මව් කුස තුළ සිටින දරුවාගේ වර්ධනය බාල වුණොත්?

මව් කුස තුළ සිටින දරුවාගේ වර්ධනය බාල වුණොත්?

කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය

ටිරාන් දමින්ද ඩයස්

වර්ධනය අඩු දරුවන් බිහි වීම හේතුවෙන් ලෝකයේ මිය යන දරුවන් ප්‍රමාණය දිනකට තිස් දහස ඉක්මවන බව 2015 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකින් පසු ලෝක සෞඛ්‍යය සංවිධානය වාර්තා කර තිබේ. මේ ආකාරයට අලුත බිහිවන දරුවන්ගේ වර්ධනය අඩු වීමට බලපෑ හැකි කරුණු පිළිබඳව කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය ටිරාන් දමින්ද ඩයස් මහතා සමඟ සිදු කළ සාකච්ඡාවකි මේ.

කුස තුළ වැඩෙන කළලයක වර්ධනය වැඩි හෝ අඩු වෙන්න පුළුවන් ද?

ඔව්. වර්ධනය වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. නමුත් වැඩි වශයෙන්ම සිදු වෙන්නෙ වර්ධනය අඩු වෙන එකයි.

ඒකට හේතුව?

එයට බලපාන කරුණු කීපයක් ම තියෙනවා. පළමු කාරණය දරුවාට වැදෑමහෙන් ගමන් කරන රුධිර ප්‍රමාණය අඩු වීම, දරුවාගේ වර්ධනයට සාපේක්ෂව වැදෑමහෙන් අවශ්‍ය ප්‍රමාණයට රුධිරය ගමන් කරන්නේ නැත්නම් දරුවාගේ වර්ධනය බාල වන්නට පුළුවන්. ඒ වගේම දරුවාට ජානමය සංකූලතා තිබුණොත් වර්ධනය බාල වෙනවා. තවත් හේතුවක් තමයි කළලය විකසනය වෙන්නට පටන් ගත් මුල් කාලයේ මවට ඇතිවන සමහර ආසාදන තත්ත්වයන්. ඒවා දරුවාටත් ඇති වීම තුළින් වර්ධනය බාල වෙන්න පුළුවන්. ඒ වගේම මව පියා දෙදෙනාම ශරීර ප්‍රමාණයෙන් කුඩා අය නම් දරුවාගේ වර්ධනයත් බාල වෙනවා. දරුවාගේ වටේ තිබෙන ජල ප්‍රමාණය අඩු වීම දරුවා කුඩා වීමක් වශයෙන් පෙන්වනවා.

දරුවාගේ වර්ධනය බාල වෙලා කියන කාරණය සොයා ගන්නෙ කොහොමද?

මූලික වශයෙන් මෙය සොයා ගන්නෙ ගැබිණි අවදියේ දී සහභාගි වන මාතෘ සායනයේදීය. සායන භාර වෛද්‍යවරයා විසින් මවගේ උදරයේ, උස ටේප් එකෙන් මැනීම සිදු කරනවා. මාසිකව උදරයේ උස වර්ධනය විය යුතු ප්‍රමාණයක් තියනවා. ඒ කියන්නෙ ගර්භාෂයේ සති ගණනට සාපේක්ෂව නියමිත උස ප්‍රමාණයක් තිබිය යුතුයි. එය නිසි ආකාරයට නැත්නම් දරුවාග් වර්ධනය බාල වෙලා කියලා තීරණය කරන්නට පුළුවන්. නමුත් එය තීව්ර පරීක්ෂණයක් නෙවෙයි. ඒ නිසා මේ කාරණය තහවුරු කර ගන්න නම් අනිවාර්යෙන්ම ස්කෑන් පරීක්ෂාවකට යොමු වෙන්න ඕනෑ.

මේ ස්කෑන් පරීක්ෂාවෙන් මොනවද පරීක්ෂාවට ලක් වෙන්නෙ?

කුස තුළ වැඩෙන දරුවාගේ උස, හිසේ වට ප්‍රමාණය, උදරයේ වට ප්‍රමාණය, අස්ථිවල දිග වගේ දේවල් මැන ගන්න පුළුවන්. ඒවා ගර්භයේ සති ගණනට සාපේක්ෂව නියමිත අගයන්වල පවතිනවා ද කියන එකයි බලන්නෙ

මේ පරීක්ෂාවෙන් තහවුරු වුණොත් දරුවාගේ වර්ධනය බාල වෙලා කියන එක?

