තත්පර 20 ක් තනි කකුලෙන් ඉන්න බැරිද? එහෙනම් ආඝාත බියක්!

තත්පර 20 ක් තනි කකුලෙන් ඉන්න බැරිද? එහෙනම් ආඝාත බියක්!

තුල්‍යතාවය (සමතුලිත බව) රැකගෙන තනි කකුලෙන් කොපමණ වේලාවක් සිට ගෙන සිටිය හැකිද? දෙඇස් ඇරගෙන තත්පර 20 කට වැඩි කාලයක් තුල්‍යතාව රැකගෙන නොවැටී සිටීමට ඔබට නොහැකි නම් ඔබට ආඝාතය තත්ත්වයක් අනාගතයේදී ඇති වීමට වැඩි ඉක් පවතින බව පළවෙයි.

“ස්ටෙ‍්‍රීක්” (ආඝාතය) සඟරාවේ පළවූ මෙම පර්යේෂණ තොරතුරකට අනුව පෙර සඳහන් කළ පරිදි ආධාරයක් රහිතව දෙඇස් ඇරගෙන තනි කකුලෙන් තත්පර 20 ක් වත් සිටගෙන සිටීමට ඔබට නොහැකි නම් ඉන් පෙන්වනුයේ මොළයට රුධිරය සපයන කුඩා රුධිර නාල සෞඛ්‍යය යහපත් නොවන බවය. මේ සඳහා මොළයේ චුම්බක පුතිනාද ප්‍රතිබිම්බ පරීක්ෂණ යොදාගෙන තිබිණ. ඉතා යහපත් රුධිර නාල සෞඛ්‍යයකට හිමිකම් තිබූ අධ්‍යයනයට ලක් වූවන් හට තත්පර 60 ක කාලයක් වුව එසේ තනි කකුලෙන් තුල්‍යතාව රැකගෙන සිටීමට හැකිව තිබිණ.

කුඩා ලේ නාල හානි සිදුවන්නේ මොළයේ ධමනි නාළිකාවන්හී නම්‍යතාවය අහිමි වී ඒවා තුළින් රුධිරය ගලා යාමේ අපහසුතා ඇති වූ විටය. මෙය ආඝාතය ඇති කිරීමට පමණක් නොව ප්‍රඡානන හැකියා අඩපණ කිරීමට ද සමත් වෙයි.

පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ගේ අදහස නම් ආඝාතය ඇති වීමට බලපාන වයස් ගතවීම, අධික රුධිර පීඩනය හා ශිර්ෂ පේලි ධමනියේ ඇතුළත ඝනකම් තට්ටුවකින් වැසීම වැනි අවදානම් නොසලකා කුඩා රුධිර නාල රෝග හා හානි පවතින අය ආඝාත තත්ත්වයට ලක්වීමේ දැඩි අවදානමක් පළ කරන බවය.

වැඩියෙන් දුම්බොන්නේ මානසික රෝග ඇති අයයි

“ලලන්සෙට්” නමින් ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවකට අනුව මානසික රෝග තත්ත්වයක් නොමැති අයට වඩා මානසික රෝග වලින් පෙළෙන අය වැඩියෙන් දුම්පානය කරති.

උග්‍ර මානසික රෝග වලින් පෙළෙන අය අතරින් 50% ක් දුම්පානය කරන අයයි. ඉන් මුදාගැනීමට දුම්පානය කරන අතර ඔවුන් ඉන් මුදාගැනීම කළ නොහැකි තරම් අසීරු කටයුත්තකි. මෙම අධ්‍යනය හෙළි කරන තොරතුරු අනුව මානසික රෝග වලින් පෙළෙන අය දිනකට පානය කරන සිගරැට් සංඛ්‍යාව එවැනි රෝග තත්ත්වයක් නොපෙන්වන අයට වඩා බොහෝ වැඩිය. එසේම ඔවුන් සිගරැට්ටුවෙන් උරන දුම් ප්‍රමාණය ද අනෙක් අයට සාපෙක්ෂව ගත් කළ ඉතා වැඩිය. මානසික රෝගීන් අතර පිළිකා ඇතිවීම ඉහළ මට්ටමක පැවතීමට මෙය හේතුවන බව ඔවුන්ගේ මතයයි.

