facebook එකෙන් Share නොකළ යුතු දේ

facebook එකෙන් Share නොකළ යුතු දේ

ෆේස්බුක් යනු බොහෝදෙනෙකුට පී‍්‍රති සාගරයකි. ඕපාදූප වේදිකාවකි. එපමණක් නොව සල්පිල්, අවන්හල් පිරි සංචාරයකි. ෆේස්බුක් ඔබව එසැණින් මිතුරන් අතරට ගෙනයන මීටර් ටැක්සියක් මෙනි. එය වැඩිදෙනෙකුට අද ගෙදර මෙන් හුරුපුරුදුය. නමුත් කොපමණ ළෙන්ගතුව දැනුණත් එහි ෂෙයාර් නොකළ යුතුම දේවල් රාශියක් ද ඇත.

ඔබේ පුද්ගලික තොරතුරු හා මුදල් පිළිබඳ තොරතුරු

ෆේස්බුක් වෙත ඔබේ පුද්ගලික හෝ බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෝ ඒ හා සම්බන්ධ දත්ත කිසිවක් මුදා හැරීම අතිශය අවදානම් සහිතය.

ඔබේ උපන්දිනය, දුරකථන අංකය හෝ ඔබේ මවගේ මුල් නම ආදී බැංකු කටයුතුවලදී භාවිතා කරන අතිශ්‍ය පුද්ගලික තොරතුරු මෙවැනි පොදු මාධ්‍යවල පළ කිරීමෙන් වැළකීම වැදගත් වන්නේ පරිගණක හැකර්වරු නිරන්තරයෙන් ගොදුරු පිළිබඳ විමසිල්ලෙන් සිටින බැවිනි. කිසිසේත් නොසිතන මොහොතක ඔබ අතින් සිදු වී ඇති සියුම් නොසැලකිල්ලක් හෝ අත්වැරදීමක් හේතුවෙන් ඔබේ සමස්ත අනන්‍යතාවයම සොරා ගන්නට ඉඩ ඇති බැවින් හා එමඟින් ඔබට අතිශය බැරෑරුම් තත්ත්වලට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් ද එවැනි වගකීමෙන් තොර ක්‍රියාවන්ගෙන් වළකින්න.

අවධානය ඉල්ලන ඡායාරූප

මෙයද නූතන ජීවන රටාවේ අතිශය සුලබ දසුන්ය. ෆේස්බුක් හි අනුන්ගේ අවධානය ලබා ගන්නට වෙර දරමින් එල්ලී සිටින ඡායාරූප කීයක් එක් දිනකදී දුටුවාදැයි ඔබට මතකද? මෙවැනි අනුමාන කිරීමට බලකරන ඡායාරූපයක් බොහෝවිට යමකු පළකරන්නේ, හානේ ඔයා කොහේද ඉන්නේ, ඔයා උත්සවයකට සහභාගි වුණාද? වෙඩිං එකක්ද? කාගේද? ෂා හරි ලස්සනයි වැනි කමෙන්ටුවක් ලබා ගැනීමේ දැඩි අරමුණෙනි. එය තඪඬඥ යැදීමකි. වගකීමක් සහිත පුද්ගලයන් එසේ නොකරයි. ඔබේම ෆේස්බුක් මිතුරන් වෙත පවා යැවීමට වඩා යෝග්‍ය වන්නේ ෂෙයාර් කිරීමට සුදුසු යම් වටිනාකමක් ඇති පණිවුඩයක් හෝ ඡායාරූපයකි.

ඔබ රැකියා ස්ථානයේ කරන දේ පිළිබඳ ඡායාරූප හා තොරතුරු පළ කිරීමෙන් වළකින්න

ඔබේ රැකියාවේ තොරතුරු පළ කිරීමට නුසුදුසුම ස්ථානයකි ෆේස්බුක්. ඔබ එවැනි තොරතුරු හෝ ඡායාරූප පළ කිරීම එතරම් වරදකැයි නොසිතුවා ද ඔබට පවරා ඇති කාර්යයක් හෝ ඔබට පවරා ඇති ඉලක්ක රැකියාවට අදාළ විශේෂ තොරතුරු එසේ පොදුවේ ෂෙයාර් නොකළ යුතු දේය.

මෙවැනි තොරතුරු ඔබේ තරගකාරී ආයතන හෝ පුද්ගලයන් වෙතට පත් වීමෙන් ඔබේ රැකියාවට ද අගතියක් විය හැකිය. එබැවින් අතිශය පෞද්ගලික තොරතුරු මෙන්ම රැකියාවට අදාළ තොරතුරු ද වගකීමෙන් තොරව ෆේස්බුක් වෙත මුදා හැරීමෙන් වළකින්න.

