පියයුරු පිළිකා පිළිබඳ ගැටලු රැසකට පිළිතුරු

පියයුරු පිළිකා පිළිබඳ ගැටලු රැසකට පිළිතුරු

පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නෙඔමාල් පෙරේරා

පියයුරු පිළිකාවක් කල්තබා හඳුනා ගැනීමට හැකිද?

සාමාන්‍යයෙන් පියයුරු පිළිකාව කල්තබා හඳුනා ගැනීමට හැකියි. මේ සඳහා සෑම කාන්තාවක්ම මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීම ඉතා වැදගත් වන අතර සාමාන්‍යයෙන් වයස අවුරුදු 18,20 පමණ කාලයේ සිට සෑම කාන්තාවක්ම පුරුද්දක් ලෙස එය සිදු කිරීම ඉතා අත්‍යවශ්‍යයි. ඊට අමතරව වයස අවුරුදු 30, 35 පමණ වනවිට විවිධාකාර සායනික පරීක්ෂාවන් (Screening Test) මඟින් ද මෙම තත්ත්වය පරීක්ෂා කර ගැනීමට ද හැකියි. තමාගේ කැමැත්තෙන් රෝහලකට හෝ එම පරීක්ෂණ සිදු කරන ස්ථානයකට යොමු වී සිදු කරන මෙම පරීක්ෂණ (ස්කෑන්, මැමෝග්රෑම් වැනි) මඟින් ස්වයං පරීක්ෂාවටත් වඩා පැහැදිලිව පිළිකාමය තත්ත්වයන් හඳුනාගත හැකියි.

රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැක්කේ මොනවාද?

පියයුරු ආශි‍්‍රත පිළිකාවකදී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයක් වන්නේ කුඩා ගැටිත්තක් වැනි ස්වභාවයක්. මෙය පියයුර ආශි‍්‍රතව ඕනෑම තැනක හට ගත හැකියි. ඊට අමතරව ඉතාමත් කලාතුරකින් තන පුඩුව ආශි‍්‍රතව රුධිරය ස්‍රාවය වීමක් ද දැකගත හැකියි. මෙම රුධිරය බොහෝ දුරට රතු පැහැති විය යුතු අතර ඇතැම් විට දුඹුරු හෝ ඊට අඩු වර්ණවලින් පිට වන ස්‍රාවයන් එසේ සැක සහිත රෝග ලක්ෂණ ලෙස හඳුනා ගත නොහැකියි. තවද බොහෝ අය පියයුරු ආශි‍්‍රතව ඇති වන වේදනාව ද පිළිකා මූලික කරගත් රෝග ලක්ෂණයක් ලෙස සැලකුවත් එය මුළුමනින්ම වැරදි අදහසක්. ඒ අනුව පිළිකාවක් නිසා යම් වේදනාවක් ඇති වෙනවා නම් එය බොහෝදුරට පිළිකාවේ අග භාගයේදී බලපොරොත්තු විය හැකි තත්ත්වයක්. මේ කරුණු අනුව විශේෂයෙන් වේදනාවකින් තොර ගැටිති ස්වභාවයක් තිබෙනවා නම් එය බොහෝදුරට පිළිකාමය තත්ත්වයක් විය හැකි නිසා ඒ බව තහවුරු කර ගැනීම වැදගත්.

ඒ වගේම ස්වයං පියයුරු පරීක්ෂාවේදී පියයුරු මෙන්ම කිහිල්ල ආශි‍්‍රත ප්‍රදේශ ද පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වන අතර විශේෂයෙන් කිහිළි ආශි‍්‍රතව කුද්දැටි තිබීමේ තත්ත්වයත් පූර්ව පිළිකා ලක්ෂණයක් වශයෙන් සැක කළ හැකියි.

තවද Paget’s Disease නැමැති තත්ත්වයේදී පියයුර ආශි‍්‍රතව ගැටිත්තක් හසු නොවුණත් තන පුඩුව අවට දදයක් වැනි කසන ස්වභාවයක් ඇති විය හැකියි. මෙය දෙපසම ඇති නොවන අතර බොහෝදුරට එක් පසක පමණක් දැකගත හැකියි. ඒ නිසා තන පුඩුව ආශි‍්‍රත කසන ස්වභාවයක්, දදයක් වැනි තත්ත්වයක් පවතින විටත් එම තත්ත්වය ද යම් පිළිකාමය අවදානමක් ඇති කරන තත්ත්වයක් නිසා වෛද්‍යවරයෙක් මුණගැසීම වැදගත්.

