පණු බෙහෙත් බිව්වම පරිස්සම් වෙන්න ඕනෑද?

පණු බෙහෙත් බිව්වම පරිස්සම් වෙන්න ඕනෑද?

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

පණු බෙහෙත් ශ්‍රී ලාංකික අපට ඉතාම හුරු වචනයක්. නමුත් පණු බෙහෙත ගැන විස්තර අපි දන්නවා අඩුයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා අද අපි පණු බෙහෙත් ගැන කතා කරමු.

සාමාන්‍යයෙන් පණු බෙහෙත් අතරින් ඉතාමත් ජනපි‍්‍රය බෙහෙතක් ලෙස අප දකින්නේ මෙබන්ඩසෝල් Mebandarole  යන නමින් හඳුන්වන බෙහෙතකි. මෙය vermox, Wormin  ආදී නොයෙකුත් නම්වලින් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. මීට අමතරව Pyrantal (combantrin) Albendazole (Zentel)  ලෙස වෙනත් වර්ග තිබුණත් රජයේ රෝහල්වල සහ පවුලේ වෛද්‍යවරු අතර බහුලව භාවිතා වන Mebendezole ගැන එහෙම නැතිනම් ඔබ කවුරුත් දන්නා දවස් 3 නේ පණු බෙහෙත් ගැන විස්තර කථා කරමු.

සමහර අයගේ විශ්වාසය පරිදි “බඩේ පණුවෝ” නිරෝගි අයකු තුළ දකින්න නැහැ. වෙනත් ආකාරයකට කිව්වොත් “බඩේ පණුවන් ශරීරයේම කොටසක්” ලෙස සැලකීම වැරදියි. පණුවන් ඇතිනම් එය “පරපෝෂිත ආසාදනයක් වෙනවා.” (Parasitic infection) එය ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්. නමුත් බොහෝවිට “බඩේ” එහෙම නැතිනම් ආහාර මාර්ගයේ පණුවන් ආසාදනයක් ඇති විට එයට විශේෂිත රෝග ලක්ෂණයක් දකින්න ලැබෙන්නේ නැහැ. මලපහ සමඟ පණුවන් පිටවීම, බඩේ වේදනාව, ආහාර අරුචිය, ලේ හිඟකම, මන්දපෝෂණය, ගුද මාර්ගයේ කැසීම සමහර විට දකින්නට ලැබෙනවා. ඉතින් මේ පණු බෙහෙත් කරන්නේ ආහාර මාර්ගයේ ඇති ආසාදිත පණුවන් මරා දැමීම හෝ අඩපණ කර මලපහ සමඟ ඉවත් කිරීමයි. මෙම පණු වර්ග කොකු පණුවන්, වට පණුවන්, කිරි පණුවන්, කස පණුවන්, රවුම් පණුවන් හා පටි පණුවන් ලෙස වර්ග කීපයක් දකින්නට ලැබෙනවා.

පණුවන් ඇඟ තුළට එහෙම නැතිනම් ආහාර මාර්ගය ඇතුළට යන්නේ කොහොමද?

ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට යනවා. එකක් තමයි ආහාර සමඟ පණු බිත්තර ආහාර මාර්ගය ඇතුළට ගැනීම. අනිත් කාරණය තමයි සම සිදුරු කර විශේෂයෙන් යටි පතුලේ සම සිදුරු කර ශරීරයට ඇතුළු වී පෙණහලු හරහා ආහාර මාර්ගයට ඇතුළු වීම. ඉතින් ඔබ ගන්නා ආහාර ගැන සැලකිලිමත් වීමත් (එළවළු, පලා වර්ග හා පලතුරු අමුවෙන් කන විට හොඳින් සෝදා ගැනීමත් අනිකුත් ආහාර හොඳින් පිස ගැනීමත් ඉතා වැදගත් වෙනවා.) එළිමහනේ ඇවිදින විට පාවහන් හෝ සෙරෙප්පු පාවිච්චිය මඟින් පණු රෝග ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.