ඔව්. එතකොට ඇනෝමලි ස්කෑන් එකක් කරන්න වෙනවා. ඇනෝමලි ස්කෑන් එකෙන් දරුවාගේ හිසේ සිට පාද දක්වා සෑම අවයවයක්ම වෙන වෙනම පරීක්ෂාවට ලක් වෙනවා. ඉන් දැනගන්න පුළුවන් අඩුපාඩු තියනවාද කියන එක. ඒ වගේම ඒ අඩුපාඩු ඇති වෙන්න හේතු මොනවද කියන එකත් තීරණය කරන්න පුළුවන්. සමහර විට ජානමය ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. නැත්නම් වැදෑමහෙන් දරුවාට යන රුධිර ප්‍රමාණය අඩු නිසා වෙන්න පුළුවන්. එය පරීක්ෂා කරන්න යොදා ගන්නෙ ච්ධනනතඥප කියන පරීක්ෂාව.

ච්ධනනතඥප පරීක්ෂාවෙන් කෙරෙන දේ ගැන පැහැදිලි කළොත්?

මින් කරන්නේ දරුවාගේ සිරුරේ තිබෙන රුධිර නාලවල රුධිරය ගමන් කිරීමේ වේගය මනින එක. රුධිරය ගමන් කරන වේගය අඩු නම් වෛද්‍යවරු තීරණය කරනවා දරුවාට වැදෑමහෙන් අවශ්‍ය ප්‍රමාණය රුධිරය සැපයෙන්නේ නැහැ කියන එක. ඒ අනුව තමයි තීරණය වෙන්නෙ දරුවාගේ වර්ධනය බාල වෙන්න හේතුව මොකක්ද කියන කාරණය

දෙමව්පියන් ප්‍රමාණයෙන් කුඩා සිරුරු සහිත අය නිසා දරුවාගේ වර්ධනය අඩුයි කියන කාරණය තීරණය කරන්නෙ කොහොමද?

සමහර දරුවන් ඉන්නවා වර්ධනය බාල වෙලා වගේ පෙණුනට රුධිරය ගමන් කිරීමේ ප්‍රශ්න නැති සහ කායික අඩුපාඩු නැති අය. ඒ වගේ අවස්ථාවල තීරණය කරන්න පුළුවන් දෙමව්පියන්ගේ සිරුරු ප්‍රමාණයෙන් කුඩා නිසා දරුවාත් කුඩා වෙලා කියන එක. නමුත් මේ වගේ අවස්ථාවල උදරයේ උස මැනීමෙන් දරුවා හරිහැටි වර්ධනය වෙනවාද කියා තීරණය කරන්න බැහැ. ඒ නිසා සති 3 කට 4 කට සැරයක් ස්කෑන් කරලා බලන්න වෙනවා දරුවා සිටි මට්ටමින් වැඩි මට්ටමට වර්ධනය වෙනවද කියන කාරණය.

දරුවාගේ වර්ධනය බාල වුණාම කළහැකි ප්‍රතිකාර මොනවාද?

දරුවාගේ වර්ධනය බාල වෙන්න හේතුව වැදෑමහින් යන රුධිර ප්‍රමාණය අඩු වීම නම් ඒ අම්මාව දවස් දෙකකට වරක් වත් පරීක්ෂා කළ යුතු වෙනවා. එහෙම නොකළොත් දවසින් දවස දරුවාට රුධිරය ගමන් කිරීම අඩු වෙලා දරුවා කුස තුළම නැති වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය සොයා ගන්නේ කුස තුළ වැඩෙන දරුවාගේ මුල් කාලයේ නම් ඒ කාලයේ දරුවා බිහි කරන්න බැහැ. අඩු මාසවලින් බිහි කරන දරුවන් රැක බලා ගැනීම අපහසුයි. නමුත් දවසින් දවස දරුවාට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වෙනවා නම් තවදුරටත් දරුවා මව් කුස තුළ ඉඳලා තේරුමක් නැහැ කියන තත්ත්වයට ආවොත් වෛද්‍යවරු තීරණය කරනවා දරුවා ප්‍රසූත කරන්න වෙනවා කියන එක.

ඒ වගේම දරුවාගේ වටා ඇති තරලය හෝ දරුවාගේ රුධිරය ජාන පරීක්ෂාවට ලක් කරලා දරුවාට ජානමය ප්‍රශ්න තියනවද කියලා බලන්න පුළුවන්. ඉන් තීරණය කරන්න පුළුවන් මෙය සුව කළ හැකි තත්ත්වයක් ද නැද්ද කියන එක. ඒ අනුව තමයි තීරණ කරන්නෙ දරුවා වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිකාර මොනවාද කියන එක.