මිනිස් කටහඬ දරුවාට නොඇසෙන්නේ නම් දරුවාගේ කටහඬ වර්ධනය නොවේ

මිනිස් කටහඬ දරුවාට නොඇසෙන්නේ නම් දරුවාගේ කටහඬ වර්ධනය නොවේ

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ

උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ඒ.ඩී.කේ.එස්.එම්.යසවර්ධන

අධික වියදමක් දැරීමට සිදුවන මේ සැත්කම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ආධාර කිරීමට කවුරුන් හෝ කැමැති නම් 0112675372 දිගුව 214 අංකය අමතා ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

පසුගිය සතිය හා සම්බන්ධයි

බොහෝ රටවල ඉජපඥඥද බඥඵබ නම් පරීක්ෂණය මේ සඳහා යොදාගන්නා අතර එමඟින් උපතින් ශ්‍රවණ ඌනතා ඇති දරුවන් හඳුනා ගත හැකිය. එම පරීක්ෂණයේදී ඇතිවන එක් ගැටලුවක් වන්නේ ශ්‍රවණ ඌනතාවක් නැතැයි සිතන ඇතැම් දරුවන් ද මෙහිදී ශ්‍රවණ ඌනතා සහිත දරුවන් ලෙස හඳුනා ගැනීමය.

දරුවකු තුළ ශ්‍රවණ ඌනතාවක් ඇත්නම් එය මවුපියනට හඳුනාගත හැකිය. දරුවාගේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටිමෙන් එය කළ හැකිය. දරුවකු බිහි වූ පසුව රෝහලෙන් ලැබෙන සටහන් පොත (බබා පොත) අනුගමනය කිරිමෙන් දරුවකු තුළ ශ්‍රවණයේ හෝ කථනයේ ඌනතා ඇත්නම් එය හඳුනාගත හැකි වේ. එම සටහන් පොතේ මවුපියන් විසින් සම්පූර්ණ කළ යුතු කොටස් කීපයක් ඇත. එම තොරතුරු සටහන් කිරීම මඟින් එහි සඳහන් කාලවල දී දරුවාගේ ක්‍රියාකාරකම් සිදුවන්නේ දැයි නිරීක්ෂණය කිරීම මඟින් දරුවාගේ කිසියම් දුර්වලතාවයක් ඇත්නම් එය හඳුනාගත හැකි වනු ඇත. මෙම කරුණු පිළිබඳව නොසලකා දරුවාගේ ශ්‍රවණය පිළිබඳව සොයා නොබැලීමෙන් සිදුවන්නේ දරුවාට ගොලු බිහිරි බව උරුම වීමය.

අවධානයෙන් සිටීමෙන් දරුවකුගේ ශ්‍රවණ ඌනතාව මවුපියනට හඳුනාගත හැකිය. නිදාගෙන සිටින දරුවා යම් යම් ශබ්දවලට අවදි වන්නේ නැත්නම්, දරුවා ළමා සංගීත භාණ්ඩවලට ප්‍රතිචාර දක්වන්නේ නැතිනම්, දරුවාට ශ්‍රවණ ඌනතාවයක් ඇති බව හඳුනාගත හැකිය.

ඇතැම් මවුපියන් තම දරුවාට රතිඤ්ඤා හඬ ඇසෙන බවත් අහස් යානා හඬ තම දරුවාට ඇසෙන බවත් පවසනු දැකිය හැකිය. දරුවාගේ ශ්‍රවණය පිළිබඳව සැලකීමේදී වඩාත් වැදගත් වන්නේ දරුවා මිනිස් කටහඬට සංවේදී ද යන්නය. මිනිස් හඬ දරුවාට ඇසෙන්නේ නැතිනම් දරුවාගේ කථන හැකියාව වර්ධනය නොවේ.

තම දරුවාට ශ්‍රවණ ඌනතාවක් ඇතැයි කිසියම් වැටහීමක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යය වේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ බිහිරි බවට ප්‍රතිකාර කිරිමේ හැකියාව ද බෙහෙවින් වර්ධනය වී ඇත. වඩාත් වැදගත් වන්නේ ශ්‍රවණ ඌනතා සහිතව උපදින දරුවන්ගේ එම තත්ත්වය කලින් හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමය.

