රෝහල් කාර්ය මණ්ඩලය වගේ පෙනී සිටින රැවටිලිකාරහොරුන්ගෙන් ප්‍රවේශම් වන්න

රෝහල් කාර්ය මණ්ඩලය වගේ පෙනී සිටින රැවටිලිකාරහොරුන්ගෙන් ප්‍රවේශම් වන්න

කොළඹ ජාතික රෝහලේ තොරතුරු ක්නේද්‍රයේ කාර්යභාර හෙදි නිලධාරිණී

ජී. ශි‍්‍රයන්ගනී

“රෝගියා විශේෂ කෙනෙක්. එදිනෙදා සාමාන්‍ය ජිවිතයට මුහුණ දීමේ අභියෝගයකටයි රෝගියා මුහුණ දී සිටින්නේ. එනමුත් නැවතත් පුළුවන් ඉක්මණින් හුරු පුරුදු ජීවිතය අරඹන බලාපොරොත්තුව ඇතිවයි රෝගියා රෝහල්ගත වෙන්නේ.

ඇත්තෙන්ම ඒ වෙනදාටත් වඩා ඒ තැනැත්තා ආදරය, කරුණාව, දයාව සොයන කාලයක් වෙදකම සමඟ සමවන හෙදකම රෝගියාගේ අපේක්ෂාවක්. මේ පැතුම් පොදි බැඳන් ගත පෙළන පීඩාවක් ඇතිව වාට්ටුවට ඇතුළු වන සෑම රෝගියකුම අපට සුවිශේෂයි කියලා අපි කියන්නේ ඒ නිසයි.

ඉතින් සුව සහනය සොයාගෙන නුහුරු නුපුරුදු රෝහල් පරිසරයේ නේවාසික වන්නට එන ඒ ඒ අපූරු අමුත්තන් එකිනෙකා වෙනුවෙන් ඇප කැප වීමයි, රෝහල් කාර්යමණ්ඩලවල යුතුකම. ඒ නමුත් වංචාකරුවන්ගේ කූට සටකපටකම්වලට ගොදුරු වී ගතේ සුවය සොයන් රෝහලට පැමිණෙන සමහර රෝගීන් මානසිකවත් අසීරුතාවට පත්වන අවස්ථාත් නැතුවා නොවෙයි.

සුදුවතින්ම සැරසී ආරූඪ කරගත් කරුණාවක් මවාපාන්නට වංචාකාර සමහර සොරුන් හරි දක්ෂයි.

නේවාසික ප්‍රතිකාරවලට අලුතින් රෝගීන් වාට්ටුවලට ඇතුළුවීමට පැමිණෙන මඟ දෙපසදීමයි මේ සමහර වංචනිකයන් රෝගින් සමඟ මිතුරු වන්නේ. ඒ අහස උසට කරන බොරු මවා පෑම්වලට හුඟක් රෝගීන් රැවටෙනවා. විශේෂයෙන් කාන්තාවන් සමහර මතට ඇබ්බැහි වී සිටින පිරිමින්වත් ඒ ඒ මත්ද්‍රව්‍ය වාට්ටුවට සපයාදෙන බොරු පොරොන්දු පිට රවටා ගන්නට මේ කූට ජාවාරම් කරුවන් දන්නවා.

“කෝ දෙන්නකෝ. ඔයාගේ ඔය රත්තරන් බඩු. වාට්ටුවේ අපි ඒවා ගන්නේ ඔයාගේම ආරක්ෂාවට, ඔන්න මතක ඇතිව ටිකට් කපන් යද්දී ඕවා ඉල්ලගන්න ඕන හොඳේ....”

අම්මේ, අක්කේ, මල්ලියේ, නංගියේ දැනගන්න. මේ වගේ තොඳොල් කතා කියන හොරු කණ්ඩායම් රෝහල් කාර්ය මණ්ඩලය වගේම සුදු ඇඳගෙන වාට්ටුවල දොරකඩ සිටිනවා. ඔයාලා ඒ අයට රැවටිලා කනකර එහෙමත් නැතිනම් වෙනත් වටිනා භාණ්ඩ මුදල් හදල් පරෙස්සමට කියලා දුන්නොතින් නැවත ලැබෙන්නේ නම් නැහැ. එයාලා සොරු.

විශේෂයෙන් කොළඹ ජාතික රෝහල අවට එවැනි ජාවාරමේ නිරත පිරිස් සිටිනවා. ඒ වගේම රටේම වෙනත් රෝහල්වල සිටින්නත් පුළුවනි. ඒ නිසා වාට්ටුව භාර වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ අනු දැනුම සහ මඟ පෙන්වීම මත මිසෙක ඔයාලා රැවටිලිකරුවන්ට මුලා වෙලා ඔයාලගේ වටිනා භාණ්ඩ ඔවුන් අතට නම් පත් කරන්න එපා.

විවිධාකාරයේ දැන හැදුණුම්කම් තිබෙනවාය කියමින් වාට්ටුවේදී විශේෂ වරප්‍රසාද ලබා දෙන බවටත් සමහර සොරු උදව් අහනවා. ඒ නමුත් වාට්ටුවක සියලුම රෝගීන් රෝහල් කාර්ය මණ්ඩලවලට එකම වගේ සළකන්නේ. ඒ මිසෙක ඔබ අයථා විදියට වරප්‍රසාද බලාපොරොත්තු නොවිය යුතුයි. ඇත්තෙන්ම සමහර ව්‍යාපාර ලිපි ලේඛන, තුණ්ඩු, පොරොත්තු අංක මේ කූට ජාවාරම්කරුවන් ඔබ අත පත් කරන්නට මාන බලාවි. ඒ වුණත් අන්තිමේදී ඒවා නිසා ඔබට ඔබේ වටිනා මුදල් හදල් නැති කරගන්නට සිදුවෙනවා පමණක් නොවෙයි. ඒවා නිසාම රෝහලේදී විඳින්නට සිදුවන අපහසුතා ද එමටයි.

අනෙක් අතින් කොළඹ ජාතික රෝහලට මෙන්ම අපේ රටේ බොහෝ මහ රෝහල්වලට බොහෝ රෝගීන් පැමිණෙන්නේ දුර බැහැර ගෙවා ගෙන. ඒ සමහරු අදාල දිනට පසුදිනයි පොරොත්තු පෝලිම්වලට එක්වන්නේ.

ඉතින් සිතා බලන්නකෝ අපි වගේම අපේම සහෝදර ජනාතාවක් ඒ තරම් දුක් කම්කටොළු විඳිද්දී අපි පගාව දීලා ඒ අයව පස්සට තල්ලුකරවලා වෛ්‍යද්‍යවරයා හමුවන්නට ඉක්මන් වීමට සිතීමට කෙතරම් නම් වැරදි සිතිවිල්ලක් ද කියලා....?