පපු කුහරයෙන් පිටත හදවත පිහිටා උපන් දරුවා 42 වැනි උපන් දිනය සමරයි

පපු කුහරයෙන් පිටත හදවත පිහිටා උපන් දරුවා 42 වැනි උපන් දිනය සමරයි

ක්‍රිස්ටෝපර් වෝල් 1975 දී උපත ලබන විට ඔහුගේ හෘදය වස්තුව ගැහෙන්න පටන් ගත්තේ සිරුරේ වෙනම ස්ථානයක යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.

පසුගියදා 42 වැනි උපන් දිනය සැමරූ ක්‍රිස්ටෝපර් පිළිබඳව පවතින කථා පුවත වෛද්‍යමය ප්‍රතිහාර්යයක් ලෙස අනිවාර්යයයෙන්ම නම් කළ හැකිය.

තෙරේසා වෝල් ෆිලඩෙල්ෆියාවේ ළමා රෝහලට ඇතුළු වූයේ තම කුළුඳුල් දරුවා බිහි කිරීමටය. දරු උපත පිළිබඳ සැකයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති විය. ඇය ඉතාම හොඳ සෞඛ්‍යය තත්ත්වයෙන් පසු වූවා පමණක් නොව දරුවකු ලැබිමට සිටියදී ඔක්කාරය, කෑම අපි‍්‍රය වීම, උදෑසන වමනය වැනි කිසිදු අපහසුතාවයක් ඇයට නොදැනුන අතර වෛද්‍යවරුන් පැවසුවේ ස්වභාවික දරු උපතක් සිදුවන බවය. දරුවා බිහිවන විට පැය දෙකක පමණ විලි රුදාවක් පැවතුන නමුත් සූතිකාගාරයේ සිටි වෛද්‍යවරුන් හා හෙදියන්ගේ උසුලු විසුලු නිසා එම වේදනාව ද ඇයට නොදැනුණු තරම්ය. 1975 අගෝස්තු 16 වැනි දා ක්‍රිස්ටෝපර් මෙලොව එළිය දැක මොහොතකින් සූතිකාගාරය තුළ තිබූ සතුටු තත්ත්වය හිටි හැටියේම නැවතුණු අතර වෛද්‍යවරුන් හා හෙදියන් එම දරු උපත සිදුවීමෙන් අනතුරුව දුටු දෙයින් ගල් ගැසී සිටිනු දක්නට ලදී. රෝහල පුරාම ඒ පුවත විදුලි වේගයෙන් පැතිර ගියේය.

ක්‍රිස්ටෝපර් උපත ලබා තිබුණේ ඔහුගේ හදවත සිරුරේ තිබිය යුතු ස්ථානයේ නොව වෙනත් ස්ථානයක පිහිටන ආකාරයෙනි. මෙය රෝහලේ කිසිවකුට අදහා ගත නොහැකි සිදුවීමක් විය.

එය හෘදය සම්බන්ධව ඉතාම විරල පිහිටීමක් වන අතර එය ඡ්ජබධනඪච ඛ්ධපඤඪඵ යනුවෙන් හඳුන්වනු ලබයි. දරුවන් බිලියනයකින් පස්දෙනෙකුට මෙම තත්ත්වය ඇතිවන බව කියනු ලැබේ. එම තත්ත්වයට පත්වන සෑම දෙනාම වැඩිකල් ජීවත් නොවන බවද පැවසෙන අතර එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව ද මේ වනතුරු සොයා ගෙන නොමැති බවද පැවසේ. මේ සඳහා ජානමය හා උරුමයෙන් සිදුවන හේතු බලපාන බව ක්‍රිස්ටෝපර් උපත ලබන අවස්ථාවේ එම රෝහලේ ළමා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වික්ටෝරියා වෙටර් පවසා ඇත.

ක්‍රිස්ටෝපර් මව් කුස සිටි අවධියේ අල්ට්‍රා සවුන්ඩ්, සොනෝග්‍රෑම් වැනි පරීක්ෂණ උපකරණ තිබුණේ නම් මුල් අවධියේම මෙම තත්ත්වය දැනගත හැකිව තිබූ බවද පැවසේ. ක්‍රිස්ටෝපර් උපත ලැබූ මොහොතේම වෛද්‍යවරුන් මුලින්ම කළේ ඔහු ස්ථාවර තත්ත්වයෙන් තබා ගැනීමට කෘත්‍රිම ශ්වසනයකට (අඥඵනඪපචබඪධද) සම්බන්ධ කිරීම හා අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයන් ගැන සුපරීක්ෂාවෙන් සිටිමයි. ඒ අනුව දරුවාගේ හෘදය වස්තුවේ ස්වභාවය හා ප්‍රමාණය තිබිය යුතු තත්ත්වයෙන් පැවතුන නමුත් පපු කුහරය තුළ සාමාන්‍යයෙන් හෘදය වස්තුව පිහිටා තිබෙන ස්ථානයේ එය පිහිටා නොතිබීම ඔවුනට දැකගත හැකි විය.

