විෂාදය හැදෙන්නේ කොහොමද?

විෂාදය හැදෙන්නේ කොහොමද?

 

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

අද අපි කථා කරන්නේ ශාරිරික නොවන රෝගයක් ගැනයි. ඒ අපගේ මනසට දැනෙන අවපීඩනය හෙවත් විෂාදය පිළිබඳවයි. ඇත්තටම මෙය මොළය ආශි‍්‍රතව හටගන්නා රෝග තත්ත්වයකි. එහිදී ශරීරය ඇතුලේ දුවන්නේ කුමක්දැයි කියා ලිපියේ පසුවට සඳහන් කරන්නම්.

පහත මම සඳහන් කරන රෝග ලක්ෂණ වලට ඔබගේ අවධානය යොමු කරලා බලන්න.

* හිතට දුකක් දැනීම

* සිතිවිලි හා ක්‍රියාවන් පිළිබඳව චකිතයක් ඇති වීම

* හිස් බවක් දැනීම

* බලාපොරොත්තු රහිත බව

* තමාට තමාගේම හෝ කිසි අයෙකුගේ උදව්වක් නොමැති බව

* තමන්ගෙන් පලක් නොමැති බව

* තමන් වැරදිකාර බවක් හැඟීම

* නොරුස්නා ස්වභාවය

* නොඉවසිලිමත් ගතිය

* යම් දිනෙක සතුටක් ලබා දුන් ක්‍රියාවක් වර්තමානයේ උනන්දුවක් නැති අප්‍රසන්න දෙයක් වීම

* කෑම රුචිය නැති වීම හෝ අධික ලෙස ආහාර අනුභවය හීන වීම

* අවධානය යොමු කිරීමට අසමත් වීම

* මතකය අඩු වී ඇතැයි යන හැඟීම දැනීම.

* තීරණයක් ගැනීමට නොහැකි වීම

* සියදිවි නසා ගැනීමට පවා සිත් වීම සහ සියදිවි නසා ගැනීම

* නින්ද නොයාම

* සමහරවිට වැඩිපුර නින්ද යාම

* සිරුරට ශක්තියක් නොමැති බැව් හැඟීම

* ආහාර ජීර්ණ පද්ධතියට අදාළ පහසුවෙන් සුව නොවන වමනය, බඩ වේලීම, බඩ බුරුල් වීම ආදී ලක්ෂණ ඇතිවීම

ඉහත කී කරුණු කාරණා දෙස හොඳ අවධානයකින් බලන විට අප සැමගේම ජිවිතයේදී මෙම කරුණු එකක් හෝ දෙකක් හෝ කීපයක් හොඳින් අත්දැක ඇතුවාට සැකයක් නම් නැත. නමුත් මෙම රෝග ලක්ෂණ බොහෝමයක් දිගටම පවතින විට විශේෂයෙන් අපගේ එදිනෙදා ජීවිතයට බලපාන මට්ටමින් පවතින විට එම තත්ත්වය “මානසික අවපීඩනය” හෙවත් විෂාද තත්ත්වයක් ලෙස විස්තර කෙරෙනවා. මෙහිදී ඉතාම වැදගත් දේ වන්නේ දුක්බර හෝ හැඟීම් අතින් ඉතා පහළ මට්ටමක වූ මුහුණුවරකි. (Low Mood) මෙම මුහුණවර නිසා ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ පහළ වීමත්, ජීවන ක්‍රියාමාර්ගයන් ඈත්ව යෑමත් සිදු වී පුද්ගලයාගේ සිතිවිලිත්, හැසිරීම් රටාත්, ශාරීරික සෞඛ්‍ය සම්පන්න බවත් බලපෑමකට ලක් වෙනවා.

විෂාදය පිළිබඳව මම සඳහන් කළ ලක්ෂණ හැමවිටම රෝගයක් ලෙස හෝ රෝග ලක්ෂණ ලෙසට ඇති වන ඒවාම නොවෙයි. අපේ ජීවිතයේ ඇති වන හෝ අපට සිදුවන යම් සිදුවීම් (Life events) උදා. මරණ, මුදල් පාඩු, ප්‍රියයන්ගේ වියෝවීම්, සුනාමි, ගංවතුර වැනි ස්වභාවික විපත්, ආදර සම්බන්ධතා බිඳ වැටීම් ආදිය නිසා මනස තුළ ඇතිවන අතිශය ස්වභාවික ප්‍රතිචාර ලෙසත් මෙම විෂාදය තත්ත්වයන් ඇති වන්නට පුළුවනි. ඒ නිසා මානසික අව පීඩනය ඇති වීම ඉහත සඳහන් කළ ස්වභාවික කාරණාවක්, මානසික රෝග තත්ත්වයන්, ශීත කාලය, වැසි කාලය වැනි පාරිසරික තත්ත්වයන් හා ශාරීරික රෝග (උදා. වෛරස් වැනි විෂබීජ ආසාදන, තයිරොඩ් හෝමෝන අඩුකම සහ තවත් දේ) නිසාත් ඇතිවෙන්න පුළුවන්.

