දරුවන්ගේ මනස හඳුනාගන්නේ මෙහෙමයි

විශේෂඥ වෛද්‍ය හමුව

දරුවන්ගේ මනස හඳුනාගන්නේ මෙහෙමයි

පාඨක ගැටලුවලට පිළිතුරු

මනෝ වෛද්‍ය විශේෂඥ මාලිකා වීරසිංහ

ඇතැම් දරුවන් මුරණ්ඩුයි. සාමාන්‍ය තත්ත්වයක් ද? මානසික රෝගයක් ද?

මුරණ්ඩුකම මමෝවෛද්‍ය විද්‍යාවට අනුව ගැටලුකාරී හැසිරීම් රටාවක් වශයෙන් පැහැදිලි කළ හැකියි. මේ සඳහා බලපාන හේතු පුළුල් පරාසයක විහිදී යයි. එම හේතු අතර සමහර දරුවන් ස්වභාවයෙන්ම කලබලකාරී, මුරණ්ඩු, ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ. එවැනි තත්ත්වයක් ඉතාමත් ස්වභාවික තත්ත්වයක් වශයෙන් හැඳින්විය හැකියි. තවත් සමහර අවස්ථාවල දරුවන් ඉල්ලන ඉල්ලන දේ ලබා දීම, නීති නොදමා දරුවාට තිබෙන ආදරය ලෙස මවුපියන් මෙසේ දක්වන ප්‍රතිචාර නිසා ද දරුවා විසින් තමාට අවැසි දේ කළ හැකි යැයි වරදවා වටහා ගනු ලැබේ. මෙවැනි තත්ත්වයක් යටතේ ද දරුවන් කියන දේ නොඅසන, මුරණ්ඩු දරුවන් බවට පත්විය හැකියි.

මෙවැනි දරුවන් නිවසේදී මවුපියන් තමන්ගේ යටතේ තබා ගන්නට ගන්නා උත්සාහය පාසලේ ගුරුවරු සහ අනෙකුත් යහළුවන්ගෙන් ද බලාපොරොත්තු වන අතර එවැනි අවස්ථාවලදී ද දරුවන් මුරණ්ඩු දරුවන් ලෙස ගුරුවරුන් විසින් හඳුන්වනු ලැබේ. මීට අමතරව මව හෝ පියා ආතතියෙන් සිටින විට දරුවට අනවශ්‍ය ආකාරයෙන් දිගින් දිගටම තරවටු කිරීම, පීඩා කිරීම නිසා ඊට ප්‍රතිචාරයක් වශයෙන් ද දරුවන් මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්නුම් කළ හැකියි. තවද නව යොවුන් වියේ පසුවන දරුවන්ට ඇතිවන විෂාදයේ ලක්ෂණයක් ලෙස ද මුරණ්ඩු ගති පැවතුම්, කියන දේ නුරුස්සන ස්වභාවය, ඉක්මනින් කේන්ති ගැනීම සහ තමා පෙරදී ආශා කළ දේවලින් වැළකී සිටීමත් මුරණ්ඩු කමක් වශයෙන් හැඳින්විය හැකියි. මෙය රෝගී තත්ත්වයක් වශයෙන් පැහැදිලි කළ හැකියි.

මීට අමතරව ODD (Oppositional Defiant Disorder) නැමැති රෝග තත්ත්වය තිබෙන දරුවන් ද සීමාවක් නොමැති මුරණ්ඩු ගති පැවැතුම් ඇති කරනු ලැබේ. ඔවුන් කිසිදු නීතියකට යටත් නොවන කියන දේට විරුද්ධ දේ කිරීම මොවුන්ගේ ලක්ෂණයයි. තවද Conduct Disorder තත්ත්වයේදී ද මුරණ්ඩු ගති ප්‍රධාන රෝග ලක්ෂණයක් ලෙස සැලකේ.

දරුවකුගේ මනස වර්ධනයට මව, පියා සහ පවුලේ අයගේ හැසිරීම බලපානවාද?

