හිස් මුදුනෙන් පටන් ගන්නා දැඩි වේදනාව වම් අත දිගේ ඇවිත් ඇඟිලි හිරි වැටෙනවා

හිස් මුදුනෙන් පටන් ගන්නා දැඩි වේදනාව වම් අත දිගේ ඇවිත් ඇඟිලි හිරි වැටෙනවා

ගාල්ල ආයුර්වේද දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය රිද්මා සිරිවර්ධන

අද බොහෝ දෙනෙකුට ගෙල හා අතේ පවතින දැඩි වේදනාකාරී බව මුළුමනින්ම දැඩි පීඩනයක් ගෙන දෙන රෝග තත්ත්වයක්. දැනෙන වේදනාව හා අසහනකාරී බව නිසා දෛනික ජීවිතයේ වැඩ කටයුතු ද අඩාල වන අවස්ථා ඇත. මෙවැනි වේදනාවක් පිළිබඳ පාඨකයෙක් අපට දුරකථන ඇමතුමක් දුන්නා. මේ ඔහුගේ ගැටලුවයි.

තමාගේ හිස්මුදුනේ සිට පිටකොන්ද හරහා වම්අත දිගේ ඇඟිලි තෙක් දැනෙන දැඩි වේදනාව හා වරින් වර ඇතිවන අතේ හා ඇඟිලිවල හිරිවැටීම. මෙය සමහර අවස්ථාවලදී දරාගැනීමට නොහැකියි. ඊට අමතරව ගෙල තදවීමක්ද දැනෙනවා. මේ රෝග ලක්ෂණ අනුව අතේ කුමන රෝග තත්ත්වයක්ද පවතින්නේ.

මෙම රෝග තත්ත්වය සඳහා මාංශ පේශීවල බලපෑම

සමහර අවස්ථාවලදී දක්වා ඇති රෝග තත්ත්වයට අස්ථි හෝ මාංශ පේශී බලපෑමක් ඇතිවීමට පුළුවන. අස්ථිවල පවතින තද තෙරපීමක් හෝ වැටීමක් හේතුවෙන් ඇතිවන අස්ථි බිඳීමක්, කැඩීමක් නිසා මෙසේ වීමට පුළුවන. මස් පිඬුවල ඇතිවෙන ඇඹරීමක් හෝ තැලීමක් විය හැකියි. යම් විටෙක රෝගියා සිටින වැරදි ඉරියව්වක් මීට බලපෑමට පුළුවන. පුද්ගලයෙකු වයසට යන විට වන අස්ථි ක්ෂය වීම් නිසාද මෙවැනි අවස්ථාවන්ට පත්විය හැකියි.

රෝග පරීක්ෂාව

රෝගියාව නිසි වෛද්‍ය පරීක්ෂණයකින් පසුව මෙය අස්ථි නිසා හෝ මාංශ පේශී නිසා හෝ වෙනත් පක්ෂාඝාත රෝග තත්ත්වයක් ද යැයි නිගමනයකට පැමිණිය හැකියි. කෙසේ වෙතත් මෙය පක්ෂාඝාත රෝගයක් නම් ඒකාංග පක්ෂාඝාත වේ. එනම් එක් අංශයක් පමණක් අප්‍රාණික වීමයි. මෙහිදී වෛද්‍යවරයකු යටතේ රෝග පරික්ෂාවකට ලක්වීම ඉතාම වැදගත් කරුණකි.

මෙවැනි රෝග තත්ත්වයක් ඇතිවන්නේ

* දිගු කාලීනව ඖෂධ ගැනීම

* දියවැඩියා වැනි රෝගී තත්ත්වයක දී මෙය අතුරු ඵලයක් ලෙස ඇතිවේ.

* ආහාර ගැනීමේදී වාතය කුපිත කරවන ආහාරවලට යොමුවීම

* බර ඉසලීම

* වැටීමක් හෝ තැලීමක් මඟින්

* අස්ථි ගෙවීමක් හෝ බිඳීමක් මගින්

* වෘත්තිමය රෝග තත්ත්වයන් ද බලපෑ හැකියි. (උදා - පරිඝණකය දෙස නෙත් යොමු කරගෙන සිටින දරුවන්, වෘත්තිකයන්)

* වැරදි ඉරියව්වල සිටීම

* ව්‍යායාම වැරදි ලෙස සිදු කිරිම

* හදිසි අනතුරු වීම

වාත දෝෂය මුලික වීම

රෝගියාගේ ලක්ෂණවලට අනුව වේදනාව ප්‍රකටවීම මුල් වන්නේ වාත දෝෂය හේතු කොටගෙනයි. ඊට අමතරව මාංෂ පේශී සහ අස්ථි් මේ සඳහා බලපෑමක් ඇති කරනු ලබයි.

