පිටරට සිට පැමිණි මහත්තයා නිසා පාරට වැටුණු සිරිමලී
ලිංගාශ්‍රිත රෝග සායනයකින් ඇසුණු සත්‍ය කථාවක්

පිටරට සිට පැමිණි මහත්තයා නිසා පාරට වැටුණු සිරිමලී

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

මිනිසුන්ගේ සිත්වල ඇතිවන හැඟීම් හරිම පුදුමාකාරයි. සමහර වෙලාවට ඒ හැඟීම් නිසාම ජීවිතේ කවදාවත් නොසිතන නොපතන අත්දැකීම් වලට මුහුණ දෙන්නට පවා සිදුවෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ජීවිත කාලයෙන්, වැඩි ප්‍රමාණයක් ඔවුන් ගත කරන්නේ තමන්ට මුහුණ දෙන්නට වෙන මේ වගේ අත්දැකීම් එක්ක. ඒත් ඒ අත්දැකීම් නිසාම තමන්ගේ ජීවිතේ ඉදිරිය විනාශ වෙන්නට නොදී ආරක්ෂා කර ගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන.

“පුංචි බණ්ඩාට, සිරිමලීට වැඩිදුර උගන්නන්න සල්ලි තිබුණේ නැති හින්දා මුතු මැණිකේ, ඒ කියන්නේ සිරිමලීගේ අම්මා එපා කියද්දී කෙල්ලව කොළඹ ගෙදරක වැඩට යවන්නට සිද්ධ වුණා. කුලියක් මලියක් කරලා හම්බ කරන සොච්චමින් පවුලේ දරුවන්ගේ වේල පිරිමහන්න පුංචි බණ්ඩාට පුළුවන් කමක් තිබුණේ නැහැ. පවුලේ වැඩිමහල් දරුවා වුණු සිරිමලීට නංගිලා මල්ලිලා 5 දෙනෙක්.

“නැති බැරිකම හින්දා කෙල්ල එක්ක ගෙන යන්න දෙනවා මිසක්.... දරුවාගෙන් හම්බකරගෙන කන්න හින්දා නෙවෙයි මේකිව කොළඹ යවන්නේ...”

අඩුම ගානේ, තුන්වේලම කාලා ඇඳලා ඉන්නවත් පුළුවන් වෙයි නේ කියලා මුතුමැණිකේ හිත හදාගන්න නොයෙක් කථා කිව්වත්, ඒ කියන කියන වචනයක් ගානේ හිත ඇතුලේ කියා ගන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා.

බදුල්ලේ ඉඳලා පාන්දර කෝච්චියෙන් කොළඹ ආව සිරිමලීට කොළඹ ගෙදරක රස්සාවක් කරන්නට ලැබුණා. කන්න අඳින්න දීලා මාසෙකට රුපියල් 15,000ක් දෙන්න පොරොන්දු පිට තමයි කොළඹ ගෙදර වැඩකාරකමට එයා ආවේ. “ඒ ගෙදර මෝනා පෞද්ගලික ආයතනයක හොඳ රස්සාවක් කරපු කෙනෙක්. බබාලා දෙන්නෙකුයි ඒ මෝනගේ අම්මයි බලාගෙන ඉන්න තමයි සිරිමලීට භාර වුණේ.

අවුරුදු 14ක් වුණාට ගෙදර දොරේ වැඩ කටයුතු ඉවුම් පිහුම් අතින් බලනකොට වැඩිහිටි ගැහැනු කෙනෙක් වගේ වැඩ කරන්නට පුළුවන්කමක් සිරිමලීට තිබුණා. ගෙදර නෝනා වැඩට ගියාම රෑ වෙලයි ගෙදර එන්නේ. බබාලා දෙන්නත් ඉස්කෝලේ ගිහාම ලොකු නෝනා බලාගෙන ගෙදර වැඩ කටයුතු කරගෙන ගෙදරට වෙලා ඉන්න තමයි එයාට පැවරුණේ සමහර දවස් වලට කඩේ යන්න පොළේ යන්න වගේ වැඩ වලටත් සිරිමලී උනන්දු වුණාත් එයාට තනියෙන් යන්න ලොකු නෝනා ඉඩ දුන්නේ නැත්තේ තවමත් පොඩි දරුවෙක් හින්දා. කාලය කාටත් හොරෙන් හෙමිට හෙමීට ගතවෙලා ගිහින් සිරිමලී වයස අවුරුදු 18ක හොඳ තරුණ ළමිස්සියක් වෙනකම් එයාගේ ජීවිතේ හැමදේම හොඳින් සිද්ධ වුණා.

