ජීවිතයේ සතුට නැතිකර දමන නරකම පුරුදු හතරක්

ජීවිතයේ සතුට නැතිකර දමන නරකම පුරුදු හතරක්

මනසේ ඇතිවන අවපීඩනයන්ට නැතිනම් අසහනකාරී තත්ත්වයන් බොහෝමයකට මුල් වනුයේ අපගේ මනසේ පාලනයට නතු නොවන හේතූන්ය.

සමීපතම අයෙකුගේ වියෝවක්, රැකියා අහිමි වීමක් නැතිනම් ආර්ථික ගැටලුවක් ආදී මේ ඕනෑම දෙයක් නිසා මනසේ ඇතිවන පීඩනයක් අපගේ සතුට උදුරාගත හැක.

නමුත් ඒ බොහෝ ඒවා සාධාරණ හේතු බව බොහෝදෙනෙකුට හැඟී යා හැක. එය සත්‍යයකි.

එහෙත් එවැනි ඉතා සාධාරණ හේතුවලට ද අමතරව අප බොහෝදෙනෙක් හිතමතා හෝ නොසිතා ඇබ්බැහි වී සිටින ඉතා නරකම පුරුදු බොහොමයක් නිසා අපගේ සැනසුම සතුට අහිමි වී ඇති බව බොහෝදෙනෙකු නොදනී.

ෆොටෝ මේනියාව මතක ශක්තියට බාධා කරයි

මෙය නම් අපට හොඳින්ම හුරු පුරුදුය.

අත රැඳී කුඩා තාක්ෂණික මෙවලම නැතිනම් ජංගම දුරකථනය අද වඩාත් ජනපි‍්‍රය කැමරාවක් ලෙසිනි. මේ කුඩා උපාංගය භාවිතා කරමින් යන යන තැන දකින දකින සෑම දෙය ඡායාරූපගත කරන්නේ එක්කෙනකු දෙන්නෙකු නොවේ. නමුත් මේ පිළිබඳ කළ අධ්‍යයනයකින් දැක් වී ඇත්තේ මේ පී‍්‍රතිමත් ඇබ්බැහිය මිනිසුන්ගේ මතක ශක්තියට විශාල බලපෑමක් සිදු කරන බවය.

කෞතුකාගාරයක් ආශි‍්‍රතව සහභාගි වන්නන් යොදාගෙන සිදු කළ අධ්‍යයනයකදී එහි භාණ්ඩ ඡායාරූපගත කළ පුද්ගලයන්ට ඔවුන් දුටු කෞතුක භාණ්ඩ පිළිබඳ මතකයන් බොහොමයක් අහිමි වී තිබූ අතර දුටු දෑ විස්තර කිරීම ඉතා අසීරු වී තිබුණි. නමුත් ඡායාරූප ගැනීමෙන් වැළකී සිටි පුද්ගලයන් එම අවස්ථා ඉතා හොඳින් විස්තර කරන ලදී.

සතුටින් ඉන්න

ඡායාරූපයක් ගැනීමේදී පවා අදාළ වස්තුවට මනා අවධානයක් යොමු කරන්න. වටිනාම පිළිවෙල නම් විරලව අත්විඳින අවස්ථා හෝ දකින වස්තූන්වලට ඔබේම දෑස යොමු කිරීමයි. එයින් ලබන පී‍්‍රතිය යමක් ඡායාරූප ගත කරන පී‍්‍රතියට කෙසේවත් සමාන කළ නොහැකි වීම ඊට හේතුවයි. තවද ඒ මතක සහ සතුට දිගුකාලයක් පුද්ගලයකු පී‍්‍රතිමත්ව තබන බවද අධ්‍යයනය පෙන්වා දී තිබේ.

මැසේජ් - ෆේස්බුක්වලින් හදවතට දැනෙන මිතුදම් ගොඩනැඟෙන්නේ නැහැ

අද කාලයේ යාළු මිතුරුකම් බැඳ තබා ගැනීමට පහසුම මඟ මැසේජ් කිරීම හෝ ෆේස්බුක් භාවිතා කිරීම බව සිතා ගැනීම බොහෝදෙනෙකුට ඇති නරකම පුරුද්දකි. ෆේස්බුක් පිටු ඇත්තේ රසවින්දනය උදෙසා බවත් එයින් සැබෑ මිතුදම් හෝ පුද්ගල සබඳතා ගොඩ නොනැඟෙන බවත් විද්වතුන් පෙන්වා දී තිබේ.