දරුවකුගේ මොළයේ වර්ධනය සීඝ්‍රයෙන්ම සිදු වන්නේ පළමු අවුරුදු 04 ඇතුළතයි. ඒ කාලය තුළ මොළයේ පරිමාණයෙන් 80%ක වර්ධනයක් සිදුවේ. එම කාලය තුළ මොළය ආශි‍්‍රත ස්නායු සෛල (නියුරෝන) අතර සහසම්බන්ධතා ඇති වීම මෙන්ම නැතිවීමද සිදුවිය හැකියි. මෙසේ සබඳතා ඇති වෙනවාද යන්න තීරණය වන්නේ බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජන මතයි. මෙම උත්තේජන දරුවන්ට හිමි වන්නේ බාහිරින් පිහිටි සංවේදී ඉන්ද්‍රියයන් මඟිනි. දරුවාගේ මෙම සංවේදන ලබා ගැනීමේ ක්‍රියාවලිය ස්නායු සෛල ඔස්සේ සිදුවන සංකීර්ණ ක්‍රියාදාමයකි. ඒ අනුව මෙම ස්නායු සබඳතා කෙතරම් ශක්තිමත්ව නිර්මාණය වනවාද යන්න තීරණය වන්නේ බාහිර පරිසරයෙන් දරුවාට ලැබෙන උත්තේජන මතයි.

උදාහරණයක් ලෙස මව, පියා පවුලේ අය සමඟ නිතර කාලය ගත කරන දරුවකුගේ මෙම උත්තේජන ඉතා ප්‍රබල අයුරින් මොළයේ වර්ධනයට හේතුවන අතර එසේ නොවන දරුවන්ට එවැනි සංවේදන මඟ හැරී යනු ලැබේ.

ඇතැම් දරුවන් ඉගෙනීමට දුර්වලයි. හේතුව මානසික රෝගයක්ද?

සාමාන්‍යයෙන් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවීමට හේතු ගණනාවක් බලපෑ හැකියි. කුඩා දරුවන් පිළිබඳ විමසා බැලුවහොත් ඊට බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් මන්ද මානසිකත්වය  (Mental Retardation) පිළිබඳ හඳුන්වාදිය හැකියි. ඒ හැරුණු විට තවත් දරුවන් පිරිසකගේ බුද්ධි මට්ටම යහපත් වූවත් ඉගෙන ගැනීම ආශි‍්‍රත ගැටලු ඇති විය හැකියි. උදාහරණයක් ලෙස අධික්‍රියාකාරී දරුවන් පිළිබඳ විමසා බැලීමේදී ඔවුන්ගේ බුද්ධි මට්ටම යහපත් වුවත් ඔවුන්ට දිගු වෙලාවක් තමාගේ අවධානය රඳවා ගැනීමට නොහැකි වීම ගැටලුකාරී නිසා ඉගෙන ගැනීම ආශි‍්‍රත ගැටලු ඇතිවිය හැකියි.

මීට අමතරව SLD (Specific Learning Disorder) යටතේ පසුවන දරුවන් ද ඉගෙන ගැනීමට දුර්වල විය හැකියි. මෙම දරුවන්ට පාසලෙන් බාහිර ක්‍රියාකාරකම් වලදී ඉතා හොඳ හැකියාවක් දක්ෂතාවන් පැවතිය ද මුලික අධ්‍යාපනික කුසලතා (ලිවීම, කියවීම හා ගණිත සංකල්ප අවබෝධය) සම වයසේ අනෙකුත් දරුවන්ට වඩා අඩු මට්ටමක පැවතිය හැකියි. මෙවැනි මුලික අධ්‍යාපනික කුසලතා ආශි‍්‍රතව ඇතිවන ගැටලුකාරී තත්ත්ව මෙවැනි දරුවන් අතර විවිධ ආකාරයෙන් දැක ගත හැකියි. බොහෝදුරට මෙම දුර්වලතා ලිවීම, කියවීම, හා ගණිත සංකල්ප අවබෝධය යන අවස්ථා තුනටම හෝ ඉන් එකකට හෝ දෙකකට අදාළව පැවතීමට හැකියි.

තවද ඉතා හොඳින් අධ්‍යාපනය හැදැරූ දරුවකු යම් සැලකිය යුතු කාලයක සිට ඉගෙනීමට දුර්වල නම් එය මානසික ආතතිය මූලික කරගෙන ඇතිවිය හැකියි. මේ සඳහා හේතු වශයෙන් පවුලේ යම් යම් ගැටලුකාරි තත්ත්ව, කායික රෝග, පාසලේ සමච්චලයට ලක්වීම, අපයෝජනයට ලක්වීම, ගුරුවරුන්ගේ අපහාසයට ලක්වීම හෝ විෂාදයේ රෝග ලක්ෂණයක් ලෙසද දැකගත හැකියි.