මානසික රෝග තත්ත්වයන් ගැන සඳහන් කරන විට Mood disorders යනුවෙන් හඳුන්වනු ලබන රෝගියාගේ හැඟීම් හා මුහුණුවර අනුව වෙනස් වන රෝග කිහිපයකදී විෂාදය දක්නට ලැබෙනවා. විෂාදයට රෝගියා දක්වන රෝග ලක්ෂණවල ප්‍රමාණය අනුව එය සරල ආකාරයක සිට උග්‍ර ආකාරයක් දක්වා වර්ගීකරණයට ලක් වෙනවා.

සරල තත්ත්වයේ ඇති රෝගය සඳහා උපදේශන සේවා ප්‍රමාණවත් වුවත් තරමක් වැඩි රෝග ලක්ෂණ සඳහා මනෝ වෛද්‍ය විශේෂඥ ප්‍රතිකාර ලබා දිය යුතුම වෙනවා. විෂාදය තත්ත්වයේදී මොළයේ ඇතුළත සිදුවන දැනට අප වටහාගෙන ඇති ක්‍රියාවලිය ගැන දැන ගනිමු. අපගේ මොළයේ ඇතිවන සිතිවිලි හා ශරීරික ක්‍රියාවලිය සඳහා සංඥා නිකුත් කිරීම සිදුවන්නේ ස්නායු මඟින් බව ඔබ දන්නවා ඇති. මෙම ස්නායු මඟින් සන්නිවේදනය සඳහා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වෙනවා.

මේවා Neurotransmitters  ලෙස හඳුන්වනු ලබනවා. මෙම රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය සඳහා බලපාන දේ අතර ශරීර සෞඛ්‍ය, ජානවල ස්වභාවය, හෝමෝන වෙනස්වීම්, බෙහෙත් ද්‍රව්‍ය, වයසට යාම, මොළයට වන හානි, කාලගුණ හා දේශගුණ වෙනස්වීම්, සමාජීය වටපිටාව හා සිදුවීම් ආදී කරුණු බොහෝමයක් වෙනවා. ඉතිං මේ කාරණා නිසා රසායනික ද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් වී විෂාදය හට ගන්නවා.

ඉතිං විෂාදය ගැන මෙම කෙටි රෝග විස්තරය ඔබ හොඳින් ග්‍රහණය කර ගත්තා නම් මෙහිදී සඳහන් කළ රෝග ලක්ෂණ ඔබ තුළ හෝ ඔබගේ අවට පුද්ගලයා තුළ දකින්න ලැබෙනවා නම් ඒ සඳහා වෛද්‍යවරයාගේ අවධානය වහා යොමු කළ යුතු බව වැටහෙනවා ඇති.

විශාදයේ රෝග ලක්ෂණ

 හිතට දුකක් දැනීම  බලාපොරොත්තු රහිත බව

 හිස් බවක් දැනීම  තමන් වැරදිකාර බවක් හැඟීම

 නින්ද නොයාම  සමහරවිට වැඩිපුර නින්ද යාම

 නොරුස්නා ස්වභාවය  නොඉවසිලිමත් ගතිය

 තමන්ගෙන් පලක් නොමැති බව  තීරණයක් ගැනීමට නොහැකි වීම

 හිතිවලි හා ක්‍රියාවන් පිළිබඳව චකිතයක් ඇති වීම

 තමාට තමාගේම හෝ කිසි අයෙකුගේ උදව්වක් නොමැති බව

 යම් දිනෙක සතුටක් ලබා දුන් ක්‍රියාවක් වර්තමානයේ උනන්දුවක් නැති අප්‍රසන්න දෙයක් වීම

 කෑම රුචිය නැති වීම හෝ අධික ලෙස ආහාර අනුභවය හීන වීම

 අවධානය යොමු කිරීමට අසමත් වීම

 මතකය අඩු වී ඇතැයි යන හැඟීම දැනීම.

 සියදිවි නසා ගැනීමට පවා සිත් වීම සහ සියදිවි නසා ගැනීම

 සිරුරට ශක්තියක් නොමැති බැව් හැඟීම

 ආහාර ජීර්ණ පද්ධතියට අදාළ පහසුවෙන් සුව නොවන වමනය,

බඩ වේලීම, බඩ බුරුල් වීම ආදී ලක්ෂණ ඇතිවීම