ග්ලූකෝමා ඔබේ දෑස් අන්ධකරයි

ග්ලූකෝමා ඔබේ දෑස් අන්ධකරයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ

විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය

දුෂ්‍යන්ත වාරියපොළ

ග්ලූකෝමා ලෙසින් හඳුන්වන්නේ අක්ෂිගත පීඩනය ඉහළ යාම නිසා ඇතිවන රෝග තත්ත්වයකි. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකියි. ඒවා Open angle glaucoma සහ Narrow angle glaucoma නම් වේ. මෙහි Open angle තත්ත්වය ඇතිවීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වුණත් Narrow angle තත්ත්වය ඉතා ක්ෂණිකව හදිසියේ වේදනාව ඇතිකර ඇස රතු වී පෙනීමට හානි ඇති කරනු ලැබේ. නමුත් සාමාන්‍යයෙන් සමාජයේ සුලබව දැකගත හැක්කේ මෙම Open angle තත්ත්වයයි. කෙසේ වෙතත් ඉහත තත්ත්ව දෙක යටතේම මුලිකව හානි ඇති වන්නේ ඇසෙහි පෙනීමට අදාළ ස්නායුවලටය. තවද මෙම Narrow angle ග්ලූකෝමා තත්ත්වයද පරීක්ෂණට ලක්කීරීමේදී ඊට අදාළ ඇස තුළ සැකැස්මේ යම් වෙනසක් මෙහිදී දැකගත හැකියි. මේ සඳහා ඖෂධ යෙදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ලෙසර් ප්‍රතිකාර මඟින් අදාළ තත්ත්වය පාලනය කළ යුතුයි.

මෙම Open angle තත්ත්වය කාලයක් පවතින විට දෘෂ්ටි ස්නායුවට හානි සිදුවන අතර මෙය ක්‍රම ක්‍රමයෙන් සිදුවන තත්ත්වයක්. මෙසේ ඇසෙහි පීඩන තත්ත්වයට ප්‍රතිකාර නොකර දිගින් දිගටම පැවතීම නිසා ස්නායුවලට ඇතිවන බලපෑමෙන් ඇසේ පෙනීම ක්‍රම ක්‍රමයෙන් දුර්වල වී යනු ලැබේ. සාමාන්‍යයෙන් ඇසෙහි සුද ඇති වන විට ඇසෙහි මැද ප්‍රදේශයේ පෙනීමට යම් බලපෑමක් මුලිකව සිදුවේ. නමුත් මෙම ග්ලුකෝමා තත්ත්වයේ මුල් අවස්ථාවේදී ඇසේ මැද පෙනීමට හානියක් ඇති නොවන අතර ඇස වටා පෙනීමට මුලිකව බලපෑමක් ඇතිවේ. මේ නිසා ඇසේ පෙනීම අඩුවන බව අදාළ රෝගියාටත් මුලිකවම නොදැනී යන අතර තත්ත්වය බරපතළ මට්ටමට පත් වූ පසු මේ පිළිබඳ දැන ගැනීමට ලැබීම ඉතාමත් ගැටලුකාරී තත්ත්වයකි.

සාමාන්‍යයෙන් මෙසේ ඇස වටා තිබෙන පෙනීමේ පරාසය අඩු වී ගොස් එය 90%ක් වැනි මට්ටමේ දුර්වලකමක් දක්වා වර්ධනය වූ පසුව ඇස මැදට වන්නට ඉතාමත් අඩු දෘෂ්ටිකත්වයක් පමණක් ඉතිරි වේ. එම 10%ක පමණ වූ දෘෂ්ටිය ද තවදුරටත් ප්‍රතිකාර ලබා නොසිටීම මත පුර්ණ අන්ධ භාවය දක්වා පත්විය හැකියි. මෙසේ ඇසක ග්ලූකෝමා තත්ත්වයක් ඇති වී සාමාන්‍යයෙන් වසර 10 - 20 ක් වැනි කාලයක් අතරතුර මෙවැනි ගැටලුකාරී තත්වයකට පුද්ගලයකු නිරාවරණය විය හැකියි.

