටුව ඇනුණු තුවාලය නිසා දැනෙන වේදනාව රෝගියා බියට පත් කරනවා. වෛද්‍යවරයා විසින් රෝගියා පරීක්ෂා කර බලා කටුවක් පෙනෙන්නට තිබුණහොත් අඩුවකින් අල්ලා එය ඉවත් කරාවි. බෙල්ල එක්ස් කිරණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් ඇසට නොපෙනන මායිමේ ඇති කටු හඳුනා ගැනීමේ අවස්ථාව තිබෙනවා. එක්ස් කිරණ වාර්තාවෙන් කටුවක් පෙන්නුම් කළත් නැතත් රෝගියා අපහසුවෙන් සිටී නම්, නිර්වින්දනය කර උගුර පරීක්ෂා කරනු ඇති. රෝගියා නිර්වින්දනය කිරීමට ආමාශය හිස්ව තිබිය යුතුයි.

කටුවක් ඇනී එය නොසලකා සිටියහොත් උගුරේ සැරව ගෙඩියක් ඇතිවීමේ හැකියාව තිබෙනවා. එම සැරව ගෙඩිය සුව වීමට ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතු වෙනවා. එසේ ආසාදනය පැතිරීම භයානක තත්ත්වයක්.

කටුවක් ඇනුණු පසුව ඔබට කිසිම අපහසුවක් නැතිනම් වෙනදා මෙන් ආහාර ගැනීමට හැකි නම් රෝහලට යාමේ අවශ්‍යතාවක් ඇත්තේ නෑ.

කටුවක් සිරවීම නිසා ඇනීම නිසා පසුකලෙක උගුරේ පිළිකාවක් ඇති වේ යැයි බිය විය යුතු නැහැ.

උගුරේ ඇනෙන කටු කාලයක් රැඳී තිබෙන්නේ නෑ. එය විගසින් ඉවත් නොකළහොත් සැරව ගෙඩි සෑදෙනවා. පසුව එම සැරව ගෙඩිය පිපිරෙන විට කටුව ඉවත් වෙනවා.

කුඩා දරුවකුට කාසියක් හෝ ඔරලෝසු බැටරියක් ගිලුණොත්.....

කාසියක් ගිලුණු විට සාමාන්‍යයෙන් එය ගමන් කරන්නේ ගලනාලයටයි. කාසිය විශාල නිසා එම ස්වාසනාලයට යාමේ හැකියාව අඩුයි. රෝහලකදී දරුවා නිර්වින්දනය කර කාසිය පහසුවෙන් ඉවත් කරන්න පුළුවනි. දරුවාට ආහාර පාන කිසිවක් නොදී හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යා යුතුයි. කාසිය ඇති ස්ථානය එක්ස් කිරණ පරීක්ෂාවකින් නිවැරදිව කිව හැකි නිසා එය ඉවත් කිරීම වෛද්‍යරුන්ට එතරම් අපහසු වන්නේ නෑ. ආමාශය දක්වා ගමන් කළ කාසියක් පසුදා වැසිකිළියට යන නිසා බිය විය යුතු වන්නේ නෑ.

එහෙත් දරුවකු ඔරලෝසු බැටරියක් ගිල දැමූ විට එය භයානක තත්ත්වයක්. දරුවා වහාම රෝහලකට රැගෙන යා යුතුයි. ඔරලෝසු බැටරියේ ඇති රසායනික ද්‍රව්‍ය පිටතට කාන්දු වී බඩවැල් සිදුරු කිරීමේ අවදානමක් තිබෙනවා. එය දරුවාගේ ජීවිතයට තර්ජනයක් විය හැකි කරුණක්. බැටරිය ගැනීම ප්‍රමාද වුවහොත් බැටරියේ ඇති මැංගනීස් රසදිය වැනි ලෝහ විෂවී දරුවා මිය යාමට ද හැකියාව තිබෙනවා.

යමෙකුගේ කටහඬ හිටිහැටියේම පිට නොවන්නේ ඇයි?

පියවි සිහියෙන් සිටින අයකුග් කටහඬ සම්පූර්ණයෙන්ම නැතිව යන්නේ මානසික ආතතියක් ඇති වූ විටකදී. බියවීම, ළඟම ඥතියකුගේ අභාවය, කර්මාන්තශාලවල ඇති වෙහෙසකර සේවා මුරය වැනි හේතු නිසා හිටිහැටියේ කටහඬ සම්පූර්ණයෙන්ම නැති වී යා හැකියි.

ඒ වගේම අංශභාගය හෝ මොළයේ ආබාධයක් ඇති වූ විටද ස්වර තන්තු සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී කටහඬ සම්පූර්ණයෙන්ම නැති වී යා හැකි වෙනවා. මානසික ආතතිය අඩු වූ විට රෝගියාගේ තත්ත්වය හොඳ අතට හැරෙනවා. අංශභාග රෝගය නිසා හදිසියේම කටහඬ නැතිව ගියේ නම්, සුවපත් වීමේදී පියවි තත්ත්වයට පත් වෙනවා. මෙහිදී කථන පුහුණු චිකිත්සකයකුගේ සේවය අවශ්‍ය විය හැකියි.

පිට උගුරේ යමක් සිරවීම භයානක තත්ත්වයක් ද?