ඔබේ සැලසුම්, සිතුම් පැතුම් හෙළි නොකරන්න

ඔබ හෙට ගැන සිතන දේ, කිරීමට සැලසුම් කර ඇති දේ, ඔබේ වාසනාව පිළිබඳ උදව් අනන සුලු ප්‍රකාශ පුද්ගලයකු ඔහුගේ ෆේස්බුක් මිතුරන්ගේ ඊර්ෂ්‍යාවට ලක් කරන සාධක බව හඳුනාගෙන ඇත. ඔබ ඔබේ ෆේස්බුක් මිතුරන් අතර එදිනෙදා කරන කියන දේ ආගිය තැන් මෙන්ම අනෙකුත් සාර්ථකත්වයේ තොරතුරු ද බෙදා හදා ගත යුත්තේ කොහේදැයි ඔබ සිතා බැලිය යුතුය. ඔබට මිතුරන් සමඟ බෙදාහදා ගැනීමට සුබ ආරංචියක් ඇත්නම් එය හැමටම අවංකව දැනෙන ලෙස පමණක් ෂෙයාර් කරගන්න. ඔබේ සංචාර පිළිබඳ තොරතුරු එදිනෙදා කෑ, බිව් දේ, ඇඳුම් පැළඳුම් ගේ දොර පිළිබඳ විස්තර ඡායාරූප ඔබව අන්‍යයන් අතරේ ප්‍රසාදයට හෝ විශිෂ්ටත්වයට පත් කරනවාට වඩා ඊර්ෂ්‍යාවට ලක් කළ හැකි සාධක බව තේරුම් ගැනීම වැදගත්ය.

ඔබේ දරුවන්ගේ හෝ

හිත මිතුරන්ගේ දරුවන්ගේ ඡායාරූප

ෆේස්බුක් ඡායාරූප ඇල්බම්වලින් පිරී තිබෙනු අප ඕනෑ තරම් දැක තිබේ. නූතනයේ බොහෝ දරුවන් හැදී වැඩෙන්නේ මේ ෆේස්බුක් පිටු අතරය. අවාසනාව නම් ඒ බොහෝ ඡායාරූප පළ කරන්නේ ඔවුන්ගේම මවුපියන්ය. ඒවා කොපමණ පොදුවේ ෂෙයාර් වනවාදැයි ඔවුන් කල්පනා නොකරයි. එය කෙතරම් යෝග්‍යයද? එයින් එකී දරුවාගේ පුද්ගලිකත්වයට යම් බලපෑමක් විය හැකිද ආදී කරුණු ගණනාවක් ගැන එවැන්නක් සරලව කිරීමට පෙර කල්පනා කළ යුතුමයි.

විශේෂයෙන් ඔබ කාගේ හේ දරුවකුගේ ඡායාරූපයක් පෝස්ට් කිරීමට පෙර ඒ පිළිබඳ දරුවන්ගේ මවුපියන්ගෙන් අවසර ගැනීම යෝග්‍ය හා විනීත ක්‍රියාවකි. එසේ පළ කළ යුතුම අවස්ථාවන් හිදී පවා ඔවුන් සිටින පරිසරයන් පිළිබඳ ඉඟි ප්‍රසිද්ධ කිරීමෙන් වළකින්න. දරුවා සිටින ස්ථානය පිළිබඳ ඉඟි දරුවාගේ ජීවිතයේ ආරක්ෂාවට බාධාවක් විය හැකි බැවින් නිතරම ඒ පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කරන්න.

පාදූප හෝ පුද්ගලික මඩ ප්‍රහාර

ඕපාදූප කොහොමටත් නරක බව අපි සැවොම දනිමු. ෆේස්බුක් තුළ පුද්ගලික ඕපාදූප බෙදා හැරීම ඊට වඩා නරකය. නොකළ යුතුය.

ඔබේ රැකියා සගයන් හෝ මිතුරන් අතර ඇතිවන ප්‍රශ්න විචාරය කිරීමට හෝ විවේචනයට ෆේස්බුක් යොදා ගැනීම අතිශය අවිනීතය. ඔබ සමහරවිට ඍජුව ඔවුන්ගේ නම් ගම් හෙළි නොකළත් ඉන් දෙපාර්ශවයටම සිදුවිය හැකි හානිය ඉතා විශාලය. සරලව කිවතොත් මෙවැනි දේ කරන පුද්ගලයන්ට ඔවුන්ගේම මිතුරන්ගේ විශ්වාසනීයත්වයෙන් ගිලිහී යාම ද වළකාලිය නොහැකි කරුණකි.

ඔබ හෝ ඔබේ මිතුරන් අපහසුතාවට පත් කළ හැකි ඡායාරූප

ෆේස්බුක් යනු කිසිවිටෙක ඔබ හෝ ඔබේ මිතුරන් අපහසුවට පත් කළ හැකි ආකාරයේ ඡායාරූප පළ කිරීමට සුදුසු ස්ථානයක් නොවේ. ඔබ හෝ මිතුරන් මඟුල් ගෙදරක, පී‍්‍රති සාදයක හැසිරුණු අයුරු, මත්පැන් පානය කර සිටි අයුරු දක්වන ඡායාරූප කිසිවිටෙක ෆේස්බුක් හි පළ කිරීමට නුසුදුසු ඒවාය. එයින් සමාජයට ගලා යනුයේ ඔබ පිළිබඳ වැරදි චිත්‍රයකි. එය යම් විටෙක ඔබේ පුද්ගලික ජීවිතයට මෙන්ම රැකියාවට ද අහිතකර අන්දමින් බලපෑ හැක.

අන්තර්ජාලයේ  තොරතුරු ඇසුරෙන්