නින්දෙන් ගෙරවීමේදී හුස්ම හිරවීමේ ප්‍රමාණය Sleep study මඟින් නිරීක්ෂණය කළ යුතුය

නින්දෙන් ගෙරවීමේදී හුස්ම හිරවීමේ ප්‍රමාණය Sleep study මඟින් නිරීක්ෂණය කළ යුතුය

කොළඹ ජාතික රෝහලේ

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

චන්ද්‍රා ජයසූරිය

පසුගිය සතියේ අප ඔබ දැනුවත් කළේ නින්දෙන් ගෙරවීම පිළිබඳවයි. ගෙරවීමට බලපාන හේතුව සහ තදින් ගෙරවීම නොසලකා හැරීමෙන් සිදුවන අපහසුතා පිළිබඳවත්ය. ගෙරවීම තම නිවැසියන්ට පමණක් නොව යාබද නිවෙස්වල වෙසෙන්නන්ට පවා තදින්ම බලපාන බව ඇතැම් අසල්වැසියන් විසින් වෛද්‍යවරුන්ට පවා දන්වා ඇති බව පැවසුවේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මියයි.

එතුමිය පවසන්නේ ගෙරවීමට හේතු සොයා බලා ඒ හේතුවලට නිසි ප්‍රතිකාර කළ විට ගෙරවීමේ තත්ත්වය වළක්වා ගැනීම බොහෝවිට කළ හැකි බවයි.

උදාහරණ ලෙස සෙම් ගෙඩි, මස් දළු ආදිය හේතු කාරක බවට පත් වී තිබේ නම් ඒවා ශල්‍යකර්මයකින් ඉවත් කිරීම ප්‍රතිකාර වශයෙන් කළ හැකි අතර සිරුරේ බර අඩු කර ගැනීම, මත්පැන් භාවිතයෙන් වැළකීම, ආදිය වඩාත් යෝග්‍ය වේ.

සාමාන්‍යයෙන් දහවල් කාලයේ අධික ලෙස මහන්සි වී වැඩපල කරන අය නිදා වැටීම ස්වභාවිකය. නමුත් කය නොවෙහෙසන ඇතැම් අයට දහවල් කාලයේ නිදිමත ඇති වී නිදාගැනීම අසාමාන්‍ය තත්ත්වයකි. ඇතැමෙකු වාහනයක ගමන් කරන විට නින්ද යෑම, ඇතැම් රියදුරන්ට ට්‍රැෆික් ලයිට් එකේදී නින්ද යෑම, යම් පුද්ගලයකු සමඟ කතා කරමින් සිටියදී නින්ද යෑම ආදී අසාමන්‍ය තත්ත්ව සමහරෙකුට ඇති වේ.

මෙවැනි තත්ත්වයට හේතු වන්නේ නින්දෙන් ගෙරවීමයි.

තමා නින්දෙන් ගොරවන බව නොදන්නා ඇතැමුන් පවසන්නේ දවල්ට හිටි හැටියේම නින්ද යන බවයි. එයට ප්‍රධාන හේතුවක් ලෙස ගෙරවීම බලපාන බව බොහෝදෙනා නොදන්නා අතර රියදුරන්ට පවා දහවල් කාලයේදී රිය පදවන අතරතුර නින්ද යාම නිසා හදිසි අනතුරුවලට පවා ලක් වීමට සිදු වී ඇත.

එබැවින් මෙවැනි තත්ත්වයෙන් පෙළෙන උදවිය වහාම උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයකු මුණ ගැසිය යුතු වේ. මෙවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් විසින් ගෙරවීමේ හා හුස්ම හිරවීමේ තත්ත්වය කොතරම් බරපතල දැයි දැන ගැනීමට පෙර පහත සඳහන් ප්‍රශ්න මාලාවට පිළිතුරු සැපයීමට රෝගියාට අවස්ථාව සලසා දේ. එවිට රෝගයේ බරපතලකම වෛද්‍යවරයාට හඳුනාගත හැක. පහත සඳහන් කරන්නේ ඒ දර්ශකයයි.

1. කිසිසේත් නිදා වැටීමට අවස්ථාවක් නැත

2. නිදා වැටීමට සුළු අවස්ථාවක් ඇත

3. නිදා වැටීමට සාමාන්‍ය අවස්ථාවක් ඇත

4. නිදා වැටීමට ඉතා ඉහළ අවස්ථාවක් ඇත.