දරුවාගේ ශ්‍රවණය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරිමෙන් අනතුරුව ප්‍රතිකාර කිරීම ඇරැඹෙනු ලැබේ. වෛද්‍ය මතය වන්නේ උපතින් ශ්‍රවණ ඌනතා සහිතව උපදින දරුවකු ඉපදී මාස 6 ක් යාමට ප්‍රථම ප්‍රතිකාර ආරම්භ කළ යුතු බවය. දරුවකුගේ ශ්‍රවණ හැකියාව දියුණු කිරීම සඳහා යොදා ගන්නා මූලික ප්‍රතිකාර ක්‍රමය වන්නේ ශ්‍රවණ ආධාරකයකින් දරුවාගේ ශ්‍රවණ තත්ත්වය දියුණු කිරීමය. එහිදී දරුවකු සඳහා ශ්‍රවණාධාරකයක් තෝරා ගැනීමේදී කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඉන් පළමුවැන්න වන්නේ දරුවාට ශ්‍රවණාධාරකයක් තෝරා ගැනීම සෑමවිටම වෛද්‍ය උපදෙස් මතම සිදුවිය යුතු බවය. මෙහිදී දරුවාගේ ශ්‍රවණයට අවශ්‍ය නිවැරැදිම ශ්‍රවණාධාරක තෝරා ගැනීම ඉතා වැදගත් වනු ඇත. එකම වයසේ වුවද වෙනත් දරුවකු භාවිතා කළ ශ්‍රවණාධාරකයක් තවත් දරුවකුට නුසුදුසු විය හැකිය. ඒ නිසා එම දරුවාටම ගැළපෙන ශ්‍රවණාධාරකයම තෝරා ගැනීම ඉතා වැදගත්ය. එසේම නියම ප්‍රතිඵලය ලබා ගන්නට අවම වශයෙන් දිනකට පැය 8 ක් වත් ශ්‍රවණාධාරකය පැලඳගෙන සිටිය යුතුය.

ශ්‍රවණාධාරකයකින් ශ්‍රවණ ඌනතාවට පිළියම් යෙදිය නොහැකි දරුවන් හට කළ යුතු ප්‍රතිකාරය වන්නේ කර්ණශංඛ බද්ධයක් සිදු කිරීමය. එය ශල්‍යකර්මයක් මඟින් සිදුකළ යුතුය. මෙය වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් ලෙස හැඳින්වීම නිවැරැදිය. එමඟින් උපතින් ශ්‍රවණ ඌනතා ඇති දරුවන්ට හොඳ විසඳුමක් ලබා ගත හැකි වනු ඇත.

ගැටලුව වන්නේ කර්ණශංඛ බද්ධ සැත්කම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු විමය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙම ශල්‍යකර්මය සඳහා පහසුකම් දැන් ඇත. මේ වනවිට එහි එම සැත්කම් පනහකට අධික සංඛ්‍යාවක් සිදු කොට ඇත. ඒ සෑම ශල්‍යකර්මයක්ම ඉතාම සාර්ථක වී ඇත. ශ්‍රවණ ඌනතාවක් ඇති දරුවකුට කර්ණශංඛ බද්ධ ශල්‍යකර්මය සිදු කිරීමට සුදුසු ගැළපෙනම වයස් සීමාව වන්නේ වයස අවුරුදු 1 -3 දක්වා කාලය වේ. එහෙත් දරුවකුට වයස අවුරුදු 6 ක් 7 ක් වුවද එම සැත්කම කළ හැකිය.

දරුවකුට වයස අවුරුදු 6 ක් 7 ක් වූ පසුව එම සැත්කම කිරීමෙන් කථනයේ සැලකිය යුතු ප්‍රගතියක් බලාපොරොත්තු විය නොහැකි වුවද, එමඟින් දරුවාගේ ශ්‍රවණ තත්ත්වය දියුණු වී දරුවාට තමාගේ වැඩ කටයුතු හොඳින් කර ගැනීමේ හැකියාව ලැබේ. එබැවින් දරුවකුට වයස අවුරුදු 3 කට අඩු කාලයකදී දරුවාගේ ශ්‍රවණ ඌනතාව හඳුනාගෙන කර්ණශංඛ බද්ධය සිදු කළහොත් එම දරුවාට ඉතා සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට හැකි වනු ඇත.

අධික වියදමක් දැරීමට සිදුවන මේ සැත්කම සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ආධාර කිරීමට කවුරුන් හෝ කැමැති නම් 0112675372 දිගුව 214 අංකය අමතා ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.