ගැස්ට්‍රයිටීස් රෝගය

ගැස්ට්‍රයිටීස් රෝගය

බොරැල්ල ශික්ෂණ රෝහලේ

විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

අපි කවුරුත් දන්නා ගැස්ට්‍රයිටීස් රෝගය ආයුර්වේදයට අනුව හඳුන්වන්නේ අම්ලපිත්ත රෝගය ලෙසයි. මෙහිදී සිදුවන්නේ උදරයේ දැවිල්ල ඇතිවීමයි. බඩේ ඇතිවන දාහ ගතිය නිසා එය උත්සන්න වූ විට මුළු ආහාර මාර්ගයේ ම දැවිල්ල ඇති වේ.

බඩේ ඇති ඇසිඩ් ගතිය වැඩිවීම හේතුවෙන් මේ තත්ත්වය හට ගැනේ. මේ බව සනාථ කරන අන්දම පැහැදිලි කරමින් එහි පවතින බැරෑරුම්කම හා ආහාරවලින් කෙරෙන බලපෑම ගැන විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම මෙසේ පැහැදිලි කරන ලදී.

ආමාශයේ දී ආහාරයක් දිරවීමට පටන් ගන්නේ එහි පවතින ආමාශයික යුෂ යම් ප්‍රමාණයක් ආහාරට මුසු වීමත් සමඟයි. එහි අම්ල ප්‍රමාණයක් පවතියි. පුද්ගලයාගෙන් පුද්ගලයාට නිකුත් වන එම අම්ල ප්‍රමාණය වෙනස් ය. සමහරුන්ගේ ආමාශයෙන් නිකුත් වන එම අම්ල ප්‍රමාණ වැඩි විය හැකියි.

එවිට ඔවුන් නිරාහාරව සිටීමෙන් නිකුත් වන ආමාශයික යුෂ වැඩිවීම නිසා ආමාශයේ ඇතුලු පැත්තේ ඇති ශ්ලේෂ්මල පටක පිළිස්සීමකට ලක් වේ. එවිට දැවිල්ල ගතියක් ඔබට ඇතිවිය හැකියි. නිතර නිතර මෙසේ නිරාහාරව සිටීමෙන් ඇතිවන මෙවැනි තත්ත්වයන් මත බඩදැවිල්ල සුපුරුදු පරිදි ඇති වීම අම්ල පිත්ත (ගැස්ට්‍රයිටීස්) රෝගයයි.

මේවා ගුණයි

කලට වේලාවට ආහාර නොගන්නා දූ දරුවන්ට මේ තත්ත්වයන් ඇතිවිය හැකියි. එබැවින් ආහාර ගැන වඩාත් සැලකිලිමත් වීම වඩා වැදගත් ය. දවසේ ආහාර වේල් නිසි අයුරින් ගැනීමෙන් ඔබව මෙවැනි රෝගාබාධයන්ගෙන් වළක්වා ගත හැකියි.

කාර්යබහුලවීමත් සමඟ ඇතිවන අපහසුතාව හා මඟහැරීම මත ඔබේ ආහාරවේල නොසලකා හරින්න හොඳ නැහැ. එය තමාගේ සිරුරේ බොහෝ ලෙඩ රෝගවලට අතවනා ගැනීමකි. කොතරම් අධික වැඩ රාජකාරියක නිරත වූවත් බඩගිනි වූ විගස ඔබේ ආහාරය නම් අමතක කළ යුතු නැත. එය ද සුදුසු තත්ත්වයන්ගෙන් සපිරි ගුණාත්මක ආහාරවේලක් විය යුතුයි.

ගැස්ට්‍රයිටීස් රෝගයට සීතාධික ආහාර ගැනීම වඩාත් සුදුසු වන අතර එළිකිරි පානය ද යෝග්‍ය වෙයි. සෞම්‍ය මෙන්ම සිසිලස ගෙනදෙන ආහාර වර්ග අතර කැහිපිත්තං ඉතාමත් සුදුසු ආහාරයක් වේ. කැහිපිත්තං කොළ කොටා සීනි දමා මිදෙන්නට තබා පසුදා උදය වරුවේ ජෙලි මෙන් කෑමට ගත හැකියි. මෙලෙස කැහිපිත්තං කොළ ගැස්ට්‍රයිටීස් රෝගයට ඉතාමත් සුදුසු ආහාරයක් වන්නේ සිසිල් ගුණය පවතින ආහාරයක් වන බැවිනි.

එදිනෙදා අප භාවිත කරන ජෙලි වර්ග, කොළ කැඳ මෙන්ම පොල් කිරි කැඳ මේ අම්ලපිත්ත රෝගයට ඉතාමත් යෝග්‍ය ආහාර ලෙස හඳුන්වා දිය හැකියි. මුකුණුවැන්න, ගොටුකොළ, හාතාවාරිය, ඉරමුසු වැනි කොළ වර්ගවලින් සෑදු කැඳ වර්ග ඔබගේ උදරය සිසිලසට පත් කරයි.

ශීත ගුණය මෙන්ම හොඳින් ආහාර ජීර්ණය සිදු කරන බැවින් කොළ කැඳ පානය නිසා රූපශ්‍රීය පවා වඩවා දෙනු ලබයි. උදරයට සිසිලස ලබා දෙමින් ආහාර හොඳින් ජීර්ණය කිරීම ගැස්ට්‍රයිටීස් රෝගයට ඉතා යෝග්‍ය දෙයකි. එළකිරි ගැස්ට්‍රයිටීස් රෝගයට සුදුසු තත්ත්වයෙන් පැවතුණාට එයට මිශ්‍ර කරන ලද මෝල්ට් වර්ග කිරි වශයෙන් ගැනීම අනුමත නොකරයි. මෝල්ට් අඩංගු පිටිකිරි අද වෙළඳපලේ ඕනෑතරම්. නමුත් ඒවා රෝග කාරක වන බැවින් ආහාරය සඳහා නොවටිනේය. පලතුªරු අතරින් ගස්ලබු, සීනි කෙසෙල්, කොමඩු, ඇපල්, පෙයාර්ස් සුදුසු වේ. වඩාත් ම සිසිලස ලබාදෙන ආහාරයක් ලෙස කිතුල් පිටි කැඳ ගැස්ට්‍රයිටීස් රෝගයට ගුණ දෙන බව සඳහන්ය.