මේ කාලෙදී තමයි සිරිමලී වැඩ කරන ගෙදර මහත්තයා ලංකාවට එන්නෙ. අවුරුදු ගණනක් රට රස්සාව කරන මහත්තයා මේ පාර ආවේ මාස 03, 04ක නිවාඩුවකට. මහත්තයා ආවට පස්සේ සිරිමලී ගේ හිතටත් අමුතු හැඟීමක් දැනිලා තිබුණේ. ගෙදර හැමෝම මේ නිසා සතුටින් හිටියත් සිරිමලීට මොකක්දෝ අමුත්තක් දැනුණා. නෝනායි බබාලයි උදේම ගෙදරින් ගිහාම ආයෙත් එන්නේ හොඳටම හවස් වෙලා. ලොකු මෝනා මේ වේලාවේ කරන්නේ නිදා ගන්න එක.

සිරිමලීට කරන්න තරම් ගෙදරත් වැඩක් නැති නිසා වැඩි වෙලාවක් ඉන්නේ තමන්ගේ කාමරේට වෙලා. සිරිමලීව තනිකරගන්න පුළුවන් හොඳම වෙලාව මේක බව දැන ගත්ත රට ඉඳලා ආපු මහත්තයා කීප පාරක්ම සිරිමලීට කරදර කළා. මුලදි මුලදී අකමැති වුණත් කවදාවත් තමන් නොලැබු පහසක් සිරිමලීට දැනුණු නිසා ඒ තරම් අකමැත්තක් පෙන්නනේ නැතිව ඉන්න එයාට පුළුවන් වුණා. මේ විදිහට මාස 04ක් ගතවෙලා ආයේ වතාවක් මහත්තයා රට ගියා. ඊට මාස 02කට පස්සේ සිරිමලීට දරුවෙක් ලැබෙන්න යන බව ගෙදර නෝනට තේරුණා. ඒ වෙනකොට එයාගේ කුසට මාස 06ක් ගතවේලා.

එයාලා හිතුවේ පොළේ හරි කඩේ හරි යන කොට ඇතිවුණු සම්බන්ධයකින් මෙහෙම වෙන්න ඇති කියලයි. ඒත් තමන්ට වුණු ඇත්ත කථාව සිරිමලී රහසක් විදිහට තියා ගත්තා. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් සිරිමලී ගැබිනියක් කියලා තහවුරු කරගත්තට පස්සේ සිදුකරන රුධිර පරික්ෂණවලදී ඇයට උපදංශය රෝගය වැළදී තිබෙනවා කියා සොයාගන්නට පුළුවන් වුණා. දරුවාට රෝගය නොවැළදෙන්නට වුවමනා නිසා ප්‍රතිකාර කළ වෙලාවේ එයාට රෝගය ඇතිවුණේ කොහොමද කියන කාරණේ වෛද්‍යවරුන්ට හෙළි කරන්නට සිද්ධ වුණා.

දරුවා බිහි වුණාට පස්සේ එයාව හදා වඩා ගන්න යුවළක් කැමති වුණා. මේ සිද්ධයට මුල් වුණේ රෝහල, පරිවාසය හා ලිංගශ්‍රීත සායනය.

කොහොම හරි දරුවා ලැබුණට පස්සේ සිරිමලීට ගාමන්ට් ෆැක්ටරියක රස්සාවක් සොයලා දෙන්නට කලින් වැඩ කරපු ගෙදර නෝනා කටයුතු කළා. ඒත් ඊට පස්සෙත් කීපවතාවක්ම විවිධ පුද්ගලයන් සමඟ ලිංගිකව ඇසුරුකම් පවත්වලා රෝගී තත්ත්ව තිබෙනවද කියා පරීක්ෂණ කරගන්න සිරිමලී නිතර ලිංගාශි‍්‍රත සායනයේ පිහිට පැතුවා. අවාසනාවට එයා මේ වෙනකොට ගණිකාවක් මට්ටමට පත්වෙලා විතරක් නෙමෙයි. එහි භයානකම ගැනද කිසිදු තැකීමක් සිරිමලිට ඇත්තේත් නැහැ.