අවස්ථාවන්

* වාඩි වී පොත් පත්තර කියවන විට

* රූපවාහිනිය නරඹන විට

* පොදු ස්ථානයක වාඩි වී සිටින විට (රැස්වීම් ශාලාවක, චිත්‍රපට ශාලාවක)

* පැයකට ආසන්න කාලයක් මගියෙකු ලෙස වාහනයක ගමන් කරන විට

* දහවල් විවේකීව හාන්සි වී සිටින විට

* වාඩි වී තවත් පුද්ගලයකු සමඟ පිළිසිඳරක යෙදී සිටින විට

* දහවල් ආහාරයෙන් පසු නිශ්ශබ්දව වාඩි වී සිටින විට (මධ්‍යසාර භාවිතා නොකර)

* වාහන තදබදයක එසේත් නැත්නම් traffic light එකේදී වාහනය නවතා සිටින විට (එක් අවස්ථාවකට උපරිම ලකුණු සංඛ්‍යාව 3 කි. මුළු ලකුණු සංඛ්‍යාව 3ය8=24 වැඩි නම් අවදානම් තත්ත්වයකි.

සාමාන්‍යයෙන් මෙවැනි පුද්ගලයන්ට නිද්‍රාරෝගී පරික්ෂාව sleep study මඟින් ගෙරවීමේ ස්වභාවය නිර්ණය කළ යුතුව ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි රෝගීන්ගේ නින්දෙන් හුස්ම හිරවීමේ ප්‍රමාණය වැඩි නම් රෝගියාගේ තත්ත්වය බරපතල නම් රෝහල් ගත කොට හෝ වෙනම කාමරයක රෝගියා නිදහසේ නිදා ගැනීමට සළස්වා මුළු රාත්‍රිය පුරාම ලේවල ඔක්සිජන් ප්‍රතිශතය ද, හෘද රේඛණය (ECG) සහ තවත් අත්‍යවශ්‍ය සාධක සටහන් කරනු ඇත. රෝගියා නින්දෙන් හුස්ම හිරවී අවදිවන අයුරු නිරීක්ෂණය කරනු ඇත. (Sleep Study) ඇතැම් අයට නිවසේදීම මෙම Sleep Study පරීක්ෂාව කරගත හැකි අතර ඒ සඳහා වෙන්වූ Technomedics ආයතනයෙන් සේවය සපයාගත හැක.

බොහෝ රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර හෝ එවැනි අයට ශල්‍යකර්මවලින් ගෙරවීමට සුවයක් ලබාගත නොහැක. ස්වසන මාර්ගය නින්දේදී වැසී යාම වැළැක්වීමට විශේෂ යන්ත්‍රයක් ලබාදිය යුතු වේ.

ස්වසන මාර්ගය ගෙරවීම හේතුකොට නින්දේදී වැසීයාම නිසා හුස්ම ගැනීම තත්පර කිහිපයකට නැවතී යනු ඇත. එවිට ඉබේට අවදිවීම සිදු වන නමුදු යම් හෙයකින් ස්වසන මාර්ගය තත්පර ගණනාවකට වැසී ගියහොත් හුස්ම ගැනීම නවතිනු ඇත. එවිට පුද්ගලයන් මිය යාමට පවා ඉඩ ඇති බැවින් ගෙරවීම අරභයා අවධානය යොමු නොකිරීමෙන් ඇතැම් විට රෝගියා මරණයට පවා පත්විය හැක

ඇතැමුන් යාබද කාමර, යාබද නිවාසවලට ඇසෙන්නට තරම් මහා හඬින් ගෙරවීම සිදු කරති. ගැටලුව වන්නේ ගෙරවීමේ ශබ්දය තමාටම නොදැනීමයි. ගෙරවීම සාමාන්‍ය රෝගයක් ලෙස නොසලකා හැරීමෙන්, හානි සිදුවන්නේ තමාටමය. අවාසනාවකට ගෙරවීමේ පරාසය තමා නොදන්නා නිසා තමන් මෙතරම් ගොරවන බව යමෙකු පැවසූ විට විශ්වාස නොකරන තත්ත්වයක් පවතී. ඇතැම් උදවිය නින්දෙන් ගෙරවීම ජංගම දුරකථන ඔස්සේ පටිගත කොට එසේම නින්දෙන් ගැස්සී අවදිවීම රූගත කොට වෛද්‍යවරයාට ගෙනැවිත් පෙන්වන්නේ ගෙරවීමේ බරපතල භාවය තවදුරටත් සාක්ෂාත් කිරීමටය.

වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසන්නේ එම ක්‍රියාව අතිශයින් වැදගත් බවයි. හේතුව රෝගියා ගොරවන ශබ්ද පරාසය මෙන්ම තිගැස්සීමේ තත්ත්වය වෛද්‍යවරයාට සියැසින් දැක ගැනීමටත් ශබ්දයට සවන් දීමට තිබෙන හැකියාව නිසා රෝගය නිර්ණය කිරීමට එය තවත් පහසුවක් වන බවය.

එබැවින් ඒ පිළිබඳ වඩාත් තහවුරු කර ගැනීමට උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරයෙකුට පෙන්වීම හෝ උගුර කන නාසය පිළිබඳ සායනයකට පැමිණි ප්‍රතිකාර වෙත යොමුවීම අතිශයින් වැදගත් කරුණකි.