මෙම පණු පෙත්ත ගන්න ඕන කොහොමද?

එක බැගින් දිනකට දෙවරක් දින 3 ක්. සඳහා ගන්නා 100mg පෙති වර්ගයක් ඇත. එසේම එකවර එක පෙත්තක් පමණක් ලෙස ගතහැකි 500mg පෙත්තක්ද ඇත. නමුත් වයස අවුරුදු 2 ට අඩු දරුවන්ට මෙම බෙහෙත් වර්ගය භාවිතය සුදුසු නැහැ.

මෙම පෙති ගන්නා විට පාවිච්චියක් එහෙම නැතිනම් ආහාරපාන ආදියෙන් ප්‍රවේසම් විය යුතුද?

ඈත අතීතයේ පැවති සමහර නොදියුණු පණු බෙහෙත් වර්ගවලින් ඇතිවන ප්‍රතික්‍රියා නිසා ඒවා ගන්නා විට ආහාරවලින් හා නෑම ආදියෙන් ප්‍රවේසම් වීමට උපදෙස් එවකට වෛද්‍යවරුන් විසින් ලබා දුන්නා. නමුත් අද අපි කථා කරන පණු බෙහෙත් වර්ග ඉතා දියුණු, ශරීරයට අහිතකර නොවන ඒවා ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම පණු බෙහෙත් ගන්නා විට විශේෂ ආහාර පාලනයක් හෝ රැකියාව, පාසලට යාමෙන් වැළැක්වීමක් හෝ විශේෂයෙන් පාසල් නිවාඩු කාලයේ දීමක් හෝ නෑමෙන් වැළකීමක් හෝ අවශ්‍ය වන්නේ නැහැ.

නමුත් මෙම පණු බෙහෙත් වෛද්‍ය උපදෙස් මත ගත යුත්තක් බව හිතේ තියාගන්න ඕන.

මෙම පෙතිවලට අතුරු ආබාධ ඇති වෙනවාද?

සාමාන්‍යයෙන් නැහැ. කලාතුරකින් මඳ බඩේ වේදනාවක් දියර ලෙස මළපහ පිට කිරීමක් දකින්න පුළුවන්.

මාස 03 කට වරක් පණු බෙහෙත් දෙන්න ඕන කියන්නේ ඇත්තද?

එහෙම නීතියක් හෝ රිතියක් වෛද්‍ය විද්‍යාවේ නැහැ. සාමාන්‍යයෙන් පණු බෙහෙත් ලබා දී සති 2 -3 පසුව නැවත පණු බෙහෙත් ලබාදීම හෝ නොදී ඔබගේ පණු අමාරුව අනුව වෛද්‍යවරයා තීරණය කරනවා ඇති.

නමුත් පුරුද්දක් ලෙස මාස 3 ට වරක් දීම අවශ්‍ය වන්නේ නැහැ. පණුවන් ආසාදනයක් පිළිබඳ සැක සිතීම, පණුවන් ආසාදනයක ලක්ෂණ පෙන්වීම පවුලේ තවත් සාමාජිකයකුට පණු අමාරුව සෑදීම වැනි කාරණා සඳහා පණු බෙහෙත් දීම වෛද්‍යවරයා තීරණය කරනු ඇත.

නමුත් උඩරට, කඳුකර ප්‍රදේශයේ හෝ තවත් එවැනි සනීපාරක්ෂක කටයුතු නිසිලෙස පවත්වාගෙන යනු නොලබන, වැසිදිය පහරවල් මඟින් මලපහ ආදිය ගසාගෙන යන ප්‍රදේශවල හා මූලික සෞඛ්‍ය දැනුම අඩු ජනතාව සිටින ප්‍රදේශවල අයත් ගෙදරට පිටින් ආපනශාලා ආදිය මඟින් ආහාර ගන්නා අයත් නිරන්තරයෙන් පණු ආසාදන ගැන අවධානයෙන් සිටීමත් පණු බෙහෙත් නිරන්තරයෙන් ගැනීමත් ඉතා වැදගත් වෙනවා.