ඊට අමතරව කල් ගතවුණු පිළිකාමය තත්ත්වයකදී දැකගත හැකි රෝග ලක්ෂණ ද තිබෙන අතර මුළු පියයුරම ඉදිමී දොඩම් ලෙල්ලක් වැනි ස්වභාවයක් ගැනීම, මුළු පියයුරම රතු වී ඉදිමී වේදනා ගෙන දීම ද පියයුරම යම් රස්නයක් සහිත වීම ද බොහෝදුරට දැක ගත හැකියි. නමුත් එවැනි තත්ත්වයක් දක්වා කල්ගත කිරීම ද කිසිසේත්ම සුදුසු නොවන බවද සඳහන් කළ යුතුයි.

පියයුරු පිළිකා අවධානම වැඩි කාටද?

මෙය බොහෝදුරට කාන්තාවන්ගේ ස්තී‍්‍ර හෝර්මෝන මූලික කරගත් පිළිකා විශේෂයක් වශයෙන් පැහැදිලි කළ හැකියි. විශේෂයෙන්ම යම්කිසි කෙනෙකුගේ ස්ත්‍රී හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ වැඩි වීමක් තිබේ නම් ඒ නිසා පිළිකාමය අවදානමක් ඇති විය හැකියි. මෙම ස්ත්‍රී හෝර්මෝන යම් පාලනයකට යටත් වන්නේ දරුවන් ලැබෙන විටදීයි. ඒ අනුව විමසා බලන විට දරුවන් නොමැති කාන්තාවන් මේ සඳහා වැඩි ප්‍රවණතාවක් ඇති අය වශයෙන් හැඳින්විය හැකියි. ඊට අමතරව මෙම තත්ත්වයට කාන්තා හෝර්මෝනවල (විශේෂයෙන් ඊස්ට්‍රජන්) විශේෂ බලපෑමක් තිබෙන නිසා ඉතා අඩු වයසින් වැඩිවියට පත්වීම හෝ ආර්ථවහරණය වයස අවුරුදු 60 වැනි දීර්ඝකාලයක් දක්වා දිවෙනවා නම් එම කාන්තාවන්ගේ ඉතා වැඩි කාලසීමාවක් ඊස්ට්‍රජන් ශරීරය තුළ ක්‍රියාකාරී වේ. එවැනි අයට ද පිළිකා අවදනාමක් ඇතිවිය හැකියි.

මීට අමතරව තවත් සමහර පිරිසක් හෝර්මෝන පිටතින් ලබා ගන්නා තත්ත්ව (HRP - Hormone replacement therapy) යටතේදී ආර්ථවහරණයට පසුව තමාගේ තරුණ බව ආරක්ෂා කිරීමට පිටතින් හෝර්මෝන ලබා ගන්නා අතර එවැනි කාන්තාවන්ටත් පිළිකා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ. තවත් සමහර අවස්ථාවල තමාගේ මැදිවියේ දී වුවත් කෘත්‍රිම හෝර්මෝන (උපත් පාලන පෙති හෝ උපත් පාලන එන්නත්) බොහෝ කාලයක් ලබා ගැනීමත් මීට හේතුවක්. පෙර පැහැදිලි කළ පරිදි සාමාන්‍යයෙන් අවුරුදු 27, 28 ට වත් පෙර දරුවන් බිහි කිරීමෙන් පමණක් මෙම අවධානම වළක්වා ගත හැකි මුත් වයස අවුරුදු 35 ටත් පසුව දරුවන් බිහි කිරීමෙන් එම වාසිදායක තත්ත්වය ලබා ගැනිමට හැකියාවක් නොමැත. ඒ නිසා වයස අවුරුදු 27,28 ට පෙර දරුවන් බිහි කිරීමෙන් පියයුරු පිළිකා වළක්වා ගැනීමේ හැකියාව වැඩි කරගත හැකියි. මීට අමරතව පරම්පරාගතවද මෙම පියයුරු පිළිකා අවධානම තරමක් තිබේ. නමුත් ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව මෙම අවධානම ලංකාවේ තරමක් අවම මට්ටමක තිබේ.

ආහාරත් පියයුරු පිළිකා ඇතිවීමට බලපානවාද?