මුලික වශයෙන් ගෙල ආශි‍්‍රත ස්නායු තදවීමකට ලක්වේ. එහිදී අත්වල අප්‍රාණික බව, හිරි ගතිය, ගෙල ප්‍රදේශයේ තද වේදනාව උරහිස් වේදනාව හා හිරිය ඇතිවේ. අමතරව දැවිල්ල ස්වභාවයක් ද වෙයි. මේ ආකාරයට ස්නායු ආබාධයට ලක්වීම නිසා අත් හා ගෙල ප්‍රදේශයට අවශ්‍ය පෝෂණය නොලැබේ. එවිට අස්ථි මාංශපේශී වලට මේ තත්ත්වය බලපෑම නිසා දුර්වලතා ඇති විය හැකියි. ඒ විතරක් නොව දීර්ඝ කාලයක් මෙසේ පැවතීම ගණන් නොගෙන සිටීම නිසා ප්‍රතිකාර වලට යොමු නොවීමෙන් අත සම්පුර්ණයෙන් ම අප්‍රාණික විය හැකියි. එසේම ගෙල හා උරහිස හැරවීමට හෝ ක්‍රියා කිරිමට හෝ නොහැකි තත්ත්වයකට පත්වේ. මේ හේතු නිසා දීර්ඝකාලීනව ඇඟිලිවල හිරිය ඇතිවිය හැකියි. එවිට මේ තත්ත්වය සුව කළ නොහැකි බැරෑරැම් තත්ත්වයකට පත්වේ. ආයුර්වේදයේ මේ රෝගය “මන්‍ය ස්තම්බ” රෝගය නමින් හඳුන්වයි.

අතුරු ආබාධ රහිතයි

හිස මුදුනේ සිට පිට කොන්ද හරහා වම් අත දිගේ එන වේදනාව හා වරින් වර එන හිරිය හෙවත් “මන්‍ය ස්තම්බ” රෝගය අතුරු ආබාධ රහිතව කිසිදු ශල්‍ය කර්මයකින් තොරව ප්‍රතිකාර බාහිර හා අභ්‍යන්තර ඖෂධ ලබාදීමෙන් රෝගියා සුවපත් කළ හැකියි. මේ සඳහා සුදුසුකම්ලත් ළඟම ඇති ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගත යුතුයි.

ප්‍රතිකාර

නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙදී කුමන ආකාරයකින් මේ රෝගය සිදු වීද කියා සොයා බැලීම කළ යුතුයි. ගෙල ප්‍රදේශයෙන් ඉහළ නිසා සෙම හා වාත ප්‍රතිකාර පද්ධතියකට යොමු විය හැකියි. පසුව රෝගය නියමාකාරයෙන් හඳුනාගැනීම කළ හැකි අතර මෙය අස්ථි, මාංෂ පේශී, ස්නායු හෝ පක්ෂාඝාත දැයි හඳුනා ඊට අදාලව ප්‍රතිකාර කෙරේ. තෛල අභ්‍යංග, තැවිලි, තෙල් පැලැස්තර යෙදවීම කළහැකියි. එසේත් නොමැති නම් අවසානයේ පංච කර්මවලට යොමුවිය හැකියි.

* අස්ථිය බිඳී නම් මේ සඳහා අභ්‍යන්තර ඖෂධ සමඟ තෙල් සහ පත්තු වර්ග යොදයි. නිර්ගුණ්ඩි,නීල්‍යා තෙල් ප්‍රධානව ගනී. මෙහිදී අස්ථි පෝෂණ ප්‍රතිකාරය කළ යුතුයි. එය බාහිර හා අභ්‍යන්තර වශයෙන් කළ හැකියි. එවිට අස්ථි ශක්තිමත් වී යයි.

* මාංෂ පේශීන් තැලීමකට හෝ ඇදීමකට ලක් වේ නම් එය යථා තත්ත්වයට පත්කිරීමට තෙල් පැලැස්තර දැමීම හා විවේකය අත්‍යවශ්‍ය වේ. මෙහිදී අස්ථිය ක්‍රියාකාරකම්වලින් තොරව විවේකීව තබා ගත යුතුයි. දුර්වලව ඇති මාංෂපේශීන් ශක්තිමත් වීමට ලක්කල යුතුයි. ඒ සඳහා පත්තු යෙදීම කළ හැකියි.

* ස්නායු තෙරපීමක දී නම් ශල්‍ය කර්මයකින් තොරව ඉතා පහසුවෙන් ස්නායුවේ තෙරපීම නැති කළ හැකියි. ඒ සඳහා බාහිර හා අභ්‍යන්තර ඖෂධ උපකාර කර ගනී.

* පක්ෂාගාත නම් ඊට අදාළව පක්ෂාගාත චිකිත්සාව කළ යුතුයි. මේ සියල්ලම අවසානයේ පංචකර්ම කළ යුතුයි. රෝගියාගේ සම්පුර්ණ සුවයට මෙය බලපානු ඇත.