බොහෝ දුරට පුද්ගලයකු වයස්ගත වීමත් සමඟ මේ සඳහා වැඩි ප්‍රවණතාවක් දැක ගත හැකියි. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට ග්ලුකෝමා ඇති වීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ අනුව සාමාන්‍යයෙන් වෛද්‍ය නිගමනය පරිදි වයස අවුරුදු 40ට පසුව ඇතිවන මෙම අවදානම් තත්ත්වය කල්තබා හඳුනාගැනීම ඉතා වැදගත් වන නිසා එවැනි පුද්ගලයන්ට ඇසේ පීඩන තත්ත්වය, දෘෂ්ටි ස්නායුව පිළිබඳ පරීක්ෂාකර ගැනීම ආදී පරීක්ෂාවන් නිතර සිදු කළ යුතු බවයි. මෙම පරීක්ෂණ හරහා මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත්. මන්දයත් යම් ලෙසකින් එය හඳුනා නොගෙන කාලයක් පැවතීම නිසා ස්නායුවලට හානි ඇති වුවහොත් එසේ ඇතිවන හානිය නැවතත් යථා තත්ත්වයට පත් කර ගත නොහැකියි. එවැනි අවස්ථාවකදී ඉතිරි වී පවතින ස්නායු පමණක් ආරක්ෂාකර ගැනීම පමණක් ප්‍රතිකාර ලබා ගැනීම මඟින් සිදුකළ හැකියි. ඒ නිසා හැකි තරම් ඉක්මනින් මේ පිළිබඳව පරීක්ෂාකර එහි මුල් අවස්ථාවේම රෝගය හඳුනාගෙන ඇසේ ස්නායුවලට ඇතිවන හානිය අවම කරගත හැකියි.

සාමාන්‍යයෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු වීමෙන් අනතුරුව ඇසේ ස්නායුවට (Optic Nerve)හානියක් ඇති වී තිබෙනවා නම් ඒ බව පරීක්ෂා කිරීම හරහා පැහැදිලිව හඳුනා ගත හැකියි. ඒ සමඟම ඇසේ පීඩනයද පරීක්ෂාවට ලක් කරන අතර එමඟින් යම් සැකයක් මතු වූවොත් වැඩිදුර පරීක්ෂණ සඳහා රෝගියා යොමු කරනු ලැබේ. මෙම මුලික පරීක්ෂණ දෙකෙන් සැකයක් ඇති වුණොත් එවැනි විටෙක Visual Field Test එකක් මගින් දෘෂ්ටි පරාසය මැනීමට ලක් කළ හැකියි. එසේ වුවත් මෙම පරීක්ෂණයේදී ද ග්ලුකෝමා රෝගී තත්ත්වය ඇති වූ මුල් කාලීනව යම් සැලකිය යුතු වෙනසක් දැක ගැනීමට නොහැකියි. මෙම දෘෂ්ටි පරාසය මැනීමේ පරීක්ෂණයේ සැලකිය යුතු ප්‍රතිඵලයක් ලබාගත හැක්කේ දෘෂ්ටියට අදාළ ස්නායු 40% - 50 % ක පමණ ප්‍රතිශතයක් හානි වී ඇති අවස්ථාවකදී පමණි. ඊට අමතරව දෘෂ්ටි ස්නායුව ස්කෑන් පරීක්ෂණයක් මඟින් ද නවතම තාක්ෂණය යටතේ පරීක්ෂාවට ලක් කළ හැකි අතර මෙම ක්‍රමය OCT Scan නමින් හැඳින්වේ.

මෙම OCT Scan පරීක්ෂණයේදී දෘෂ්ටි ස්නායුවේ පෙරදී ඇති වූ වෙනස්කම් තිබෙන බව හඳුනාගත හැකියි.

මෙම රෝග තත්ත්වයේ විශේෂත්වය වන්නේ රෝගී තත්ත්වය බරපතළ වනතුරු රෝග ලක්ෂණ පැහැදිලිව පෙන්නුම් නොකිරීමයි. එසේ රෝග ලක්ෂණයක් නිශ්චිතව හඳුනාගත නොහැකි නමුත් නිසි ප්‍රතිකාර නොයොදා සිටීමෙන් සදාකාලික අන්ධභාවයක් ඇතිවිය හැකි නිසා නැවත නැවතත් සඳහන් කළ යුතු වන්නේ මෙම තත්ත්ව මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ඉතා වැදගත් බවයි.

ග්ලූකෝමා ඇතිවීමට අවධානමක් ඇති පිරිස් අතර වයස අවුරුදු 40ට වැඩි අය, ජානමය පසුබිමක් ඇති අය ඇසට අනතුරු සිදු වූ අය, ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබා ගන්නා අය පිළිබඳ හඳුනාගත හැකියි. ඒ වගේම ඕනෑම රටක ජනගහනයෙන් 1% ත් - 2%ත් අතර පිරිසකට ග්ලුකෝමා ඇති වීමේ ප්‍රවණතාවක් තිබේ.

කෙසේ වෙතත් යම් අයෙකුට ග්ලුකෝමා තත්ත්වයක් තිබෙන බව හඳුනාගත් වහාම ප්‍රතිකාර ආරම්භ කිරීම මඟින් ඇසේ ස්නායුවලට වන හානිය සම්පුර්ණයෙන්ම වළක්වා ගත හැකියි. මේ සඳහා බින්දු වශයෙන් ඇසට යොදන ඖෂධ වර්ග මඟින් අක්ෂි පීඩනය හොඳින් පාලනයකට ලක් කළ හැකියි. නමුත් මෙම ඖෂධ මඟින් පාලනය නොවන තත්ත්වවලදී ශල්‍යකර්ම සිදුකළ යුතුයි.