දරුවා අන් අය ඉදිරියේ දෝෂ දර්ශනයට ලක් කළොත් ඇතිවන ගැටලුකාරී තත්ත්ව

පිරිසක් ඉදිරියේ යම් දරුවකු දෝෂ දර්ශනයට ලක් කිරීම එතරම් සුදුසු නොවේ. නමුත් කුමන හෝ නුසුදුසු හැසිරීමක් නිසා මව හෝ පියා දරුවා එසේ දඬුවමට ලක් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ දන්නා හඳුනන පිරිසක් ඉදිරියේ දරුවා නුසුදුසු ලෙස හැසිරුණොත් ඒ අවස්ථාවේදී කේන්ති නොගෙන වෙනත් අවස්ථාවක දරුවාගේ හැසිරීම් ගැන අවබෝධ කර දිය යුතුයි. ඒ වගේම දරුවාගේ එම හැසිරීම නිවැරදි කර ගත යුතු විකල්ප ක්‍රම පිළිබඳවද අවබෝධ කර දිය හැකියි. ඒ හැරුණු විට දරුවාට දඬුවම් පැමිණි වීම පමණක් මෙවැනි අවස්ථාවකදී මවුපියන් විසින් නොකළ යුත්තක්. එසේ නොමැතිව දරුවා අසීමාන්තිකව අන් අය ඉදිරියේ දෝෂ දර්ශනයට ලක් කළොත් එය දරුවාගේ ආත්ම ශක්තියට විශාල පහරක් විය හැකියි.

ඇතැම් දරුවන් නිතරම අසනීප වෙනවා හේතුව මානසික බලපෑමක්ද?

සමහර දරුවන් නිතර විවිධ රෝග ලක්ෂණ නිසා වෛද්‍යවරු වෙත රැගෙන ගියත් ඔවුන් වෛද්‍ය පරීක්ෂාවට ලක් වූ පසුව කිසිදු රෝග තත්ත්වයකින් නොපෙළෙන බවට නිගමනය කරනු ලැබේ. ඒ වගේම දරුවන් නැවත නැවතත් වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට හේතුවක් නොමැතිව යොමු වීමද සිදුවිය හැකියි. ඒ අනුව විමසා බලන කල සැබැවින්ම කායික රෝගයක් නොමැතිව වුවත් මෙවැනි කායික රෝග ලක්ෂණ මතු විය හැකියි. ඊට බොහෝ දුරට හේතු වන්නේ මානසික ආතතිය විය හැකියි. එවැනි අවස්ථාවකදී මවුපියන් සිදුකළ යුත්තේ දරුවාව යම් පීඩනයකට ලක්කරන හේතුවක් තිබේ දැයි සොයා බැලීමයි. පාසලේ, පවුලේ, යහළුවන් ආදී විවිධ පරිසරයන් යටතේ දරුවාට බලපාන යම් මානසික පීඩාවක් කායික ලක්ෂණයක් වශයෙන් පිටතට පෙන්නුම් කිරීමට හැකියාවක් තිබේ.

අන්තර්ජාලය අධීක්ෂණයක් යටතේ දරුවාට ලබාදීම වැදගත් නේද?

තාක්ෂණය, අන්තර්ජාලය, මේ වෙනකොට දරුවන්ට පමණක් නොව සෑම අයෙකුටම ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී අවසන්. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවලට අන්තර්ජාල භාවිතය ඉතා වැදගත් වනවා පමණක් නොව ඉන් දුරස් වී කටයුතු කිරීමට ද ඉතා අපහසුයි. නමුත් එසේ නිරන්තරයෙන් පරිගණක තිරය සමඟ ගැටෙන විට එය මොළයට අහිතකර ලෙස බලපාන බව නවතම පර්යේෂණ මත සනාථ වී තිබේ. ඒ අනුව සීමාවක් නොමැතිව පරිගණක තිරය සමඟ ගැටීම නිසා මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය මත් පැන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයගේ මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන වන බවද පැහැදිලිව පෙන්වා දී තිබේ. ඒ නිසා සීමාවක් නොමැතිව භාවිතා කිරීම ඇබ්බැහිවීමක් දක්වා වර්ධනය විය හැකියි. එය ඇබ්බැහි වීමක් දක්වා වර්ධනය කරන සාධක අතර මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ජානමය බලපෑමක් තිබීමත් එක් හේතුවක්. මීට අමතරව මානසික ආතතියෙන් පෙළෙන දරුවන්, අඩු ආත්ම ශක්තියක් සහිත දරුවන්, සමාජීය සබඳතා අඩු හුදකලා වී සිටීමට කැමති දරුවන් මෙන්ම විෂාදය වැනි තත්ත්ව නිසාද දරුවන් මෙවැනි ඇබ්බැහි වීම් සඳහා යොමුවිය හැකියි. මීට අමතරව තමාට ඇතිවන මානසික පීඩාව දුරු කරගැනීමට, කම්මැලිකම නැතිකර ගැනීමට ඇතැම් දරුවන් අන්තර්ජාලය භාවිතයට නැඹුරු වී ඔවුන්ට නොදැනීම ඊට යොමු වී සිටින කාලය වැඩිවීම හා යම් ලෙසකින් ඔවුන්ට පෙර පැහැදිලි කළ ආකාරයේ ජානමය බලපෑමක් තිබේවානම් හා මවුපිය අධීක්ෂණය නොමැති නම් අසීමාන්තිකව අන්තර්ජාල භාවිතයට ඇබ්බැහි වීමේ අවදානමක් ඇති වේ.