ඔව් පිට උගුරේ යමක් සිරවීම භයානක තත්ත්වයක්. විශේෂයෙන් රටකජු ඇට වැනි ධාන්‍ය වර්ග, පිට උගුරේ යෑම ලෙස හඳුන්වනු ලබන්නේ ස්වසන මාර්ගය අවහිර වීමයි. ධාන්‍ය ඇටයක් එලෙස පිට උගුරේ ගිය විට එයට ජලය උරාගෙන තවත් විශාල විය හැකියි. ජලය උරා නොගන්නා ඉතා කුඩා සෙල්ලම් බඩු කැබලි වැනි දෑ ස්වාසනාළිකාවල රැඳී පෙණහලු අක්‍රියවීමට හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පිට උගුරේ යමක් සිරවන්නේ ආහාර ගන්නා විට කැස්ස ඇති වූ විටයි. ඒ නිසා ස්වසන පද්ධතියේ ආසාදන ඇති දරුවන්ට යම් යම් දේ පිට උගුරේ යාම් හැකියාව වැඩියි.

දරුවකුට යමක් පිට උගුරේ ගිය බව වැඩිහිටියකු දුටුවොත්, දරුවාව වහාම රෝහලක් වෙත රැගෙන යා යුතුයි. සමහර විට කවුරුත් නොදැන දරුවාගේ ස්වසන මාර්ගයට යමක් ඇතුළු වුවොත්, හදිසියේ ඇදුම වැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එවිට දරුවා මලානික වී රෝගී තත්ත්වයට පත්වනවා.

රෝහලේදී එක්ස් කිරණ පරීක්ෂාවකින් ඉතාම පහසුවෙන් පිට උගුරේ ගිය ද්‍රව්‍ය ඇති ස්ථානය පිළිබඳව දැනගත හැකියි. ස්වසන පද්ධතියේ ආගන්තුක ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඒ කටයුත්තකට ඉතාම පළපුරුදු උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු, නිර්වින්දන වෛද්‍යවරයකු සහ හෙදියන් සහය විය යුතුයි. එහිදී විශේෂ උපකරණ භාවිතයෙන් පිට උගුරේ ගිය ආගන්තුක ද්‍රව්‍ය ඉවත් කළ හැකි වෙනවා. එවැනි අනතුරු සිදුවන්නේ කුඩා දරුවන්ට රටකජු, කඩල වැනි කුඩා ඇට වර්ග කෑමට දීම නිසයිි. ඒ නිසා දරුවකුට වයස අවුරුදු 4ක් 5ක් සම්පූර්ණ වී හොඳින් සපා ආහාර ගැනීමට හුරු වනතුරු එවැනි ආහාර නොදී සිටිය යුතුයි. කටේ දමාගත හැකි ඉතා කුඩා කොටස් ඇති සෙල්ලම් බඩු දරුවනට දීම ඉතා නුසුදුසුයි. ස්වසන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරන ආගන්තුක ද්‍රව්‍ය උගුරේ සිර වූ විට රෝහලකට යාමට පෙර රෝගියා මිය යා හැකියි. එවැනි රෝගියකුට දිය හැකි ප්‍රථමාධාරයක් තිබෙනවා. එය හඳුන්වන්නේ Heimlich Maneuver  නමින්. ඒ රූපසටහනේ දැක්වෙන ආකාරයට පිට උගුරේ ගිය පුද්ගලයාගේ පිටුපසින් ගොස් මෙම පුද්ගලයාගේ උදරයට තෙරපුමක් ලබාදිය යුතුයි. එවිට උරස් කුහරයේ පීඩනය වැඩි වී ආගන්තුක ද්‍රව්‍ය උගුරෙන් එළියට විසි වෙනවා. කුඩා දරුවකුගේ පිට උගුරේ යමක් සිර වූ විට ඕ රූපසටහනේ දැක්වෙන ආකාරයට දරුවාගේ හිස පහතට සිටින සේ අල්ලා පිටට යම් පමණක වේගයෙන් පහරක් දිය යුතුයි. එවිට දරුවාගේ ස්වසන මාර්ගයේ සිරවී ඇති ආගන්තුක ද්‍රව්‍ය පිටතට විසිවනු ඇති.

හදිසි අනතුරු නිසා උගුරට වන හානියකදී බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකිද?

උගුර දණ්ඩ ඉදිරියට නෙරා ඇති නිසා රිය අනතුරුවලදී, බොක්සිං ක්‍රීඩාවේදී මෙන්ම ගෙල සිර කිරීම්වලදී උගුරට හානි සිදුවීමේ අවස්ථාව වැඩියි. මෙහිදී කටහඬ පිට කිරීමට මෙන්ම ස්වසනයට අපහසුතා ඇති වීමට ඉඩ තිබෙනවා. ස්වසන අපහසුතා ඇත්නම්, නිර්වින්දනය කර උගුරට ඇතුළතින් බටයක් දැමීමට හෝ උගුර සිදුරු කර බටයක් දැමීමට හෝ සිදුවෙනවා.

පසුව රෝගියාගේ උගුරු දණ්ඩට සිදුවී ඇති හානිය ශල්‍යකර්මයකින් නිවැරදි කළ යුතුයි. සමහරවිට මෙම ශල්‍යකර්මයෙන් ස්වසන අපහසුතා අඩු කර ගැනීමට හැකි වුවත්, පෙර තිබූ පරිදිම කටහඬ ලබා ගැනීමට හැකිවන්නේ නෑ. ඇතැම්විට රෝගියාගේ උගුර සිදුරු කර දැමූ බටය දිගටම පවත්වාගෙන යාමට සිදුවෙනනවා.