මව්කුස තුළදී නිවුන් දරුවන් මුහුණ දෙන ගැටලු

මව්කුස තුළදී නිවුන් දරුවන් මුහුණ දෙන ගැටලු

කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය

ටිරාන් දමින්ද ඩයස්

ලෝකයේ විවිධ රටවල විශේෂඥ වෛද්‍ය පර්යේෂකයන් වැඩි වශයෙන් මානව විද්‍යාත්මක පර්යේෂණයකට ලක් කළ ක්ෂේත්‍රයක් ලෙස බහු භෲණතාව නොහොත් ගර්භාෂය තුළ කළල එකකට වඩා වර්ධනය වීමේ තත්ත්වය හඳුන්වා දිය හැකිය. කාන්තාවක් ගැබ් ගත් මුල් සති කීපය තුළ බහු භෲණතාව හඳුනා ගැනීමෙන් නිවුන් දරුවන්ට පැවතිය හැකි අවදානම් තත්ත්වවලින් ඔවුන් මුදවා ගත හැකි වේ.

කළල අවස්ථාවේදි නිවුන් දරුවන් හොඳින් රැකබලා ගැනීම සඳහා අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණය යොදා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදෑරූ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නාරිවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ රාගම ශික්ෂණ රෝහලේ නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ටිරාන් දමින්ද ඩයස් මහතා සමඟ බහු භෲණතාව පිළිබඳ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

බහු භෲණතාව අවදානම් සහිත තත්ත්වයක් වන්නේ කොහොමද?

ගර්භාෂය තුළ එක් කළලයකට වඩා වැඩිපුර වර්ධනය වීම එක් කළලයක් වර්ධනය වීමට වඩා අවදානම් තත්ත්වයක්. එය දරුවන්ට වගේම මවටත් අවදානමක්. ගැබ් ගැනීමෙන් මුල් සති කීපයේදී මෙවැනි කළල ගබ්සා වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම උපත සිදුවන අවස්ථාවත් අවදානම් සහිතයි. ගැබ් ගැනීමෙන් පළමු හෝ දෙවැනි මාසයේ දී දරුවන් කුස තුළ දී මියයාමේ අවදාමකුත් තිබෙනවා. මේ සියල්ලටම අමතරව එක් කළලයක් වර්ධනය වෙනවාටට වඩා කළල කීපයක් වර්ධනය වෙද්දී නිවුන් දරුවන්ගේ කායික සංකූලතා ඇති වීමේ අවදානමකුත් තිබෙනවා. ගැබ් ගෙන මුල් කාලයේ මවට ඇතිවන අපහසුතාවන් ඒ කියන්නෙ වමනය, ආහාර අරුචිය, කැරකිල්ල, තෙහෙට්ටුව වගේ දෙවල් එක් දරුවෙක් සහිත අවස්ථාවලට වඩා නිවුන් දරුවන් සහිත අවස්ථාවල වැඩි වෙනවා. ඒ වගේම මවට අධික රුධිර පීඩනය, දියවැඩියාව වගේ තත්ත්වයන් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.

ඒ කියන්නේ මේ සඳහා විශේෂ වූ වෛද්‍ය විශේෂඥවරුන් සිටිය යුතු යයි කියන එකද?

වෙනත් රටවල නම් බහු භෲණතාව සහිත මව්වරුන් බලා ගන්නත් ප්‍රතිකාර ලබා දෙන්නත් ඒ සඳහා සුවිශේෂී වූ පූර්ව ප්‍රසව සායන තියනවා. එක දරුවෙක් සහිත අවස්ථාවකට වඩා දරුවන් දෙදෙනෙක් හෝ කීපදෙනෙක් සිටීම විශේෂ තත්ත්වයක්. ඔවුන්ට ඇති විය හැකි සංකූලතා එක් දරුවෙකු සහිත අවස්ථාවල ඇතිවිය හැකි සංකූලතාවලට වඩා වැඩියි. ඒ නිසා ඒ සඳහා පුහුණුව ලද පළපුරුදු වෛද්‍යවරුන් සිටීම අත්‍යවශ්‍යයි.

කාන්තාවක් ගැබ් ගැනීමකට සුදුසුම වයස් සීමාවක් තියනවාද?

මවගේ වයස අවුරුදු 20 ත් 35 ත් අතර සීමාව ගැබ් ගැනීමකට සුදුසුයි. ඒ කියන්නෙ අවුරුදු 20 ට අඩු ගැබ් ගැනීමක් සුදුසු නැහැ කියන එක නෙවෙයි. එහෙම අවස්ථාවල සමාජ සහ සංස්කෘතිකමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අවුරුදු 35 ට වැඩි ගැබ් ගැනීම් නරක නැහැ. නමුත් අවදානම් තත්ත්වයන් තියෙන්න පුළුවන්.

නිවුන් ගැබ් ගැනීමක දී මවගේ පෝෂණ තත්ත්වය එක් දරුවෙකු සහිත අවස්ථාවල වගේ දෙගුණයක් වෙන්න ඕනෙද?

සාමාන්‍යයෙන් ගැබිනි මවක් දවසටක කැලරි 300 ක පෝෂණයක් ලබා ගන්න ඕනෙ. ඒ කියන්නෙ යෝගට් දෙකක අඩංගු කැලරි ප්‍රමාණය. නමුත් නිවුන් දරුවන් ලැබෙන්න ඉන්න මවක් ඒ වගේ දෙගුණයක්, ඒ කියන්නෙ කැලරි 600 ක පෝෂණයක් ලබන්න ඕනෙ නැහැ. කැලරි 400 ක් 500 ක් ප්‍රමාණවත්.