ආහාර පිළිබඳ විමසා බැලීමේදී අප ලබා ගන්නා කුමන මට්ටමේ ආහාරයකින් වුවත් මේ සඳහා ඍජු බලපෑමක් තිබෙන බව ප්‍රකාශ කිරීමට අපහසුයි. නමුත් ඇතැම් ආහාර වර්ගවලට කෘත්‍රිමව පිටතින් හොර්මෝන ඇතුළු කරන අතර (උදාහරණයක් වශයෙන් ඇතැම් කුකුල් මස් වර්ග) එවැනි ආහාර බහුලව භාවිතා කිරීමෙන් යම් පිළිකාමය අවදානමක් ඇති වන බව පැහැදිලි කළ හැකියි. ඒ හැරුණු විට යම් නිෂ්චිත ආහාර වර්ගයක් නිසා පියයුරු පිළිකා අවධානමක් ඇති වන බව ස්ථීරවම පැවසිය නොහැකියි.

කිසිදු රෝග හේතුවක් නොමැතිව පිළිකා ඇති වෙන්න පුළුවන්ද?

ඇතැම් අයට පියයුරු පිළිකාවක් ඇති වීම සඳහා ඍජුවම බලපෑම් ඇති කරන කිසිදු හේතුවක් නොමැතිව වුවත් පියයුරු පිළිකා අවධානමක් ඇති විය හැකියි. ඊට හේතු කිහිපයක් පැහැදිලි කළ හැකියි. ඒ අනුව ඕනෑම අයකුගේ ශරීරය තුළ පිළිකාවක් ඇතිවීම සඳහා හේතුවිය හැකි යම් පිළිකා සෛලයක් පැවතිය හැකියි. නමුත් සාමාන්‍ය මිනිස් ශරීරයේ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට විරුද්ධව ක්‍රියාකාරීවීමට හැඩගැසී තිබේ. ඒ වගේම ඕනෑම සෛලයක් විභාජනය වනවිට ඊට අදාළ අධීක්ෂණයක් ද ශරීරය විසින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරනු ලැබේ. එවැනි නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියකට පිළිකාමය සෛලයක් හඳුනාගතහොත් එය විනාශ කිරීමට ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක විය හැකියි. නමුත් ඇතැම් අයගේ මෙම ක්‍රියාදාමය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා නිසි ප්‍රතිශක්තිකරණයක් නොමැති කමින් එවැනි පිළිකාමය සෛල විනාශ කිරීමේ හැකියාව අඩපණ වී යනු ලැබේ. මෙවැනි තත්ත්වයන් යටතේ පියයුරු පිළිකාවක් සඳහා හේතුවිය හැකි අවදානම් සාධක කිසිවක් නොමැතිව වුවත් එවැනි කෙනෙකුට පිළිකා තත්ත්වයන් ඇති වීමේ වැඩි ඉඩකඩක් තිබේ.

පියයුරු පිළිකා කල්තබා හඳුනාගත යුත්තේ ඇයි?

පියයුරු පිළිකාවක් කල්තබා හඳුනාගත යුත්තේ මූලික වශයෙන් එය සුව කිරිමට ඇති ඉඩකඩ එමඟින් වැඩිකර ගත හැකි නිසයි. සාමාන්‍යයෙන් ඉතාමත් අවම මට්ටමේ තිබී හඳුනාගත් පිළිකාමය තත්ත්වයන් 99% ක් වැනි ප්‍රතිශතයකින් සුව කිරීමේ වැඩි ඉඩකඩක් එමඟින් ලබාගත හැකියි. නමුත් මෙම තත්ත්වය පැතිරී පවතිනවා නම් එය සුව කිරීමේ හැකියාව තරමක් අඩු විය හැකියි. ඒ වගේම පෙණහලු, අක්මාව වැනි අනෙකුත් සෙසු ඉන්ද්‍රියයන් දක්වා මෙය පැතිර ගොස් තිබේ නම් එය සුව කිරීමේ හැකියාව බොහෝදුරට අඩු වේ. එවැනි තත්ත්වයක් සුව කිරීමට වඩා සිදු කළ හැක්කේ යම් පාලනයකට ලක් කිරීමක් පමණි.

