හඳුනාගන්න පිළිකාවක පූර්ව ලක්ෂණ

හඳුනාගන්න පිළිකාවක පූර්ව ලක්ෂණ

පිළිකා රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

ජයන්ත බලවර්ධන

පහත රෝග ලක්ෂණ ඔබ තුළ පවතීද?

* මුඛයේ සුදු හෝ රතු ලප මතු වීමක්

* ගෙල/ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමුමක්

* කල් අල්ලා පවතින ගිලීමේ අපහසුවක් හෝ අජීර්ණ තත්ත්වයක්

* මළපහ කිරීමේ / මුත්‍රා කිරිමේ පුරුදුවල වෙනසක් හෝ ඒ සමඟ ලේ පිටවීමක්

* සති තුනකට වඩා පවතින කටහඬෙහි වෙනසක්

* කල් අල්ලා පවතින කැස්ස හෝ කැස්ස සමඟ ලේ පිටවීම

* පියයුරුවල හෝ අන් තැනක ගැටයක් හෝ ඝනවීමක්

* කාන්තාවක් නම් යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ස්‍රාවයක් හේ රුධිරය පිටවීමක් ගැටයක, ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ ශීඝ්‍ර වර්ධනයක්

* සුව නොවන තුවාලයක්

1. මුඛ පිළිකාව/ පූර්ව මුඛ පිළිකාව

මුඛ පිළිකාව ඇති වීමට පෙර පූර්ව පිළිකා අවස්ථාවේදීම එය හඳුනාගත හැකිය.

රෝග ලක්ෂණ

* කල් පවතින සුදු ලප

* කල් පවතින රතු ලප

* කල් පවතින සුදු සහ රතු මිශ්‍ර ලප

* මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමඟ තොල් සහ ශ්ලේෂ්මලයේ ඝන වීමක් සහ සුදුමැලි වීමක්

* කාලයක් පවතින සුව නොවන තුවාලයක්

2. ගලනාල පිළිකා රෝග ලක්ෂණ

* සතියකට වඩා පවතින ක්‍රම ක්‍රමයෙන් ඇතිවන ගිලීමේ අපහසුතා

* ගිලීමේදී වේදනාවක්

* ශරීරයේ බර අඩු වීමක්

3. මහාන්ත්‍ර හා ගුද මාර්ග පිළිකා රෝග ලක්ෂණ

* මළපහ සමඟ ලේ පිටවීමක්

* මළපහ කිරීමේ පුරුදුවල වෙනසක්

* නිතර නිතර ඇතිවන මළබද්ධය හෝ පාචන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ලේ පිටවීමක්

* මළපහ පෙරට වඩා සිහින් ස්වභාවයක් ගැනීම

* පළපහ කිරීමෙන් පසුව ද මළපහ පිටවීමේ අසම්පූර්ණ බවක් දැනීම

* උදර වේදනාව

* අනපේක්ෂිත ලෙස ශරීරයේ බර අඩු වීමක්

4. පියයුරු පිළිකා රෝග ලක්ෂණ

* පියයුරුවල මෑතකදී ඇති වූ හැඩයේ වෙනස්වීමක් හෝ පැහැදිලි අසමමිතික බවක්

* පියයුරුවල ගැටිත්තක් හෝ ඉදිමීමක්

* පියයුරෙහි වලගැසීමක්

* සමේ වෙනස්වීමක්

උදා - දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්, සම මතුපිට දදයක් / තුවාලයක්

* තනපුඩුවේ ගිලීයාමක් හෝ අසමමිතික බවක්

* ස්වයං පියයුරු පරීක්ෂාවෙන් පියයුරු පිළිකා කලින් හඳුනාගත හැක.

5. ගැබ්ගෙල පිළිකා රෝග ලක්ෂණ

* යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනයක්

* ලිංගික සංසර්ගයට පසු රුධිර වහනයක්

* යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයකින් යුතු ස්‍රාවයක් පිටවීම

* මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම

* පැප් පරීක්ෂාවක් මඟින් ගැබ්ගෙල වෙනස්කම් පිළිකාව ඇති වීමට පෙර හඳුනාගත හැක.

6. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ

* අවශ්‍යතාව ඇතත් මුත්‍රා පහකිරීමේ අපහසුතාව

* මුත්‍රා කිරීම ඇරඹීම් හා මුත්‍රා ධාරාව පවත්වා ගැනීමේ අපහසුතා

* මුත්‍රා කිරීමෙන් පසුද සම්පූර්ණයෙන්ම මුත්‍රා පිට නොවුනා සේ දැනීම

* නිතර නිතර මුත්‍රා යෑම

* රාත්‍රියට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම

* මුත්‍රා සමඟ ලේ පිටවීම

7. තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා රෝග ලක්ෂණ

* තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාලවීමක් හෝ වෙනසක්

* ගෙලෙහි වසා ගැටිති ඉදිමීමක්

* හේතුවක් රහිත කටහඬේ ගොරෝසු බවක්

* ගෙලෙහි වේදනාවක්

* ගිලීමේ අපහසුවක්

* හුස්ම ගැනීමේ අපහසුතාවයක්