මම තවම තරුණයි

වයසට යන විට අප අතර ප්‍රධාන වශයෙන්ම ඇතිවන සිතිවිලි වර්ග දෙකකි. ඉන් එකක් නම් “මම දැන් වයසයි. ඉස්සර වගේ වැඩ කරන්නට බැහැ.”දෙවන සිතිවිල්ල “වයස මොකක්ද මම හිතන්නෙ මම තාම තරුණයි. එදා වගේම වැඩ කරන්නට මට පුළුවන්.”

“ජාවා” ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සඟරාව මේ දෙකොටසට අළලා සිදු කළ අධ්‍යනයක තොරතුරු මෙසේය. වයසට ගියත් තරුණ බව සිතින් අත් නොහළ අය අතර සිදුවන මරණ සංඛ්‍යාව, වයස ගැන සිතන අයට වඩා 14.3% කින් අඩු බව මෙම පර්යේෂණ පෙන්වා දී ඇත.

මෙයට හේතුව එක එල්ලේම හෙළි කරගත නොහැකි වුවත් තමන් පිළිබඳ තමන්ම ප්‍රබල වීම නිසා තමා තරුණ බව සිතන අය දිගු දිවියක් සෞඛ්‍යමත්ව ගෙවන බවට උපකල්පනය කර ඇත. එසේම ඔවුන් තම සෞඛ්‍යය ගැන වැඩි අවදානමක් දැක්වීමත්, යහපත් ජීවන රටාවක් අනුගමනයත්, ලෙඩට දුකට ඉක්මනින් බෙහෙත් හේත් ගැනීමත් මෙම තත්ත්වයට හේතු වන්නට ඇතැයි පෙනෙන බව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙති.

නිදිපෙති ගන්නේ පරෙස්සමෙන්

නින්ද යාමේ ගැටලු තදින්ම පවතින විට නිදිපෙති සහාය ලබා ගන්නා ලෙස වෛද්‍යවරු උපදෙස් දීම සුලබය. එහෙත් නිදිපෙති ගන්නා ලෙස ඔබට නිර්දේශ කරන වෛද්‍යවරයා තරමටම නිදිපෙති ගන්නා ඔබ ද එසේ කළ යුත්තේ ඉතා පරෙස්සමිනි. ඒ කෙසේ දැයි විමසා බලමු.

* වෛද්‍යවරයා සමඟ සුහද එහෙත් අවංක කතාබහක් තුළින් ඔබ ගත යුතු නිදිපෙති ප්‍රමාණය - මාත්‍රාව ඔබට සඵලමත්වන අවම මාත්‍රාව බවට සකස් කර ගන්න.

* වෛද්‍ය සීට්ටුවෙහි සඳහන් ප්‍රමාණයට හා කාලයට වඩා ඖෂධය ගැනීමෙන් වළකින්න. අමතර පෙති ගත යුත්තේ වෛද්‍යවරයා විසින් උපදෙස් දුන්විට පමණය.

* ඖෂධය සමඟ ලැබෙන ඖෂධ තොරතුරු පත්‍රිකාව නිවිසැනසිල්ලේ කියවන්න. එහි දැක්වෙන ඖෂධයේ ක්‍රියාකාරීත්වය සහ අතුරු ආබාධ තොරතුරු පිළිබඳව දැනුවත් වන්න.

* නිදා ගැනීමට අපේක්ෂිත වේලාවට මිනිත්තු 15 කට පෙර පෙති ගැනීම සිදු කරන්න.

* නිලංකාරය, හිස කරකැවිල්ල වැනි තත්ත්වයක් දවල්ට ඇති වුවහොත් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න.

* නිදිපෙති ගන්නේ නම් මත්පැන් පානය නොකරන්න. මත්පැන් සමඟ නිදිපෙති මිශ්‍ර වීම නිසා අතුරු ආබාධ බලපෑම ඉහළ යා හැකිය.

* නිදිපෙති ගැනීම ආරම්භ කිරීමට පළමුව එය නවතා දැමිය හැකි කාලසීමාව හා නවතා දමන ආකාරය වෛද්‍යවරයා සමඟ කතාබහ කරන්න.