පියයුරු පිළිකා පාලනය කිරීම හා සුව කිරීම අතර වෙනස

පිළිකාවක් පාලනය කිරීම හා සුව කිරීම අතර විශාල වෙනසක් දැකගත හැකියි. එහිදී සුව කිරිමට හැකි පිළිකාමය අවස්ථාවකදී 99% ක් වැනි ප්‍රතිශතයකින් එය සුව කිරිමට හැකි බවත් නැවත මතු නොවන බවත් ස්ථීරව තහවුරු කිරීමට හැකියි. නමුත් එය අනෙකුත් ඉන්ද්‍රියයන් දක්වා පැතිර ගොස් නම් නැවත මතු නොවන බව ස්ථීරව පැවසිය නොහැකි අතර අදාළ පුද්ගලයාගේ ජීවිතය ගුණාත්මකව ගත කළ හැකි පරිදි සාර්ථකව යම් පාලනයක පවත්වා ගත හැකි බව ඉන් පැහැදිලි වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ඔක්තෝබර් මාසයම පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වීමේ මාසය ලෙස නම් කර තිබෙන අතර එමඟින් ලොව පුරා සිටින සෑම කාන්තාවකටම නැවත නැවතත් මෙම අවධානම පිළිබඳ සිහි කැඳවීමක් සිදු වේ.

පියයුරු ආශි‍්‍රතව ඇතිවන ඕනෑම අසාමාන්‍යතාවක් පිළිකාවක් විය හැකිද?

සාමාන්‍යයෙන් පියයුරු ආශි‍්‍රතව දැකගත හැකි විකෘතිතාවන් පිළිකා නොවීමට ඇති සම්භාවිතාව 80% ක් පමණ වේ. බොහෝවිට ඒවා ඉදිරියේදී පිළිකාමය තත්ත්වයන් වීමට ද හැකියාවක් නොමැත. ඒ නිසා පියයුරු ආශි‍්‍රත ඕනෑම අසාමාන්‍යතාවයක් පිළිකාවක් යැයි වරදවා වටහා නොගත යුතුයි. නමුත් එසේ වූ පමණින් පිළිකාවක් දැයි සැකහැර දැන ගන්නා තුරු එසේ සිතීම ද වරදක් නොවන බවද විශේෂයෙන් පැවසිය යුතුයි.

පිළිකාවක් යැයි සැක කළ මොහොතේම මුලින්ම කුමක් කළ යුතුද?

පිළිකාවක් යැයි යම් සැකයක් ඇති වූ සැණින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් යටතේ පරීක්ෂාවට ලක් වීම වැදගත්. එමඟින් දින කිහිපයක් තුළ සිදු කරන පරීක්ෂණ මත තත්ත්වය තහවුරු කරගෙන අදාළ ප්‍රතිකාර කරා යොමුවිය හැකියි.

එක් පියයුරක පිළිකාවක් ඇති වුණොත් අනෙක් පියයුරටත් එය පැතිරීමට හැකිද?

සාමාන්‍යයෙන් එක් පසෙක තිබෙන පිළිකාවක් අනෙක් පියයුර දක්වා ව්‍යාප්ත වීම ඉතාමත් කලාතුරකින් දැකගත හැකි තත්ත්වයක්. නමුත් පියයුරු පිළිකා සඳහා බලපාන සාධකවල ස්වභාවය මත ඇතැම් කාන්තාවන්ගේ පියයුරු යුගළටම මෙම පිළිකාමය තත්ත්වයක් ඇති විය හැකියි. නමුත් මෙම ශරීරයේ දෙපසම ඇති පියයුරුවලට බලපාන පිළිකා තිබෙන කාන්තාවන් ඉතාමත් කලාතුරකින් දැකගත හැකියි. බොහෝදුරට මෙම තත්ත්ව එක් පසෙකින් අනෙක් පසට පැතිරීමක් සිදු නොවන අතර පියයුරු දෙකටම එකවර අලුතින් ඇති වූ පිළිකාමය තත්ත්වයක් ඇතිවීම මෙහිදී දැකගත හැකිය.

පියයුරු පිළිකාවලින් ජයගත් අය මේ වනවිටත් ජීවත් වෙනවාද?

මේ වනවිට අවම 30000 කට ආසන්න පිරිසක් පියයුරු පිළිකාවලින් ජයගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන කාන්තාවන් ලංකාව තුළ ජීවත් වනු ලැබේ. නමුත් ඔවුන් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කථා කිරීමට බිය වනු ලැබේ. හේතුව සමාජය විසින් පිළිකා යන වචනය නිසා ඔවුන් යම් කොන් කිරීමකට ලක් කර තිබීමයි. මේ නිසා තමා පිළිකාවකින් ජයගත් කෙනෙක් බවත් ඒ සමඟ ජීවත් වන බවත් කිසිවිටෙකත් ඔවුන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට පවා බිය වේ. නමුත් එවැනි අය සමාජය ඉදිරියේ තම හඬ අවදි කිරිම ඉදිරියේදී පිළිකාවක් සමඟ ජීවත් වීමට සිදුවන කාන්තාවන්ට විශාල ශක්තියක්.

