ඒ කාලේ අවු. 60 - 70 දී හැදෙන කැක්කුම් වේදනා දැන් තරුණ ළමයින්ටත්

ඒ කාලේ අවු. 60 - 70 දී හැදෙන කැක්කුම් වේදනා දැන් තරුණ ළමයින්ටත්

මහනුවර මහ රෝහලේ භෞතචිකිත්සක නිළධාරි

එච්.කේ ආර් ප්‍රියදර්ශන

තරුණ ළමයි බොහෝ දෙනෙක් දැන් මුහුණ පාන වේදනාකාරිම අත්දැකීම වන්නේ, ඇඟපත වේදනාවය. කොන්දේ අමාරුවය. කකුල් කැක්කුමය. ඉස්සර නම් , අත්පා වේදනාව , උරහිස්, පිට කොන්ද හෝ බෙල්ලේ වේදනාව ඇති වෙන්නේ වයස අවුරුදු හැටෙන් එහාට ගිය වයසක උදවියට පමණය. දැන් දැන් නම්, වයස අවුරුදු විස්සේ ගැහැනු පිරිමි භේදයකින් තොරව කාට කාටත් අතපය පිට කොන්ද බෙල්ල ඇතුළු සර්වාංගයේම කැක්කුම් වේදනා ඇතිවීම සුලබව ම දක්නට ලැබෙයි.

එවැනි තත්ත්වයක් ඇති වන්න මූලිකම හේතු මොනවාද? ඇයි මෙසේ කැක්කුම් වේදනා ඇතිවන්නේ? සරලව බලන කල එය සමාජයේ බහුල රෝග තත්ත්වයක් වීමට තුඩුදුන් කාරණා මොනවාදැයි දැනගැනීම පිණිස අප මහනුවර මහ රෝහලේ භෞතචිකිත්සක නිළධාරි එච්.කේ ආර් ප්‍රියදර්ශන මහතා මුණ ගැසුණෙමු.

"වර්තමාන සමාජයේ බොහොමයක් පිරිස් දැන් රාජකාරිවල නිරත වෙලා ඉන්නවා. ඒ අතරින් වැඩි දෙනා ඉන්නේ වාඩි වෙලා. ඉඳගෙන සිටියත් බොහෝ දෙනා, නිසි ඉරියව්වල යෙදිලා ඉන්නේ නැහැ. ඉරියව් නිවැරදිව තබා ගැනීම සදහා කාර්යාලවල භාණ්ඩ උපකරණ , සියල්ලක්ම නිසි ප්‍රමිතියෙන් ඇත්ද යන්න කවුරුත් නිර්දේශ කරන්නේත් නැහැ. බොහොමයක් කැක්කුම් වේදනාවලට බලපාන ප්‍රධානතම හේතුව එයයි.

දියුණු රටවල රාජකාරි ආයතනවල පුටු මේස උපකරණ හදල තියෙන්නේ ප්‍රමිතියක් අනුව. එපමණක් නොවෙයි ඒ ඒ ආයතනවල ඉහළ නිළධාරින් තම සේවදායකින්ගේ සෞඛ්‍යය තත්ත්වය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. මොකද තම සේවකයන් රෝගීන් වුවහොත්, ඒ ආයතනයට පාඩුවක් වන නිසා.

අප පුටුවක වාඩි වී එක දිගට වැඩ කරනවා නම්, එම ඉරියව්ව කොන්දට බලපාන්නේ කුමන ආකාරයටද කියා අවධානයෙන් ඉන්න වෙනවා.කොන්ද, බෙල්ල , උරහිස් යන ස්ථානවල වේදනා ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුව ඉඳගැනීමේ ඉරියව් වැරදි ආකාරයක තිබිමයි.

මේ හැරුණු විට ශරීරයට නිසි ව්‍යායාම නොමැතිවීම නිසාද කැක්කුම් , වේදනා හට ගන්න පුළුවන්, එක දිගට වාඩිවී සිටින හෝ එකදිගට සිටගෙන සිටින හෝ එකදිගට ඇවිදින හෝ එකදිගට කුමක් හෝ එකම ඉරියව්වකින් වැඩකරන උදවියට කැක්කුම වේදනාව ඇති වීම සුලබයි.

මේ සියලු කාරණාවලට විසඳුමක් ලෙස, වැඩ හා කාර්යය පරිසරයේ කාර්යක්ෂමතාව පාලනය කිරීමට නිරෝගී ඉරියව් භාවිතය පිලිබඳව අවධානයෙන් සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා. මානව නිරෝගිකම වෙනුවෙන්, අර්ගනොමික්ස් (  ergonomics ) රෝග වළක්වාලීමේ ක්‍රමය අනුගමනය කරන ලෙස , භෞතචිකිත්සක නිලධාරීන් දැන් උපදෙස් දෙනවා. එහිදී අවධානය යොමු කරන්නේ, හරි ඉරියව් වෙත යොමු කිරීමයි.

ඒ හැරුණු විට, දිගු කාලිනවත්...වයසට යාමේදීත් තම සිරුරේ අපහසුතාවක් අතිනොවිමත්, සදහා ව්‍යායාම පවත්වාගෙන යාම පිලිබඳවත් උපදෙස් ලබා දෙනවා.වයස අවරුදු 18 ට අඩු කෙනෙක් නම්, දිනකට පැයක් වත් දාඩිය පිටවනසේ ව්‍යායාමවල නිරත විය යුතු වෙනවා.වයස අවරුදු 18 ට වැඩි කෙනෙක් නම්, දිනකට පැය භාගයක්වත් දාඩිය පිටවන සේ, ව්‍යායාමවල යෙදෙන්න ඕනෑ.

නිරෝගී ජීවිතයක් අපට හිමි වන්නේ එවිටය.