එසේම ශල්‍යකර්මයක් මඟින් ඔහුගේ හදවත සිරුරේ තිබිය යුතු ස්ථානයේ තැබීමට නොහැකි වූයේ ඒ සඳහා එම ස්ථානයේ ඉඩකඩ නොමැති වීම නිසාය. පළමු දින කිහිපය ඔහු කෙසේ හෝ ගත කළ නමුත් ඉදිරි සති හා මාස තුළදී එනම් මාස 18 ක් තුළදී හදවත නියම ස්ථානයේ රැඳවීම සඳහා ශල්‍යකර්ම 15 ක් සිදු කරන ලදී. එනමුත් හදවත පපු කුහරයෙන් පිටත පිහිටා තිබෙන ස්ථානයෙන් නියම ස්ථානයේ සවි කිරීමේදී එයට සම්බන්ධ රුධිර නාල ද සවි කිරීම අවදානම් සහගත බැවින් ශල්‍යකර්ම සිදු කිරීම අත්හැර හදවත සියුම් සිවියකින් වසා දමා ස්වභාවික ලෙස එයට වැඩෙන්නට ඉඩ සලසන ලදී.

ක්‍රිස්ටෝපර්ගේ කුඩා පපුව ඉතාම දුර්වල එසේම අස්ථායි තත්ත්වයේ පැවතුන අතර ඔහුගේ පෙණහලු සාර්ථක ලෙස ක්‍රියා නොකිරීම නිසා ඔහුට හුස්ම ගැනීමට සිදු වූයේ කෘත්‍රිම ස්වසනයේ ආධාරයෙනි. මෙම සියලුම සංකීර්ණ තත්ත්වයන් සමඟ වුවද ක්‍රිස්ටෝපර් වෛද්‍යමය වශයෙන් ඉතාම විරල තත්ත්වයක පසු වූ අතර කාගේත් ආදරයට පාත්‍ර වූ දරුවකු බවට පත් වී තිබිණ. නාසයට මුවට හා සිරුරේ වෙනත් තැන්වලට කෘත්‍රිම නාල සවි කර තිබූ නමුත් ඔහුගේ මවට ඔහු තරම් සුරතල් දරුවකු තවත් නොවීය. වැඩි කාලයක් ගත වීමට පෙර ඔහු මුළු රෝහලේම සුරතලා බවට පත් වූ අතර “එයා අපගේ රෝහලේ මහා පුරුෂයා බවට පත් වුණා” යැයි ඔහුගේ කටයුතු සියල්ල බාරව සිටි ජැනට් බොයිස් නම් වූ හෙදිය පැවසුවාය.

උපත ලබා වසර තුනක් ගත වූ පසු ඔහුට නිවසට යාමට අවසර ලැබුන නමුත් ඔහු පිළිබඳව පැය 24 පුරාම සුපරීක්ෂාවෙන් සිටින ලෙසටත් හදිස්සියක් සිදු වුවහොත් කළ යුතු දේ පිළිබඳව මව්පියන් දැනුවත් කිරීම ද රෝහලේ වෛද්‍යවරුන් විසින් කරන ලදී. සෑම පැය හතරකටම වරක් ඔහුගේ දුර්වල තත්ත්වයේ පවතින පෙණහලු වල ඇතිවිය හැකි බාධක ඉවත් කිරීම සඳහා දරුවාගේ පිටට තදින් පහර දෙන ලෙසට ද උපදෙස් දෙන ලදී.

ක්‍රිස්ටෝපර්ට වයස අවුරුදු 6 ක් පමණ ගත වූ පසු ඔහුගේ දුර්වල පෙණහලු හා පපු කුහරයෙන් පිටත පිහිටා ඇති හෘදය වස්තුව ආරක්ෂා වීම සඳහා ඔහුගේ උකුළු ඇටයෙන් කොටසක් ගෙන පපු කුහරයට බද්ධ කරන ලදී. එය නියම වශයෙන් පපු අස්ථියක් බවට පත් කරන ලදී. හොකී ක්‍රීඩාවේදී පළඳින මුහුණු ආවරණය තනා ඇති ප්ලාස්ටික් විශේෂයෙන් ඔහුගේ පපු ප්‍රදේශයේ පවතින හදවත ආරක්ෂා වීම සඳහා පලිහක් වැනි ආවරණයක් තනා ඇඳුමට යටින් පැළඳ ගැනීමට ද සලස්වන ලදී.

මෙම සියලුම කටයුතු සමඟ වයසින් මුහුකුරා ගිය ක්‍රිස්ටෝපර්ට සාමාන්‍ය ළමයකු ලෙස බයිසිකල් පැදීම කරාටේ, පැසිපන්දු වැනි ක්‍රීඩාවල නිරත වීමට ද හැකියාව ලැබිණ. ශල්‍යකර්ම රැසකට මුහුණ දීමට සිදුවීම නිසා ඔහුගේ ඇසීම පිළිබඳ ආබාධිත තත්ත්වයක් ඇති වුවත් විශේෂිත අධ්‍යාපන ක්‍රම ආධාරයෙන් ඉගෙනීම අවසන් කළ හෙතෙම අධ්‍යාපනය අවසන් කොට තමාට නැවත ජිවත් වීමට මාර්ගය පදා දුන් රෝහලේ ස්වේච්ඡා සේවකයකු ලෙස සේවය කරන බව පැවසේ.

පපු කුහරයෙන් පිටත හෘදය වස්තුව සහිත ක්‍රිස්ටෝපර් වෝල් වර්තමානයේ ඉතාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන බවට ද වාර්තා වේ.

රෝහණ ආරියරත්න