බොහෝදෙනෙකුට පිළිකාව රෝගයකටත් වඩා මනසට ඇති කර තිබෙන බලපෑම නිසා බොහෝදෙනෙක් පියයුරු පිළිකාවට බියේ ජීවත් වීම දක්නට ලැබේ.

ස්වයං පියයුරු පරීක්ෂාව යනු කුමක්ද? එය කාන්තාවක් සිදු කළයුත්තේ කිනම් වයසක සිටද?

ස්වයං පියයුරු පරීක්ෂාව යනුවෙන් හැඳින්වෙන්නේ තමාගේම පියයුරු තමා විසින්ම පරීක්ෂා කර ගැනීමයි. ලංකාවේ කාන්තාවන් නම් වයස අවුරුදු 18 -20 වැනි කාලයේ සිටම මෙම පරීක්ෂාව සිදු කරනවා නම් වඩාත් සුදුසුයි. මේ පිළිබඳ අන්තර්ජාලය වැනි මාධ්‍ය ඔස්සේ ඕනෑ තරම් දැනුවත් වීම් ලබා ගත හැකි අතර වීඩියෝ පට මඟින් ද දැනුවත් වීමේ ඉඩකඩ මේ වනවිට ඕනෑ තරම් තිබේ. මෙසේ වයස අවුරුදු 20 සිට පමණ ආරම්භ වන මෙම පරීක්ෂාව තමාගේ ජීවිතය අවසානය දක්වාම කාන්තාවක් විසින් සිදු කළ යුතුයි. මෙය මසකට වතාවක් තමාගේ ඔසප් සිදු වූ අවසාන දිනයේදී පුරුද්දක් වශයෙන් සිදු කිරීමට වගබලා ගත යුතුයි.

මෙම ස්වයං පියයුරු පරීක්ෂාවේදී ඇතැම්විට පියයුරු තුළ පිහිටා ඇති ග්‍රන්ථි බොහෝ අය පිළිකා යැයි වරදවා වටහා ගනු ලබන අතර මැද ඇඟිලි තුනේ අවසන් පුරුක් වලින් පියයුර ස්පර්ශ කිරීම මඟින් ගැටිත්තක් වැනි යමක් තිබේ දැයි පැහැදිලිව වටහා ගත හැකියි. තවද තන පුඩුව ආශි‍්‍රත ස්‍රාවයක් ඇති වනවාදැයි විමසා බැලීම ද වැදගත්. මෙම පරීක්ෂාව කිහිල්ල ආශි‍්‍රත ප්‍රදේශවල ද සිදු කළ යුතුයි.

මැමෝග්රෑම් පරීක්ෂණය සිදු කළ යුත්තේ කුමන වයසකදී ද? එය 100% ක් ආරක්ෂාකාරීද?

මැමෝග්රෑම් පරීක්ෂණයේදී සාමානයෙන් පියයුරේ පවතින ග්‍රන්ථි ප්‍රමාණය වැඩි නම් ඒ තුළ තිබෙන ගැටිත්ත පැහැදිලිව හඳුනා ගැනීමට අපහසු විය හැකියි. ඒ නිසා පියයුර ආශි‍්‍රතව තිබෙන එම ග්‍රන්ථි ප්‍රමාණය සාමාන්‍යයෙන් ක්‍රමයෙන් අඩු වන වයසේදී මෙම පරීක්ෂණය සිදු කළ යුතුයි. එහෙත් ඇතැම්විට දරුවන් නොලද කාන්තාවන්ගේ පියයුරේ ඝනත්වය වැඩි අතර අවුරුදු 35ට පසුවත් අඩු නොවන නිසා පරීක්ෂණය සිදු කිරීම අපහසු විය හැකියි. ඒ හැරුණු විට ඉහත පැහැදිලි කිරීමට අනුව සාමාන්‍යයෙන් දරුවන් ලැබූ මව්කිරි ලබා දුන් කාන්තාවක් මෙම පරීක්ෂණයට වයස අවුරුදු 35 දී පමණ යොමු වීම වැදගත්.

ඕනෑම පරීක්ෂණයක යම් යම් සුළු විකිරණශීලි බවක් පැවතිය හැකියි. නමුත් එදිනෙදා ජීවිතයේ අප භාවිතා කරන ජංගම දුරකථන දීර්ඝකාලින භාවිතය නිසා ඇතිවන විකිරණශීලි බලපෑම සමඟ සංසන්දනය කරන විට මැමෝග්රෑම් පරීක්ෂණය නිසා මුහුණ දෙන විකිරණශීලිත්වයට බියක් ඇති කර ගත යුතු නොවේ.