ඒ නිසා නිතරම දරුවන්ගේ අන්තර්ජාල භාවිතය හා මවුපියන් අතර විවෘත සංවාදයක් පවත්වා ගැනීම ඉතා වැදගත්. විශේෂයෙන්ම නව යොවුන් දරුවන් සමඟ මෙම සංවාදයන් ඇතිකර ගැනීම ද වටී. මන්ද යත් ඔවුන් සැබෑ ජීවිතයේ මිතුරු සම්බන්ධතාවලින් දුරස්වීම සහ තමාගේම ලෝක ගොඩ නගාගෙන ජීවත්වීම පිළිබඳ නැවත නැවත සාකච්ඡාවට ගැනීමට හේතු වේ. ඒ වගේම දරුවාගේ අන්තර්ජාල භාවිතය අධීක්ෂණය එනම් කොපමණ වෙලාවක්, කෙසේ, කුමක් සඳහා භාවිතා කරනවාද යන්න පිළිබඳ දරුවා සමඟ එකඟත්වයට පැමිණීම ඉතා වැදගත්.

කුඩා කාලයේදී දරුවන් ලබන නරක අත්දැකිම් ඔවුන්ගේ ඉදිරි ජීවිත කාලයට කෙතරම් බලපානවාද?

කුඩා කලදී දරුවන් ලබන අමිහිරි අත්දැකීම් අතර අපයෝජනය වීම් පිළිබඳව සුලබව සාකච්ඡාවට ලක්වේ. එවැනි අත්දැකීමකට මුහුණ දුන් දරුවෙක් විශාල වශයෙන් ආතතිමය තත්ත්තයකට පත් වේ. විශේෂයෙන් මෙවැනි අපයෝජන දරුවාට ඉතාමත් සමීප අයගෙන් නැතිනම් පවුලේ අයගෙන් සිදුවන අතර දරුවා තුළ පවතින විශ්වාසය බිඳී ගොස් තමාටම වරද පටවා ගන්නා ස්වභාවයකට මූලිකව දරුවන් පත්විය හැකියි. එවිට ඔවුන් නිතරම සිතන්නේ තමාගේ වරදින්ම මෙවැනි අත්දැකීමට මුහුණ දීමට සිදු වූ බවයි. වයසින් මුහුකුරා යන විට විවිධ ආකාරයේ බලපෑම් ඇති කළ හැකියි. බොහෝ දුරට මෙවැනි දරුවන්ට ජීවිතයේදී පසුකාලීනව ඇතිවන යහපත් සබඳතා පවත්වා ගැනීම මේ නිසා ගැටලුකාරී වේ. හේතුව දරුවාට අන් අය පිළිබඳ විශ්වාසයක් තබාගැනීමට නොහැකි වීමයි. රෝග තත්ත්ව පිළිබඳ සලකා බැලීමේදී එවැනි අත්දැකීමකින් පසුව විෂාදය හා PTSD (Post - Traumatic Stress Disorder) වැනි රෝග තත්ත්වද ඇති විය හැකියි.

දරුවන් එකිනෙකා සංසන්දනය කිරීම කෙතරම් බරපතළ ද?