කිතුල් පිටි කැඳ, කිතුල් පිටි තලප, දොදොල් කිතුල්පිටිවලින් සාදාගත හැකි ආහාර වර්ගයන්ය. මුරුංගා, පතෝල, වැටකොළු, පිපිඤ්ඤා සුදුසු එළවළු වර්ග අතර වේ. ජල ප්‍රමාණය වැඩි අලුත් එළවළු හා පලතුරු අම්ල පිත්තයට සුදුසු ආහාර වේ. එසේම කොහිල අල සහ දළු, නෙළුම් අල, කෙකටිය ද යෝග්‍ය ආහාර වර්ගයන්ය. මේවායින් සිරුරේ සිසිලස රඳවා තබයි. කඩල තම්බා පොල් සමඟ ආහාරයට ගැනීම හොඳ ක්‍රමයකි. එය අම්ලපිත්ත රෝගයට අගුණ නැත.

නමුත් කඩල තෙම්පරාදුව සිරුරට ගුණ නැත. ඔබගේ ආහාරයට ඉඳිආප්ප ගන්නේ නම් ඒ සඳහා කිරි හොදි මිශ්‍ර කරගැනීම වඩාත් ම යෝග්‍ය වේ. කිරිබත්, පිට්ටු පොල් කිරි සමඟ කෑමට සුදුසුයි. ලාවුළු පලතුරක් ලෙස ගැස්ට්‍රයිටීස් රෝගයට සුදුසු ආහාරයක් වේ. තැඹිලි වතුර, කුරුම්බා, පොල් වතුර ඉතාමත් ගුණ දෙන පාන වර්ග වේ. මෙනේරි කැඳ හෝ දේශීය සහල් වර්ග වලින් සෑදූ පොල් කිරි කැඳ (සුවදැල්, රතු හාල්, කහමාලය, හීනැටි වැනි සහල්) යෝග්‍ය වේ.

මේවා අගුණයි

ව්‍යංජන සැකසීමේ දී කුළු බඩු අධික ලෙස භාවිත කිරීම. උදා. ගම්මිරිස්, කුරුඳු පොතු, රතු මිරිස් වැනි කුළුබඩු අධික ලෙස භාවිත කිරීම සුදුසු නැත. ඒවා මඟින් ආමාශය තුවාල වීමට ඇති ඉඩකඩ වැඩියි. එවිට බඩදැවිල්ල ඇතිවිය හැකියි. එසේම අමුමිරිස්, තක්කාලි වැනි දේ ව්‍යංජනවලට එකතු කිරීම නිසාත් අම්ලපිත්ත රෝගය වැඩිවිය හැකියි.

ඇඹුල් රසැති ආහාර වන ඇඹරැල්ලා, අමු අඹ අමුවෙන් කෑම නිසා මේ රෝගය වර්ධනයට බලපායි. අන්නාසි, උගුරැස්ස, ලොවි අධිකව ගැනීම සුදුසු නැත. ඒවා අම්ලපිත්ත රෝගයට අගුණ ආහාරයන් ය. නාරං වර්ග, දෙහි බීම නිතර නිතර ගැනීම සුදුසු නැත.

ඉතාමත් සැර අධික මාළු වර්ගවලින් තොරව ආහාර ගැනීමට පුරුදු වීම අම්ලපිත්ත රෝගයෙන් මිදිය හැකියි. හුරුල්ලෝ, ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සෝ, බලයා, කෙලවල්ලා වැනි මාළු වර්ග දිනපතා ආහාරයට ගැනීම සුදුසු නැත. ගෝනමස්, හරක් මස් දාහය ඇති කරයි.

ඒවා ද සුදුසු නැත. ගඩුගුඩා, නමිනං, රඹුටන්, ජම්බු මේ රෝගයට නුසුදුසු තවත් පලතුරුය. බොහෝවිට ගෙදර දොරේ භාවිත කරන සෝස් වර්ග, ලුණු දෙහි, බිලිං අච්චාරු සහ අච්චාරු වර්ග, විනාකිරිවලින් සෑදූ නොයෙකුත් ආහාර වර්ග, චට්නි වර්ග ආහාරයට ගැනීම සුදුසු නැත. එවිට අම්ලපිත්ත රෝගය වර්ධනය වීම විනා අඩුවන්නේ නැත. සමහර අය ලුණු දෙහි සමඟින් බත් කෑමට පුරුදුව නැත. එය ද සුදුසු නැත. එය ගැස්ට්‍රයිටීස්වලට අතවනා ගැනීමක් වෙයි. ලුණු මිරිස් අධික ලෙස භාවිත කිරීම සුදුසු නැත.

නිතර නිතර කෝපි පානය කිරීම ද ගැස්ට්‍රයිටීස් ඇති වීමට බලපායි. එබැවින් කෝපි පානය වැඩිපුර ගැනීම සුදුසු නැත. මත්පැන්, ඇතැම් ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශයෙන් තොරව භාවිත කිරිම සුදුසු නැත. එසේ වීම හානිකර විය හැකියි.