පිළිකා තත්ත්වයක් ඇති කාන්තාවක් ගැබිණියක් වුණොත්?

මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මෙය මව සහ දරුවා යන දෙදෙනාටම බලපෑම් ඇති කරනු ලැබේ. බොහෝ අවස්ථාවල ගැබිණි වියේදී තමාගේ පියයුර කිරිවලින් පිරී යන විට පියයුර තුළ ඇති ගැටිති හඳුනා ගැනීමට අපහසු විය හැකියි. එවැනි අවස්ථාවක එම ගැටිති විශාල වන තුරු හඳුනා ගැනීමට අපහසු වේ. මේ නිසා කල්තබා හඳුනා ගැනීමට පවතින ඉඩකඩ තරමක් අඩු වී යයි. ඒ වගේම ගැබිණි අවස්ථාවේදී හඳුනාගත හොත් එහිදී පියයුරෙන් කොටසක් හෝ සම්පූර්ණ පියයුරම ඉවත් කිරීමට සිදුවිය හැකියි. බොහෝදුරට මේවා තරමක් හඳුනා ගැනීමට ප්‍රමාද වීම නිසා සම්පූර්ණ පියයුරම ඉවත් කිරීමට සිදුවිය හැකියි.

ඒ වගේම දරුවා කුස තුළ සිටින විට විකිරණ ප්‍රතිකාර ද පියයුරට ලබාදිය නොහැකියි. ඒ නිසා දරුවා බිහි වී අවසන් වන තුරු පිළිකාව යටපත් කිරීමට අදාළ සම්පූර්ණ ප්‍රතිකාර නොකිරිමෙන් අදාළ කාන්තාවට අයහපත් සිදු වේ. නමුත් පිළිකා තිබෙන බව පළමු සති 14 ට පෙර හඳුනා ගතහොත් රෝගියා සමඟ කථාබහ කර ප්‍රතිකාර ආරම්භ කරනවා ද නැද්ද යන්න තීරණය කළ හැකියි. ඒ වගේම ගැබිණි අවස්ථාවේ හඳුනාගන්නා පිළිකාවක් හා අනෙකුත් අවස්ථාවක හඳුනා ගන්නා පිළිකාමය තත්ත්ව අතර වර්ධනය ආශි‍්‍රත කිසිදු වෙනස්කමක් නොමැති බව විශේෂයෙන් පැවසිය යුතුයි. ගර්භණී කාන්තාවන්ට මෙහිදී ප්‍රතිකාර ලබාදීම ප්‍රමාදවීමෙන් තත්ත්වය තරමක් දරුණු විය හැකි නමුත් කිසිදු අවස්ථාවකදී කුස තුළ සිටින දරුවාට ඉන් ප්‍රතිකාර ලබා නොදුන්නොත් පිළිකාව නිසා බලපෑමක් ඇති නොවේ.

කිරිදෙන මවකට පිළිකා තත්ත්වයක් හඳුනා ගතහොත් රෝගී වූ පියයුරෙන් කිරි දීම කිසිවිටෙකත් ගැටලුකාරී නොවේ. හේතුව එම කිරි මඟින් පිළිකා සෛල ආහාර මාර්ග පද්ධතියට ඇතුළු වී දරුවාට ඉන් පිළිකාවක් ඇතිවිය නොහැකියි

පිළිකාවක් ඇති වුණොත් අනිවාර්යෙන්ම පියයුර ඉවත් කරනවා ද ඒ සමඟ කාලයක් ජිවත් වීම ගැටලුකාරීද?

සාමාන්‍යයෙන් පියයුරේ ගැටිත්තක් ඉතාමත් මුල් අවදියේ හඳුනා ගතහොත් එය සංරක්ෂණ කිරීමේ වැඩි ඉඩකඩක් තිබේ. නමුත් කල්ගත වුවොත් එය සිදු කිරීම අපහසු වේ. තවත් සමහර අවස්ථාවල රෝගියාගේ ඉල්ලීම මත සම්පූර්ණ පියයුරම ඉවත් කර ශරීරයේ වෙනත් ස්ථානයකින් ලබා ගන්නා මේදමය කොටස් පටක හරහා නැවත පියයුරක් ප්‍රතිසංස්කරණය කිරීමක් ද සිදු කළ හැකියි. මෙම සැත්කම Oncoplastic surgery නම් වේ.