දරුවන් එක් අයෙකුගෙන් තවත් අයෙකුට වෙනස් ගති ලක්ෂණ ඔවුන්ට ස්වභාවයෙන්ම පිහිටා තිබේ. ඒ නිසාම එකම පවුලක වූවත් දරුවන් දෙදෙනෙක් අසමාන විය හැකියි. කෙසේ වෙතත් දරුවකුගේ ස්වභාවයට මූලිකව හේතු වන්නේ ජානමය ගති ස්වභාවයන් මෙන්ම මුල් කාලීනව පරිසරය මඟින් ඇති කරන බලපෑම්ය. උදාහරණයක් ලෙස ඇතැම් දරුවන් ඉතාම සංවේදී, ලැජ්ජාසහගත, ඉදිරිපත් නොවන ගති ස්වභාවයන් ඇති අය වගේම තවත් දරුවන් ඉතාම ක්‍රියාශීලි, සිත ශක්තිමත් අය විය හැකියි. ඒ අනුව එකම වයසක දරුවන්ගේ වූවත් දක්ෂතා එකිනෙකට වෙනස්කම් දක්වනු ලැබේ. අධ්‍යාපනය හැදෑරීමේදී දරුවන් දෙදෙනෙකු පිළිබඳ සලකා බැලුවහොත් ඔවුනොවුන්ට වෙනස් දක්ෂතාවන් පැවතිය හැකියි. ඒ අනුව විමසා බලන කල එක් දරුවෙක් වෙනත් දරුවක් සමඟ සංසන්දනය කිරීම පදනමක් රහිත කි‍්‍රයාවක්. බොහෝ දුරට මෙසේ දරුවන් සංසන්දනය වන්නේ අධ්‍යාපනය ලැබීමේ ක්‍රියාවලියේදී ලබන ලකුණු ප්‍රමාණ අනුවයි. නමුත් මවුපියන් සිදු කළ යුත්තේ තම දරුවා වෙනත් දරුවකු සමඟ සංසන්දනය කිරීම නොව තමා සමඟම සසදා බැලීමට හුරුකිරීමයි. එහිදී තමාගේ තරගකරුවා තමාම බව දරුවාට එත්තු ගැන්වීම සිදු කළ යුතුයි. විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් තමාගේ අතීත කුසලතා තමාගේ වර්තමාන කුසලතා සමඟ සසදා උත්සාහය උනන්දුව ඇතිකර වීමට දරුවාට උපකාර කිරිම ධෛර්යමත් කිරීම කළ යුතුයි.

නවයොවුන් වියේ දරුවන් සමඟ ගනුදෙනුව කෙතරම් සූක්ෂම විය යුතුද?

මිනිස් මොළයේ හැගීම් ප්‍රකාශ වන්නේ Amygdala  නැමති කොටසිනි. එය පිහිටා ඇත්තේ මොළය අභ්‍යන්තරයට වන්නටයි. නමුත් හැඟීම් පාලනය සිදුවන්නේ නළල ප්‍රදේශය ආශ්‍රය කරගත් මොළය ආශි‍්‍රත කොටස වන Frontal Lobe  නැමැති කොටසිනි. සාමාන්‍යයෙන් නවයොවුන් වියේදී සිදුවන්නේ හැඟීම් ප්‍රකාශ වීමට සාපේක්ෂව ඒවා පාලනය කිරීමට අදාළ කොටසේ වර්ධනය ප්‍රමාද වීමයි. එවැනි විටෙක හොර්මෝන ක්‍රියාකාරීත්වය, කායික වර්ධනයත් සමඟම හැඟීම් ප්‍රකාශ වුවත් ඒවා නිසි පරිදි පරිපාලනය නොවීම තිරිංග නොමැති එන්ජිමක ක්‍රියාකාරීත්වය හා සමාන වේ. ඒ නිසා නව යොවුන් වියේ පසවුන දරුවන්ට ආවේග පාලනය කිරීමේ ගැටලු ඇතිවනු ලැබේ. මීට අමතරව මොළයේ ඉදිරිපස පිහිටා ඇති නමුත් වර්ධනය ප්‍රමාද වන Frontal Lobe  කොටස මඟින් ඉටුවන තවත් කාර්යයන් රැසකි. ඒවා අතර තීරණ ගැනීම, ගැටලුවකට මුහුණ දීම, ඇතැම් තීරණ විනිශ්චය කිරීම, ආදී දේ ඊට ඇතුළත් වේ. මේ නිසාවෙන් නව යොවුන් වියේ දරුවන්ට ආවේග පාලනය කිරීමේ ගැටලුව ඇතිවේ. අවදානම් සහගත කාර්යන්වල නිරත වීම, හදිසි තීරණ ගැනීම, ගැටලුවලට මුහුණ දීමේ නොහැකියාව ඇති වේ. මෙහිදී මවුපියන්ට විශේෂ වගකීමක් පැවරෙන අතර ඔවුන් මනා ලෙස දරුවාගේ මෙම කාලසීමාව තුළ මොළය වර්ධනය වීම අවබෝධ කර ගෙන ඒ අනුව දරුවාට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දිය යුතුයි. එය කුඩා කල සිට දරුවාට අවබෝධකර දී, නවයොවුන් වියේ ඇතිවන ගැටලුවලට දරුවාට සාර්ථකව මුහුණ දීමට ශක්තියක් ලබාදිය හැකියි. යහපත් මවුපියන් සබඳතාවක් පවත්වා ගැනීම මඟින් යොවුන් වියේදී දරුවා මුහුණ දෙන ගැටලු බොහෝමයක් මඟ හරවා ගත හැකියි.