මෑත කාලයේ ලෝකයේ නිවුන් දරු උපත් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ඉහළ ගිය ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් තියනවා ද?

වර්තමානයේ බොහෝවිට දරුවන් නැති මව්වරුන්ට සිදු කරන ප්‍රතිකාර ක්‍රම නිසා බහු භෲණතාව ඇති වෙන්න පුළුවන්කමක් තියනවා. ස්වභාවික ආකාරයට සංසේචනයක් සිදු විය නොහැකි අවස්ථාවල ගර්භාෂයෙන් පිටත පර්යේෂණාගාර තුළදී සිදු කරන සංසේචන මඟින් එක් කළලයක් වෙනුවට කළල කීපයක් මවගේ ගර්භාෂය තුළ තැන්පත් කිරීම මෙයට හේතු වෙනවා.

ගැබ් ගැනීමකින් පසු පළමු වරට බහු භෲණතාව මඟින් විශේෂයෙන් හඳුනාගත යුතු දේවල් මොනවාද?

මේ හඳුනා ගැනීම් සිදුවෙන්නෙ ගැබ් ගෙන සති 11 ත් 14 ත් අතර සිදු කරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයෙන්. මේ පරීක්ෂාවෙන් ප්‍රධාන කරුණු කීපයක් හඳුනා ගන්න පුළුවන්. පළමු කාරණය තමයි මේ ස්කෑන් පරීක්ෂාවෙන් දරු උපත සඳහා වන දින නියමිත ආකාරයෙන් ගණනය කරන්න පුළුවන්. සාමාන්‍ය ආකාරයට දරු උපතක් සිදුවන දින ගණනය කිරිම සිදු කරන්නෙ මාස් ශුද්ධිය අවසන් වරට සිදු වූ දවස ගණන් බැලීමෙන්. නමුත් ඊට වඩා නිරවද්‍යතාවයෙන් යුතුව මේ පරීක්ෂාවෙන් දින ගණනය සිදු කළ හැකි වෙනවා.

දෙවැනි කාරණය තමයි නිවුන් දරුවන් රුධිරය ලබා ගන්නේ එක් වැදෑමහකින් ද වෙන වෙනෙම වැදෑමහවලින් ද කියන කාරණය ගැන නිවැරදිව දැන ගැනීම. දරුවන් කීප දෙනෙක් රුධිරය ලබා ගන්නේ එක වැදෑමහකින් (ච්ඪධජඩධපඪධදඪජ) නම් මේ දරුවන් ඇතිවිය හැකි සංකූලතා පස් ගුණයකින් වැඩියි. උපත සිදුවන කාලය අඩු වීම, කායික අඩුපාඩු ඇතිවීම, උපතින් පසුව විවිධ අපහසුතා ඇතිවීම ආදිය වැඩි වෙන්න පුළුවන්. නමුත් දරුවන් වෙන වෙනම වැදෑමහවලින් රුධිරය ලබා ගන්නවා නම් ඔවුන්ට ඇති විය හැකි සංකූලතා ප්‍රමාණය සාපේක්ෂව අඩු වෙනවා. ඒ නිසා මේ තත්ත්වය අනිවාර්යෙන්ම ගැබ් ගෙන මුල් කාලයේ දැනගත යුතු වෙනවා. ඒ අනුව තමයි දරුවන් වෙනුවෙන් සිදු කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වෙන්නේ. යම් වෛද්‍යවරයෙකුට මේ ස්කෑන් පරීක්ෂාවෙන් ගැටලු තත්ත්වය නිවැරදිව හඳුනාගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න පියවර ගන්න ඕනෙ. ඒ වගේම මේ තත්ත්වය ගැන මව දැනුවත් නොකර සිටීම වෛද්‍ය ආචාර ධර්ම අනුව විශාල වරදක් විදියට තමයි බොහොමයක් රටවල් සළකන්නෙ. මේ පරීක්ෂාව ඒ තරම්ම වැදගත් පරීක්ෂාවක්.

තුන්වන කාරණය තමයි මේ විදියට ගර්භාෂය තුළ සිටින නිවුන් දරුවන් ලේබල් කිරීම, ඒ කියන්නෙ ඔවුන්ව වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කරද්දී මුලින් කාවද පරික්ෂා කළේ දෙවෙනියට කාවද පරික්ෂා කළේ කියන එක අපි දන්නෙ නැහැ. ඒ නිසා දරුවන් වෙන් කර ලේබල් කිරීම අනිවාර්ය වෙනවා. නැත්නම් අද පරීක්ෂා කළ දරුවාම හෙටත් පරීක්ෂාවට ලක් වෙන්න පුළුවන්. මේ ලේබල් කිරිම සිදු කරන්නෙ ගර්භාෂයට සාපේක්ෂව දරුවන් සිටින දිශානතිය අනුව. එය උඩ යට හෝ වම් දකුණු විදියට ලේබල් වෙනවා. මේ විදියට දරුවන් ගර්භාෂය තුළ සිටින දිශාව දරු උපත තෙක් කිසිම විදියකින් වෙනස් වෙන්නෙ නැහැ.