අප සතු සන්නිවේදන මෙවලම් (ස්මාර්ට්ෆෝනය ආදී) සබඳතා ගොඩනැගීමට උපකාර කරන කදිම මිතුරෙකැයි සිතුවද සැබෑවටම එසේ සිදු නොවෙයි. ජංගම දුරකථනය කිසිදා ඔබේ සැබෑ හැඟීම් පිලිබිඹු කිරීමට ඉඩ නොදෙයි. එය අපගේ සැබෑ හැඟීම් කපා කොටා ඉදිරිපත් කරයි. අධ්‍යයනය යළි යළිත් පෙන්වා දෙන්නේ දුරකථනය හෝ සමාජ මාධ්‍ය මඟින් පවත්වා ගන්නා සබඳතා දෙදෙනකු මුහුණට මුහුණ දැකීමෙන් ගොඩනැඟෙන සබඳතා මෙන් පී‍්‍රතිමත් නැති බවයි.

එබැවින්,

ඔබගේත් මගේත් ජීවිතාන්තය තෙක් සිටින පිරිස සංඛ්‍යාත්මකව වැදගත් නොවේ. සමීපතම මිතුරා වෙනුවෙන් හෝ ආදරණීය සහකරු වෙනුවෙන් සතියකට එක් වතාවක් හෝ අවම වශයෙන් වෙන් කිරීමට කාලය ඉතිරි කරන්න ඔබ කෙතරම් වගකිව යුතු ඉහළ සමාජ සබඳතා සහිත පුද්ගලයකු වුවත් ඔබේ සැබෑ සතුට ඇත්තේ හදවතින්ම කැප වන එවැනි හමුවීම්වලය.

ඈලි මෑලි ගමන් විලාසය

ගමන් විලාසය කෙනෙකුගේ පෞරුෂය මැනැවින් විදහාපාන කැඩපතක් බඳුය. නවතම සමීක්ෂණවලින් හඳුනාගෙන ඇත්තේ ගමන් විලාසයන් පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය සමඟ ද බැඳී පවතින බවයි.

උරහිස් හකුළුවාගෙන, අවම දෑත් චලනයන් සහිතව ගමන් කරන පුද්ගලයන් කනස්සලු මනෝභාවයන් දරන බව අධ්‍යයනයන් මඟින් හඳුනාගෙන ඇත.

සහභාගි වූවන් අතරින් උද්යෝගීමත් ලෙස ඇවිද්ද පුද්ගලයන්ට වඩා වකුටු වී ඈලි මෑලි ලෙස ඇවිද්ද පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ද ඉතා ඍණාත්මක වූ බව එහිදී වැඩිදුරටත් සොයාගෙන තිබුණි.

සිත රිදවන ප්‍රතිචාර

සබඳතා මානව දිවියට පමණක් නොව සමස්ත සත්ත්ව වර්ගයාටම වැදගත්ය. එහෙත් අද බොහෝ පුද්ගලයන් තම සබඳතා හේතුවෙන් විශාල අසහනයකින් පෙළෙන බව අධ්‍යයන මඟින් පෙන්වා දී තිබේ.

විශේෂයෙන් තම සමීප සහකරුවන්ගේ හැසිරීම් හෝ ප්‍රතිචාර හේතුවෙන් බහුතරයක් පුද්ගලයන්ගේ ආත්ම අභිමානයන් නැත්තට නැති වී හෝ බිංදුවට වැටී ඇතැයි අධ්‍යයනයන් මඟින් හඳුනාගන තිබේ .

තම සහකරු හෝ සහකාරිය කිසිදු වැදගැම්මකට නැති හෝ අදක්ෂ පුද්ගලයන් එසේත් නැතිනම් තමා ගැන පමණක් සිතන ආත්මාර්ථකාමීන් ලෙස පිළිගනිමින් තම සහකරුට නොරිස්සුම් සහගත ප්‍රතිචාර දැක්වීම මීට මූලිකම හේතු ලෙසින් හඳුනාගෙන තිබේ.

මෙවැනි තත්ත්ව ගණනාවක් බහුලව හඳුනාගෙන තිබෙන අතර අවාසනාවකට ඒ අමිහිරි තත්ත්වයන් අත්විඳින බහුතරයක් ඒ හේතුවෙන්ම විෂාදය හෝ සාංකාව වැනි බරපතළ මානසික ගැටලුවලින් වසර ගණන් පීඩා විඳින අතර ඊට හේතුව මේ අමිහිරි ප්‍රතිචාර බවද ඔවූහු නොදනිති.

සතුටින් ඉන්න

දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබෙන් සහකරුට එල්ලවන වේදනාත්මක, සිත් පාරවන විෂම ප්‍රතිචාර හඳුනා ගැනීමට උත්සුක වන්න. එය අපහසුනම් ඔබේ සමීප මිතුරකු හෝ වෘත්තීය චිකිත්සකවරයකු මඟින් ඒවා හඳුනාගෙන එම විෂම පුරුදුවලින් ඈත් වී සබඳතා ශක්තිමත් හා පී‍්‍රතිමත් කරගන්න.

අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙන්